'විකල්ප පොහොට්ටු කණ්ඩායම' ලෙස මෙතෙක් කටයුතු කළ ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් තවත් දේශපාලන පක්ෂ හා කණ්ඩායම් කිහිපයක් සමග එක්වෙමින් 'පොදු ජන එක්සත් නිදහස් පෙරමුණ' නමින් අද (05) පෙරවරුවේ සන්ධනගත විය.
ඒ, මෙවර ජනාධිපතිවරණයේදි ස්වාධින අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්ව සිටින රනිල් වික්‍රමසිංහ වෙත සහාය පළ කරමිනි.
මෙහි නව පෙරමුණේ 'ලාංජනය' ලෙස කුසලානය ලකුණ හදුන්වා දීම සිදු කෙරුණ අතර බත්තරමුල්ල වෝටර් එජ් හෝටලයේ පැවති සමාරම්භක උත්සවයට
පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් විශාල ප්‍රමාණයක් එක්ව සිටියහ.
ඊට අමතරව හිටපු පළාත් සභා හා පළාත් පාලන මන්ත්‍රීවරු විශාල ප්‍රමාණයක් සහභාගි වී සිටියහ.
එහි නායකත්වය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් හොබවන අතර ලේකම් ලෙස අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පත් කර තිබේ.
ටිරාන්ගේ පක්ෂයක් වෙනත් නමකින් ...
දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන පරිදි මෙසේ 'පොදු ජන එක්සත් නිදහස් පෙරමුණ' නමින් අද දිනයේ ප්‍රකාශයට පත්ව ඇත්තේ, අමාත්‍ය ටිරාන් අලස් මහ ලේකම් ධුර දරු 'ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානය' නමැති මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ ලියාපදිංචි දේශපාලන පක්ෂයයි.
2010 මහා මැතිවරණය තරඟ කිරීම සඳහා ජනරාල් සරත් ෆොන්සේකා සහ ඔහුගේ මිත්‍ර සන්ධානය විසින් 'ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානය' පිහිටුවා ගනු ලැබූ අතර ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ), ප්රජාතන්ත්රවාදි ජාතික පෙරමුණ, ප්රජාතන්ත්රවාදී එක්සත් ජාතික පෙරමුණ, ජනතා දෙමළ කොංග්‍රසය හා මුස්ලිම් හඬ සංවිධානය එම සන්ධානය නියෝජනය කළේය. ටිරාන් අලස් පළමුවරට පාර්ලිමේන්තුවට පත්වුයේ 2010 මහ මැතිවරණයේදී එම පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයකින්.