theleaderlk 01

ජනාධිපති ධුරය වෙනුවෙන් තරග වදින විපක්ෂ නායකයාගේ මැතිවරණ ව්‍යාපාරයේ මුල්පෙළේ මන්ත්‍රීවරයකු අපරාධයකට හවුල් බවට බොරු සාක්ෂියක් ගොනු කිරීමට පාලක පක්ෂය කුමන්ත්‍රණයක් කරන බවට පාර්ලිමේන්තුවේ හෙළිදරව් වී තිබේ.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් සැප්තැම්බර් 4 වැනි බදාදා පාර්ලිමේන්තුවේදී කියා සිටියේ ජනාධිපති උපදේශක මනුෂ නානායක්කාර බන්ධනාගාරයට ගොස් අපරාධයක සැකකරුවකුට වරදාන දෙන පොරොන්දු පිට තමාට විරුද්ධව ප්‍රකාශයක් ලබා ගැනීමට තැත්තර ඇති බවයි.

එමගින් තම ජීවිතාරක්ෂාවට තර්ජනයක් එල්ල වී ඇති බවටද සමගි ජන බලවේගයේ නියෝජ්‍ය මහලේකම් ද වන මන්ත්‍රීවරයා බිය පල කළේය.

 

“මගේ ජීවිතයට මොනවා හරි අනතුරක් උනොත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා වග කියන්න ඕනෙයි කියලා මම ප්‍රසිද්ධියේ කියනවා," යි රහුමාන් මන්ත්‍රීවරයා මැතිසබයට දැනුම් දුන්නේය.

 

"දැන් දවස් තුනකට කලින් හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාරයි, තව අස්ලාම් කියලා පුද්ගලයෙකුයි වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයට ගිහිල්ලා අවුරුදු පහක් තිස්සේ අපරාධයකට සැකකරුවෙක් හැටියට ඉන්න සැකකරුවෙක්ව මුණගැහිලා තියනවා. ඒ සැකකරුවා මුණගැහිලා ඔවුන් ඒ සැකකරුට කොළඹ ගෙයක් දෙන්න, වාහන දෙන්න, තව මුදල් ලබා දෙන්න, ඒ වගේම ඔහුට එළියට එන්න ඇප ලබා දෙන්න ඒ සියළු කටයුතු සුදානම් කරන්නම් කියලා කියලා, ඔහුට කියලා තියනවා මට විරුද්ධව ඔහුගෙන් ප්‍රකාශයක් ලබා දෙන්න කියලා."

මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට තව දුරටත්  දැනුම් දී සිටියේ හිටපු අමාත්‍යවරයාට එල්ල කරන චෝදනාව සම්බන්ධයෙන් තමන් සතුව සාක්ෂිද පවතින බවයි.

"ඒ අපරාධයට ඔහුව අත්අඩංගුවට අරගෙන අවුරුදු 5ක් තිස්සේ රිමාන්ඩ් බන්ධනාගාරයේ තබාගෙන ඉන්නවා. ඒ සම්බන්ධව මටත් සම්බන්ධතාවයක් තියනවයි  කියලා ඔහුගෙන් ප්‍රකාශයක් ඉල්ලලා තිබෙනවා. මට ඒ පිළිබදව ගරු සභාපතිතුමනි, මගේ ලග මනුෂ නානායක්කාර හිටපු ඇමැතිවරයා ඔහු මැණගැසීම සම්බන්ධව මංලග සාක්ෂිත් තියනවා."

 

සිය ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති අනතුරුදායක තත්වය සම්බන්ධයෙන්ද පාර්ලිමේන්තුව දැනුවත් කළ විපක්ෂයේ මන්ත්‍රීවරයා තමන්ට එරෙහිව යම් කුමන්ත්‍රණකාරී වැඩ පිළිවෙලක් සිද්ධ වෙමින් යන බවටත් සැක පළ කළේය.

 

"දැන් මේක ඉතාම බරපතල තත්වයක්. මොකද මම පසුගිය කාලය පුරාම මේ දේශපාලනයේ දී විශේෂයෙන්ම සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ජයග්‍රහනය වෙනුවෙන් ඉදිරියෙන් ඉදලා වැඩ කරන මන්ත්‍රීවරයෙක් කියන එක හැම එක්කෙනාම දන්නවා. ඒ වගේම කොළඹ නගරයේ විශාල වැඩ කොටසක් කරන අපේ පක්ෂය වෙනුවෙන් ඒ දේශපාලනය කරන මන්ත්‍රීවරයෙක්. ඒ හින්දා අද මට පේනවා මොවුන්ට මේක උහුල ගන්න බැරුව මේක දරා ගන්න බැරුව මොකක්හරි සම්බන්ධතාවයකට මාව පටලවලා මාව එක්කෝ රිමාන්ඩ් ගත කරන්න, එහෙම නැතිනම් මගේ ජීවිතයට හානියක් කරන්න මනුෂ නානායක්කාර ඇමැතිවරයටයි, මං දන් නැ රනිල් වික්‍රමසිංහට උවමනාවක් තියනවද කියලා. මට තේරෙනවා යම් කුමන්ත්‍රණකාරි වැඩ පිළිවෙලක් දැන් සිද්ධ වීගෙන යනවා."

කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් තව දුරටත් කියා සිටියේ තමන් සතුව පවතින සාක්ෂි කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වහාම බාර දීමට කටයුතු කරන බවයි.



 

pe2024 2

worky sin

නවතම පුවත්