මේ රටේ බලය ලබා ගැනීමට ජාතික ජන බලවේගය හඳුනා ගත්තේ මීට වසර දෙක තුනකට ඉහත දී යැයි ජාතික ජන බලවේගයේ
ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පැවසී ය.
ඔහු මෙලෙස පැවසුවේ ඊයේ (02) බදුල්ලේ පැවති ජන රැලියක් අමතමිනි.
අනුර කුමාර දිසානායක එම ජන රැලිය අමතමින් කළ සම්පූර්ණ කතාව මතු දැක්වේ.
පොදු ජනයාගේ ඡන්ද ව්‍යාපාරය
මෙවර ඡන්දයේ විශේෂයක් තිබෙනවා. මීට කලින් අනෙක් පක්ෂ ඡන්ද කරේ: කන්න දෙනවා. බොන්න දෙනවා කියලා. එයාලා කාර්යාලයක් දාන්නත් රුපියල් පනස් දහසක් දුන්නා. රස්සාවක් දෙන්නම් කියනවා. සිමෙන්ති කොට්ට දෙකක් දෙන්නම්, තහඩු දෙන්නම්, වැඩ කරන්න කියලා ඉල්ලමින් තමයි මෙච්චර කල් ඔවුන් ඡන්ද කරේ. හැබැයි අද ජාතික ජන බලවේගයේ ඡන්ද ව්‍යාපාරය අර කිසිවක් නැතිව මේ රටේ පොදු ජනතාව කරට අරගෙන කරගෙන යනවා. ලංකාවේ ප්‍රථම වතාවට තමයි පොදු ජනතාව මේ විදිහට ඡන්ද ව්‍යාපාරයක් තමන්ගේ කරට අරන් දුවන්නේ. අද මේ රැස්වීමට ආපු ඔබ ගෙදර ගිහින් නිකං ඉන්නවාද? නැහැ. හෙට ඉඳන් තව අයට කථා කරනවා. තව තවත් ඡන්ද හදනවා. මේ නිකම්ම ඇති වූ තත්වයක් නොවෙයි.
ශක්තිමත් ව්‍යාපාරය ගොඩනගන්නේ කොහොමද...?
සාගලගේ නෝනාට දුරකතන ඇමතුමක්
මහජන ධනය හොරා කාලා සුඛෝපභෝගී රථවලින් ජැන්ඩියට ඇඳ පැළඳගෙන ඇවිල්ලා වාහනයෙන් බහින කොට එදා ජනතාව හිතුවා මේ තමයි උත්තමයෝ කියලා. අද මොකද වෙලා තිබෙන්නේ...? අද ගමට බහින කොටම දන්නවා මේ පට්ට හොරෙක් කියලා. දැන් කර කියා ගන්න දෙයක් නැහැ. ඒ නිසා දැන් රනිල්ගෙ පිලෙත්, සජිත්ගේ පිලෙත් දෙවන පෙළේ කට්ටිය යටින යටින් සාකච්ඡාවක් පටන් අරන් තිබෙනවා. ‘අපට මාර වැඩේ වෙන්නේ. අපි බෙදිලා හිටියොත් අපි අමාරුවේ. ජාතික ජන බලවේගය දිනනවා. ඒ නිසා එකට එකතු වෙන්න ඕනැ’ කියලා. අර පැත්තෙන් මද්දුම බණ්ඩාර කෝල් එනවා. මේ පැත්තෙන් සාගලගේ නෝනාට කෝල් එනවා. දැන් දෙගොල්ලන්ට කියන්න තියෙන්නේ දැන් පරක්කු වැඩියි තමයි කියලා.
අනුර දැනගත් රහස
අපි හදන රට...
