theleaderlk 01

මෑත ඉතිහාසයේ පළමු වතාවට දේශපාලන කරළියේ ආර්ථිකය ප්‍රමුඛ කර ගත් සාකච්ඡාවක් මතු වෙමින් පවතින බව

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්‍ෂක අනුර කුමාර දිසානායක (AKD) පැවසී ය.

අනුර කුමාර දිසානායක මෙලෙස පැවසුවේ පසු ගිය තුන්වන (03) දින ශ්‍රී ජයවර්ධනපුර මොනාක් ඉම්පීරියල්  ශාලාවේ පැවති ජාතික ජන බලවේගයේ ජාතික ව්‍යාපාරික සමුළුව අමතමිනි.

එහි දී අනුර කුමාර දිසානායක මෙසේද පැවසිය.


2020 – 22 ආර්ථිකය කඩා වැටීමේ වාසිය

‘‘මේ දේශපාලන පොරපිටිය සැලකිය යුතු ප්‍රමාණයකින් උණුසුම් වෙමින් තිබෙන වෙලාවක්. මෙයට පෙර පැවති සෑම මැතිවරණයක දී ම ලංකාවේ තීරණාත්මක වූයේ ආර්ථික සාධකය නොවෙයි. එක කාලයක දී යුද්ධය, ජාතිය බේරා ගැනීම, රට අනතුරේ ආදී සටන් පාඨ මැතිවරණ වේදිකාවේ මූලික කරුණු බවට පත් කරගෙන සිටියා. මෑත ඉතිහාසයේ පළමු වතාවට ආර්ථිකය ප්‍රමුඛ කර ගත් සාකච්ඡාවක් දේශපාලන කරළියේ මතු වෙමින් තිබෙනවා. දෙදහස් විසි එක විසි දෙක වකවානුවේ ආර්ථිකය විශාල වශයෙන් බිඳවැටීමකට ලක් නොවෙන්න මේ මැතිවරණයේදීත් වෙනත් සාධක මූලික කර ගන්නවා. සමහර සාධක ඔවුන් විසින්ම නිර්මාණය කර ගන්නා ලද ඒවා. නමුත්, ආර්ථිකය බිඳවැටීමෙන් පසුව පුරවැසියන්ටත්, දේශපාලන ව්‍යාපාරවලටත් ආර්ථිකය පිළිබඳව යම් විධිමත් සාකච්ඡාවකට ප්‍රවේශ වෙන්න බල කෙරී තිබෙනවා. මෙවර මැතිවරණ වේදිකාවේ මේ මාතෘකාව ඉදිරියට පැමිණ තිබෙන්නේ මේ පසුබිම නිසයි. ජාතික ජන බලවේගය හැටියට අපේ ආර්ථික දිශානතිය මූලික වශයෙන් සම්පිණ්ඩනය කර ඔබ සැම සමග බෙදාගත යුතු බවට අපි කල්පනා කරා. අපේ මූලික හරය අද දවසේ ඉදිරිපත් කරන්නේ ඒ අනුවයි.

කොටස් වෙළෙඳපොළ බිඳ වැටීමේ ඇත්ත කතාව

දේශපාලන වේදිකාව තුළ නැවත වරක් ‘බිය’ කියන සාධකය ඉදිරියට ගෙන එන්න විශාල උත්සාහයක් තිබෙනවා. මෙයට පෙර මෙම සාධකය වෙනස් ආකාරයකින් ඉදිරියට ගෙනැවිත් තිබුණා. ‘මේ අපේක්‍ෂකයා තෝරා ගත්තේ නැත්නම්, ජාතිය අනතුරේ වැටෙනවා, මේ අපේක්‍ෂකයාට ඡන්දය දුන්නේ නැත්නම්, රට අනතුරේ වැටෙනවා’ ආදී වශයෙන් විවිධ විදිහට බිය සමාජගත කළා. ඒකම දැන් වෙනස් මුහුණුවරකින් ‘මෙම අපේක්‍ෂකයා තෝරා ගත්තේ නැත්නම්, ගෑස් සිලින්ඩර පිපිරෙනවා’ යනුවෙන් බියක් නිර්මාණය කරමින් යනවා. තව පැත්තකින් ජාතික ජන බලවේගය බලය ලබාගතහොත්, ආර්ථිකය විශාල වශයෙන් කඩාවැටෙන බවට ප්‍රචාර ගෙන යනවා. කොටස් වෙළෙඳපොළේ මේ දිනවල ඇති බිඳවැටීම පවා ජාතික ජන බලවේගයේ වර්ධනය නිසා සිදුවන බවට ප්‍රචාර ගෙන යනවා. 