දෙවෙනි කාරණය තමයි එයා කියනවා ඒ ගොල්ලෝ නැත්නම් රට අමාරුවේ වැටෙයි. කියලා. මහින්ද එක කාලයක් කිවුවා එයා දිනුවේ නැත්නම් රටේ උසස් හමුදා නිලධාරීන් විදුලි පුටුවල ඉන්දවයි කියලා. නැතිනම් තමා පැරදුනොත් එයාව විදුලි පුටුවෙ වාඩි කරයි කියලා. ඊට පස්සේ කිවුවා මහින්ද ආවෙ නැතිනම් ජාතිය අනතුරේ. ජාතිය බේරා ගන්න එයා දිනවන්න ඕනෑ කියලා. දැන් රනිල් කියනවා එයා ආවේ නැත්නම් ගෑස් එක අනතුරේ. කියලා. ගෑස් සිලින්ඩරේ පුපුරණවලු. ගෑස් සිලින්ඩරේ පිපුරුවේ දැන් ඔය රනිල්ගේ ඔඩොක්කුවේ ඉන්න අය බලයේ හිටපු කාලේ. රනිල් කියනවා එයා ආවෙ නැත්නම් රට වැටෙනවාලු. තවත් කොහාටද මේ රට වැටෙන්න තියෙන්නේ. රනිල්ලා මේ රට වැට්ටුවා. රටේ ජනතාවට අපි විශ්වාසයක් හදනවා, මේ රට ගොඩනගන්නේ ජාතික ජන බලවේගය තමයි කියලා. ඒ වගේම ඔවුන් තුළ අපි විශ්වාසයක් හදනවා රටේ භාණ්ඩාගාරයට එන හැම ශතයක්ම රටේ සහ ජනතාවගේ සංවර්ධනය, යහපත පිණිස අපි යොදනවා කියලා. අපිට ඕන සංවර්ධනය වගේම නාස්තිය, දූෂණය, වංචාව නතර කරන රටක්. වංචා කරන අයට නීතිය අනුව හරියටම දඬුවම් දෙන රටක් කොල්ලකාපු මහජන මුදල් මහජනතාව වෙනුවෙන් ආපසු පවරා ගන්න රටක්. ලබන විසි එකෙන් පස්සේ ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ අපි හදන්නේ අන්න එහෙම රටක්.’’
‘‘ලබන විසි එක්වෙනිදාට අපිට අපේ ජීවිතයේ එකම දවසක් උදා වෙනවා, අපේ එකෙක්, අපේ පංතියේ එකෙක් මේ රටේ ජනාධිපතිවරයා කර ගැනීම සඳහා. පළමු ජනාධිපතිවරණය තිබුණේ එක්දහස් නමසිය අසු දෙකේ දි. එදා ජන බලයක් ගත් ජේ.ආර්. කිවුවේ එයාට ගැහැනියක් පිරිමියෙක් කරන්න විතරයි බැරි කියලා. එදත් මම, අපේ රටේ පොදු ජනතාවගේ නියෝජනය වූ රෝහණ විජේවීර සහෝදරයාව මේ රටේ ජනාධිපතිවරයා බවට පත්කරන්න වේදිකාවට ගොඩවෙලා කතා කරා; අපි පැරදුණා; මර්දනයට ලක් වුණා. එදා ජේ.ආර්. කිවුවේ ‘මගේ පංතියේ යුතුකම මම ඉෂ්ට කළා’ කියලා. ඒ දේ සිද්ධ වෙලා දැන් අවුරුදු හතළිස් දෙකයි. නමුත් අද අපේ සමාජයට අත්වී තිබෙන ඉරණම කුමක්ද? අපි පත්වී සිටින්නේ කුමන තත්වයකටද?
අපි මෙතෙක් මේ රටේ ජනාධිපතිවරු අටදෙනෙක් පත්කර ගත්තා. ඒත් අද වන විට අපි බංකොලොත් රාජ්‍යයක්; ලෝකය පිළිගන්නේ නැති රාජ්‍යයක්. නැති බැරි පොදු මිනිසාට තුන්වේල තබා එක වේලක්වත් කන්න නැති වුණු රාජ්‍යයක්. මේකට වගකියයුත්තේ කවුරුන්ද? මේකට නිවැරදි දේ තෝරා නොගත් අපත් වගකිව යුතුයි. ඒ පාපයේ ප්‍රතිඵල අද අපි අත්විඳිනවා. ජාතික ජන බලවේගය කියන්නේ දේශපාලන ව්‍යාපාරයක් පමණක් නොවෙයි. අද මේ බදුලු පුරයට විවිධ දේශපාලන පක්ෂවලට වැඩ කළ, ඡන්දය ලබා දුන් සියලු දෙනා ම එකතුවී තිබෙනවා. හැත්තෑ හය වසරක් තිස්සේ මේ දේශපාලනයට රැවටුණු, ඉච්ඡාභංගත්වයට පත්වුණු සියලු දෙනාටම දැන් එකතු වෙන්න තැනක් හැදී තිබෙනවා. ඒ තමයි ජාතික ජන බලවේගය. ඒක මේ රටේ පොදු ජනතාවගේ බලය එකතුවෙලා හැදුණු මහා ගංඟාවක් බවට දැන් පත්වෙලා ඉවරයි. එය ඉතිහාසය විසින් නිර්මාණය කළ දෙයක්. එනිසා අද පක්ෂ භේද, පාට භේද, ජාති භේද නැතිව එකට එකතු වෙලා ඉන්නවා. ඉතිහාසය විසින් තමන්ට ලබා දුන් මේ ස්වර්ණමය අවස්ථාවෙන් ඉහළින්ම ප්‍රයෝජන ගන්න.
අපේ රටේ මෙතෙක් දේශපාලන සංස්කෘතියෙ තිබුණේ අපි ඡන්දෙත් දීලා අපේ බදු මුදල්වලින් ඒගොල්ලන්ට වරප්‍රසාද විඳින්න ඉඩදීලා: මැතිතුමා, උතුමානන්, ශ්‍රීමතානන්, අතිගරු කිය කියා වැඳ වැටෙන තත්ත්වයක්. මේවා යල්පිනූ වැඩවසම් ආමන්ත්‍රණ. මේතාක් කල් අපේ රැහේ එකෙක් අපේ පංතියේ එකෙක් මේ රටේ පාලකයා හැටියට අපි පත්කර ගත්තේ නැහැ. අපේ දුක, වේදනාව, අපේ ප්‍රශ්න, අපේ බඩගින්න තේරෙන්නේ නැති පිරිසක් තමයි අපි මෙතෙක් පත්කර ගත්තේ. ඒ ගොල්ලෝ එන්න එන්න පොහොසත් වුණා; ධනවත් වුණා; බලවත් වුණා. මහා මන්දිර හදාගත්තා. අපේ රටේ ජනතාව එන්න එන්නම වළපල්ලට ම ඇද වැට්ටුවා. මොන පක්ෂයකට සම්බන්ධවෙලා හිටියත් මේක තමයි ඇත්ත. අපි දශක ගණනාවක් තිස්සේ මේක කිවුවා. නමුත් රටේ බහුතර ජනතාව ඒක තේරුම් ගත්තේ නැහැ. නමුත් දැන් ඔවුන් මෙය තේරුම් ගනිමින් ඉන්නවා. මේ වගේ සුන්දර රටක් මේ ඉරණමට ඇදලා දැම්මේ කවුද කියලා මොහොතක් කල්පනා කරන්න.