ඒ බිඳවැටීම පිළිබඳ සත්‍ය කතාව මොකක් ද? අප දේශපාලන ව්‍යාපාරයක් ලෙස දීර්ඝ කාලයක් දේශපාලනය කළත්, රාජ්‍ය බලය ලබා ගන්න ආසන්න අවස්ථාවට පැමිණ සිටින්නේ පළමු වතාවටයි. ඒ දීර්ඝ කාලය තුළ දියත් කළ විශාල දේශපාලන මෙහෙයුමක ප්‍රතිඵලයක් හැටියටයි. ආර්ථික බිඳවැටීමක දී ජනතාව දක්වන ප්‍රතිචාර දෙදහස් විසිදෙකේ දි අපි දැක්කා. බලයට පත් වූ ජනාධිපතිවරයාට අවුරුදු දෙකකින් පලා යන්න සිදු වුණා. දීර්ඝ කාලයක් දේශපාලන අරමුණකින් ක්‍රියා කළ අපි මාස හයකින් පලා යාමට සිදු වන වාතාවරණයක් හදනවාද? ආර්ථිකයේ බිඳවැටීමට ජනාධිපතිවරයා, අගමැතිවරයා, මුදල් ඇමැතිවරයා, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වාගේම ඒ මොහොතේ සිටි මහ බැංකු අධිපතිවරයා වැරැදිකරුවන් බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කර තිබෙනවා. ජනාධිපතිට පවා එරෙහිව එවැනි තීන්දුවක් ලබා දී තිබියෙ දී, අපත් ශ්‍රේෂ්ඨාධිකරණයේ වැරැදිකරුවන් බවට පත් කෙරෙන ක්‍රියාමාර්ග අනුගමනය කරනවාද? නැහැ. කිසිසේත්ම නැහැ. ඒ නිසා අපි ඔබට මුලින්ම දෙන සහතිකය තමයි, දැනට තිබෙන ආර්ථිකය කිසිදු ආකාරයකින් බිඳවැටීමකට ඉඩ නොදෙන බව. ඒ වගේම ආර්ථිකය තවත් ස්ථාවර කර ශක්තිමත් කරමින්, ඉදිරියට ගෙන යාම ජනතාව සහ අප අතර තිබෙන සම්මුතිය බව.

කුඩා වෙනසක මාරාන්තික බව

ජනප්‍රිය සටන් පාඨවලින් බලය ලබා ගැනීමේ අරමුණක් අපට නැහැ. අපට ලැබෙන්නේ මොන වාගේ ආර්ථිකයක් ද යන්න අපි හොඳින් තේරුම්ගෙන සිටිනවා. තැපැල් ඡන්දය ආසන්නයට පැමිණ තිබෙද්දී, රාජ්‍ය සේවකයන්ට බෝනස් ලැබෙනවා. එක් අයෙක් සියයට විසි හතරක් වැඩි කරන බව කීවාම, අනෙක් කෙනා කලින්ම කීවේ මා බව කියනවා. එක් අයෙක් වැටුප් වැඩි කිරීම විසිපන් දහසක් බව කීවාම, අනෙක් කෙනා අවම වැටුප රුපියල් පනස් හත්දහස් පන්සීයක් කරන බව කියනවා. අපි ඒ ලාභ තරගයේ නැහැ. ආර්ථිකය කඩාවැටෙමින් තිබෙන බරපතළකම අපි ගැඹුරින් තේරුම්ගෙන සිටිනවා. ක්‍ෂණික හැරවුම්, ක්‍ෂණික වෙනස්කම් ඇති කර ගන්න හැකියාවක් මේ ආර්ථිකයේ කිසිසේත්ම නැහැ. ඉතා සිහින් නූලකින් ගැටගැසී තිබෙන මේ ආර්ථිකයට ඇති කරන ඉතා කුඩා වෙනසක් පවා මාරාන්තික විය හැකියි. ඒ නිසා ජාතික ජන බලවේගයේ අපි ආර්ථිකයේ ඇති කරන සියුම් වෙනසක් පවා ඉතා හොඳින් කවර ආකාරයේ ප්‍රතිවිපාක ගෙනැවිත් දේ දැයි කල්පනා කර බලා කටයුතු කරනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අපේ වගවීම

අපි මේ රටේ ජනතාවට වගකියන, වග වෙන ව්‍යාපාරයක්. අපේ සමස්ත ජාත්‍යන්තර ආර්ථික සම්බන්ධතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන බාස්කට් එක තුළ තිබෙන්නේ. ද්විපාර්ශ්වීය ණය ගනුදෙනු, බහුපාර්ශ්වීය ණය ගනුදෙනු, ස්වෛරීත්ව බැඳුම්කර ඇතුළු සියල්ල මූල්‍ය අරමුදලත් සමග ගැටගසා තිබෙනවා. ඒ නිසා කිසිවකු හෝ ඒකපාර්ශ්විකව එම වැඩසටහනෙන් ඉවත් වීම පිළිබඳව කල්පනා කරනවා නම්, ඔහු රට හෝ රටවැසියන් පිළිබඳව වගවීම අත්හැරීමක් වනවා. අපි කිසිසේත් ම ඒකපාර්ශ්වීයව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉවත් වෙන්නේ නැති බවට සහතිකයක් දෙනවා. මූල්‍ය අරමුදලෙන් සපයා තිබෙන රටට අහිතකර නොවන පැරාමිතීන් පවත්වාගෙන යමින්, වඩා සුදුසු මාවත පිළිබඳව අපි සලකා බලනවා. ඒ කිසිසේත් රට බිඳවැට්ටීමේ දිශාවට නොවෙයි. ඒ නිසා ජනාධිපතිවරයාට අපි අවධාරණය කරන්නේ, අනියත බියක් සමාජගත නොකරන ලෙසයි. කොටස් වෙළෙඳපොළ බිඳවැටීමේ ප්‍රධාන වගඋත්තරකරුවා ඔහුයි. රටේ මුදල් ඇමැති ලෙස, ජනාධිපති ලෙස ආර්ථිකය බිඳවැටීම පිළිබඳ අනියත බියක් නිරන්තරයෙන් හිතාමතාම ඇති කරමින් සිටිනවා. ඒ නිසා ආර්ථික අර්බුදයක් ඇති කර ගැනීමේ සැලැසුම්සහගත පරමාර්ථයකින් ඔහු කටයුතු කරනවා දැයි බරපතළ සැකයක් ඇති වෙනවා. ආර්ථිකය කඩාවැටීමට ඉඩ නොදෙන බවට අපි සාකච්ඡා කරන කොට ඔහු පමණක් අපි ඇවිත් ආර්ථිකය වට්ටන බව කියනවා. ජාතික ජන බලවේගයේ අපි ජනාධිපතිගේ අපේක්‍ෂාවේ ගොදුරක් බවට කිසිසේත්ම පත් වෙන්නේ නැහැ.

ලාබ ලැබීමේ ව්‍යාපාර පෞද්ගලික අංශයට

මහ බැංකුවේ කාර්යභාරය පිළිබඳ විවාදයක් තිබෙනවා. අපේ රටේ මූල්‍ය වෙළෙඳපොළේ, උද්ධමනයේ, පොලී අනුපාතිකයේ සහ විනිමය අනුපාතිකයේ ස්ථාවරයන් සහ පුරෝකථනයන් පිළිබඳව පැහැදිලි අදහසක් තිබිය යුතුයි. පසුගිය කාලයේ එක රාත්‍රියෙන් විනිමය අනුපාතික විශාල වශයෙන් වෙනස් කිරීමෙන් ආර්ථිකය තුළ විකෘතියක් නිර්මාණය කළා. ඒ නිසා අපට පුරෝකථනය කළ හැකි වන පරිදි විනිමය අනුපාතිකයක් පවත්වා ගැනීම, පොලී අනුපාතික පවත්වා ගැනීම, උද්ධමන අනුපාතික පවත්වා ගැනීම අතිශයින්ම ආර්ථිකයේ ස්ථාවරත්වයට වැදගත්. මේ කටයුතු සඳහා මහ බැංකුවේ ස්වාධීනත්වය අතිශයින්ම වැදගත්. දේශපාලන වුවමනාවන් සඳහා මහ බැංකුව මෙහෙයවීමෙන් එහි ස්වාධීනත්වය බිඳවැටුණා.