මම පසුගිය කාලයේ මගේ බිරිඳ දරුවන් සමග හිටියේ ඕස්ට්‍රේලියාවේ. ඒ වගේ දියුණු රටකට සමාජයකට ගියහම අපිට තේරෙනවා අපේ රට හා ඒ දියුණු රටවල් අතර වෙනස කොතරම්ද කියලා. මේ පාලකයෝ මේක සංවරයක්, විනයක්, සදාචාරයක් නීතියක් නැති රටක් බවට පත් කරා. එක්දහස් නමසිය හැත්තෑ හත වනතුරු අපේ රාජ්‍ය බරපතළ ලෙස ප්‍රචණ්ඩත්වයට පත්වුණේ නැහැ. මේක බරපතළ ප්‍රචණ්ඩත්වයට පත්වුණේ එක්දහස් නමසිය හැත්තෑ හතේ ජේ.ආර්.ලාගේ එ.ජා.ප. පාලනයෙන් පස්සේ. මේ තත්ත්වය හේතු ඵල ඇතිව දකින්න විග්‍රහ කරගන්න; ප්‍රඥාවන්තව හිතන්න පුරුදු වෙන්න. උතුරටත්, දකුණටත් බරපතළ විදිහට රාජ්‍ය ප්‍රචණ්ඩත්වය ගෙන ඒමේ ආරම්භකයන් තමයි ජේ.ආර්. ප්‍රමුඛ එ.ජා.ප. පාලකයෝ. එතැන් පටන් උතුරේත්, දකුණේත් අහිංසක ජනතාවගේ අයිතීන් වළලන්නට පටන් ගත්තා.
කළු ජූලියට හේතුව
එක්දහස් නමසිය අසූ දෙකේ දූෂිත සංවර්ධන සභා මැතිවරණයට විරුද්ධව එදා උසාවි ගියේ රෝහණ විජේවීර සහෝදරයා ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණ පමණයි. ඒ සම්බන්ධව විජේවීර සහෝදරයා ජේ.ආර්.ට විරුද්ධව පැවරූ නඩුව දිනාගෙන ආවේ. ඒ නඩුව දිනුවා නම් ඊළඟ මැතිවරණයේදී ජේ.ආර්.ගේ හයෙන් පහක බලය අහෝසි වෙනවා. ජ.වි.පෙ. සහෝදරවරු පිරිසකුත් පාර්ලිමේන්තුවට යනවා. ඒක වළක්වන්න ජේ.ආර්.ලා මොකද කරේ...? කළු ජූලිය නිර්මාණය කරලා ජ.වි.පෙ. තහනම් කරා. කළු ජූලිය නිර්මාණය කරලා මේ රටේ අහිංසක දෙමළ මිනිස්සු සංහාරය කරලා, ගෙවල් ගිනි තියලා, මරලා පිච්චුවා. සංවර්ධන සභා මැතිවරණයේ දී යාපනය පුස්තකාලය ගිනි තිබ්බා. වමේ පක්ෂ තහනම් කරලා මේ රටේ ජාතික සමගිය නැති භංග කිරීමේ පාපකර්මයට එදා ජේ.ආර්., ප්‍රේමදාස ප්‍රමුඛ නඩය සමග අද ජීවතුන් අතර සිටින රනිලුත් හවුල් වුණා. මේ පාපතරයන්ට නැවත බලය දීමට තරම් මේ රටේ ජනයා දැන් මෝඩ නැහැ. ඒ නිසා තමයි මේ රටේ ජනයා තීන්දු කරලා තිබෙන්නේ මෙම සැප්තැම්බර් විසි එක මාලිමාව දිනවලා, අනුර කුමාර දිසානායක සහෝදරයා නියත වශයෙන්ම ජනාධිපති කරලා, මේ රටත් ජනතාවත් විජයග්‍රහණය කරවන්න.’’
පියවරු, මාමාවරු සහ පුත්තු
‘‘අපිට ප්‍රචාරක වැඩ කරන්න තිබෙන්නේ තවත් දවස් දහසය යි. මේ සැප්තැම්බර් විසි එක්වැනිදාට සහතික ලෙස ම අපේ රටේ ජනාධිපතිවරයා වෙන්නේ අනුර කුමාර දිසානායක සහෝදරයා කියලා හෙට ඉර පායනවා වගේ අපට විශ්වාසයි. ඒක වළක්වන්න බැහැ. අපි අවුරුදු ගණනාවක සිට මේ බදුල්ල දිස්ත්‍රික්කයේ දේශපාලනය කරනවා. අද බදුල්ල බණ්ඩාරවෙල, වැලිමඩ කියන ආසන තුනේ ම දස දහස් ගණනක ජනතාව එකතු කරලා අපි ප්‍රධාන රැස්වීම් තුනක් කරනවා. කිසිම කෙනෙකු පිටින් ගෙනල්ලා නැහැ. ඉතිහාසයේ කවදාවත් මෙතරම් ජනතාවක් අපි වටා එකතුවෙලා නැහැ අපි සහතික කරලා කියනවා සැප්තැම්බර් විසි එක රටේ ජයග්‍රහණය වගේ ම බදුල්ල දිස්ත්‍රික්කයත් අපි ඉහළින්ම ජයග්‍රහණය කරනවා කියලා. මේ ඡන්දෙට අපේක්ෂකයෝ තිස් නමදෙනයි. ඉන් ප්‍රධාන අපේක්ෂකයෝ ගැන අපි ටිකක් කතාකරමු. සජිත් පේමදාසට ජනාධිපති අපේක්ෂකයෙක් වෙන්න එයාට ලැබුණු සුදුසුකම මොකක්ද? එයාගෙ තාත්තා හිටපු ජනාධිපතිවරයෙක් වීම. ඊට වඩා දක්ෂ අය ඒ ගොල්ලන්ගෙ පක්ෂය තුළ ඇති. හැබැයි අපේ රටේ පවුල් දේශපාලනය මේ රටේ දක්ෂයන්ට ඉඩ දෙන්නේ නැහැ. ඒ ගොල්ලන්ගේ ප්‍රතිපත්ති අපි පිළිගන්නේ නැහැ. මම කිවුවේ ඒ ගොල්ලන්ගෙ පෞද්ගලික දක්ෂකම් ගැනයි.
රටට සෙවණ දෙන මහා වෘක්ෂය
අනාචාරයේ හැසිරෙන දේශපාළුවෝ
අපි පක්ෂ පැත්තකින් තියමු. ජාති, කුලමල පැත්තකින් තියමු. දැන් මුළු රට ම පෙළගැහිලා ඉන්නේ මාලිමාවේ අනුර කුමාර දිසානායක සහෝදරයාව ජයග්‍රහණය කරන්න. මෙතෙක් මේ රට පාලනය කළ පක්ෂ, අපේ රට බංකොලොත්භාවයට ඇද දැමීම ගැන කම්පනයක් අපිට තිබෙනවා. ඒ රට බංකොලොත් කරපු පක්ෂ දෙක ම අද ගොඩගන්න බැරි තරමටම බංකොලොත් වෙලා. ආයෙ ගොඩ ගන්න නම් බැහැ. ඒ ගැන නම් අපිට සතුටක් තිබෙනවා. දැන් ඇත්තටම එජාපය කියලා කඳවුරක් අඳුර ගන්න නැහැ. නිල්පාට කඳවුර කියලා අඳුර ගන්න එකක් නැහැ. එච්චරටම ඒවා කලවං වෙලා. දැන් ඩිලාන් පෙරේරලා, නිමල් සිරිපාලලා දේශපාලන අනාචාරයේ හැසිරෙනවා. ඔය දේශපාලන අනාචාරයේ හැසිරෙන අයට ලබන සැප්තැම්බර් විසි එක නිසි දඬුවම් ලැබේවි කියලා අපි කියනවා. ඔය චාමරලා ඇතුළු රොත්ත බුරුත්තම අපේ ජනතාවට කිවුවා රට වැටුණේ මහා බැංකු හොරකම නිසා කියලා. ඒ නිසා අපිට ඒ මහා බැංකු හොරා අල්ලන්න වරමක් දෙන්න කිවුවා. දැන් ඒ ගොල්ලෝම ඇවිල්ලා කියනවා අපි මේ සැරේ ඒ හොරාට තමයි වැඩ කරන්නේ ඒ නිසා ඒ හොරාටම ඡන්දය දෙන්න කියලා. ඒ නිසා නිමල්ලාට අනාචාරයේ හැසිරෙන්න පුළුවන් වුණාට අපේ බුද්ධිමත් ඡන්දදායකයාට එසේ වෙන්න පුළුවන්ද?
නවීනත්වයේ දේශපාලනය
(සටහන - ජයසිරි අලවත්ත)