ඒ වාගේම ආර්ථිකයක් මෙහෙයවීමට ජනතාව විසින් ලබා දී තිබෙන ජනවරම කවුරුත් පිළිගත යුතුයි. ඒ වෙනුවෙන් මහ බැංකුවේ සහයෝගය අපේක්‍ෂා කිරීම හැරුණුකොට අපගේ දේශපාලන අරමුණු සාක්‍ෂාත් කර ගැනීම සඳහා අප කිසිසේත්ම මහ බැංකුව උපයෝගී කර ගන්නේ නැහැ. ඒ වාගේම රාජ්‍ය ව්‍යවසායන් මෙහෙයවීම පිළිබඳව විශාල කතිකාවක් ගොඩනැගී තිබෙනවා. ආර්ථිකයේ සියලු අංශවලට ඉතා සංවේදී බලශක්තිය, මූල්‍ය වෙළෙඳපොළ සහ ජාතික ආරක්‍ෂාවට සෘජු ලෙස සම්බන්ධ සමහර ක්‍ෂේත්‍රවල රජයේ ප්‍රධාන පංගුවක් තිබිය යුතුයි. ඒ හැර ලාභ ලැබීම අරමුණු කර ගත් ව්‍යාපාර රජය විසින් මෙහෙයවන්නේ නැහැ. තවදුරටත් පවත්වාගෙන යා යුතු සහ අත්හැරිය යුතු ක්‍ෂේත්‍ර අප විසින් හඳුනාගෙන තිබෙනවා. ඒ වගේම පුරවැසියන්ට අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා අඛණ්ඩව, සාධාරණ මිලකට සහ නියමිත ප්‍රමිතියෙන් යුතුව ලබා දීම වෙනුවෙන් ශක්තිමත් නියාමන අධිකාරියක් අවශ්‍ය බව අප කල්පනා කරනවා. එවැනි ආයතන ව්‍යුහයක් ශක්තිමත් කිරීමට රජය කටයුතු කරනවා.  
 
සීසර්ගේ අයිතිය සහ දෙවියන්ගේ අයිතිය
 
ධනය තිබෙන අයගෙන් ධනය, ව්‍යාපාර තිබෙන අයගෙන් ව්‍යාපාර, නිවාස තිබෙන අයගෙන් නිවාස ආදී වශයෙන් වන දේපළ අපේ පාලනයක් යටතේ පවරා ගන්නා බවට තවත් ප්‍රචාරයක් ගෙන යනවා. අපි සරදියෙල්ගෙන් ඉගෙන ගත් අය නොවෙයි. අපි මහජනයාගේ ජීවන අත්දැකීම්වලින් ඉගෙන ගත් මිනිසුන්. ඔවුන් ගෙන යන අවලාද විසි එක්වැනි සියවසට වලංගු නැති බවයි අපට කියන්න තියෙන්නේ. ඒ වාගේම රාජ්‍යය සහ පෞද්ගලික අංශය අතර තිබෙන සබඳතාව ‘සීසර්ට අයිති දේ සීසර්ටත්, දෙවියන් වහන්සේට අයිති දේ දෙවියන් වහන්සේටත්’ වශයෙන් අපි ඉතා හොඳින් තේරුම්ගෙන සිටිනවා. අපි මේ දෙක කිසිසේත්ම පටළවා ගන්නේ නැහැ. දේශපාලකයන් හැටියට අපට පැවරී තිබෙන වැඩ කොටසත්, ව්‍යාපාරිකයන් හැටියට ඔබට පැවරී තිබෙන වැඩ කොටසත් අපි ඉතා හොඳින් තෝරා බේරාගෙන තිබෙනවා.
 

ආයෝජකයින්ගේ බිය
 
අපේ ආර්ථිකයේ ‘එන්ජින්’ එක බවට පත් වෙන්නේ පෞද්ගලික ව්‍යවසායකයා සහ කර්මාන්තකරුවායි. අපේ රටේ රාජ්‍ය ව්‍යුහයේ ස්වභාවය, අණපනත්වල ස්වභාවය, දේශපාලන අධිකාරියේ ස්වභාවය වැනි කරුණු නිසා අපේ ආර්ථිකය හිර කර තිබෙනවා. මෙය නිදහස් බව කීවත්, කිසිම නිදහසක් නැහැ. අවශ්‍යතා අනුව චලනය වන ආර්ථිකයක් තිබුණා නම්, එක්දහස් නමසිය පනහහේ දී අපේ අපනයන ආදායම ඩොලර් මිලියන තුන්සිය දහසයක තියෙද්දි, කොරියාවේ එය ඩොලර් මිලියන විසි පහයි. එදා කොරියාවට වඩා දොළොස් ගුණයකට වඩා අපනයන ආදායමක් අප ලබා ගත්තා. නමුත්, අද අපේ රටේ අපනයන ආදායම ඩොලර් බිලියන දොළහක් වෙද්දි දකුණු කොරියාවේ ඩොලර් බිලියන හයසිය අසූ පහයි. අපි වාගේ පනස් ගුණයකටත් වඩා විශාල අපනයන ආදායමක් උපයා ගන්නවා. ඒ වගේම ඩොලර් තුන්දහස් අටසීයක වාගේ ඒකපුද්ගල ආදායමක අපි හිරවුණේ ඇයි? ඒක දශක ගණනාවක් පුරා හිර වීමේ ප්‍රතිඵලයක්. අල්ලස සහ දූෂණය, ජාතික සැලැස්මකට අනුරූප වන පරිදි ආර්ථිකය මෙහෙයවීම නොකිරීම වැනි කරුණු නිසා හිර වී තිබෙනවා. අයවැය ලේඛනයක් එන කොට ආයෝජකයන් සිටින්නේ අවිනිශ්චිතතාවකයි. ව්‍යවසායකයන් තමන්ගේ ආර්ථික තීරණ ආර්ථිකමය පුරෝකථන මත ගත යුතු වුවත්, අපේ ව්‍යවසායකයන්ට සිදු වී තිබෙන්නේ ඥානක්කා වැනි ශාස්තර කියන්නියන්ගේ උපදෙස් අනුවයි. අද අපේ රටේ ව්‍යවසායකයින් කුමක් වේ දැයි බියකින් ඉන්නවා.


දේශපාලන අරමුණෙන් තොර රාජ්‍ය සේවය

නමුත්, ලෝකය ඉදිරියට යන්නේ දත්ත එක්රැස් කිරීම, දත්ත විශ්ලේෂණය කිරීම වැනි කරුණු මූලික කරගෙනයි. ජාතික අරමුණු මත ඔබ යෙදිය යුතු ක්‍ෂේත්‍ර මොනවාද? එම ක්‍ෂේත්‍රවලට රජයෙන් සපයන යටිතල පහසුකම් මොනවාද? රාජ්‍ය සේවයෙන් ඉටු කර දිය යුතු කාර්යයන් මොනවාද යන්න අපි නිසි ලෙස තේරුම්ගෙන සිටිනවා. විශේෂයෙන්ම රාජ්‍ය සේවය දේශපාලනික අරමුණු වෙනුවෙන් යොදවා ගන්නේ නැහැ. අධ්‍යාපනය, සෞඛ්‍යය වැනි අත්‍යවශ්‍ය සේවාවන්ගේ අත්‍යවශ්‍යම පුරප්පාඩුවක් හැර රාජ්‍ය සේවය පුරවන්නේ නැහැ. රජයෙන් ලබාගත යුතු සේවාවන් විසිරී තිබීම වෙනුවට ඒකාබද්ධ කොට කාර්යක්‍ෂමව ලබා දීමට අවශ්‍ය යාන්ත්‍රණය සකස් කරනවා. සමහර යල්පැනගිය නීති වෙනස් කර ආර්ථිකය වේගයෙන් ඉදිරියට ගෙන යාමේ පසුබිම සකස් කර දෙනවා.


බටහිර දැනුමේ අවශ්‍යතාව

ආර්ථිකයේ සැලකිය යුතු වර්ධනයක් අත්පත් කර ගත්තේ නැතිනම්, රට ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් කොතරම් සද් වුවමනාවක් තිබුණත් අපට එය කළ නොහැකියි. එහි නියමු කාර්යභාරය පැවරී තිබෙන්නේ ඔබ අතේ. ඔබ ආයෝජනය කරන්න, අපි එහි සුරක්‍ෂිතභාවය තහවුරු කර දෙනවා. පසුගිය කාලයේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත විශාල ප්‍රමාණයක් බිඳවැටුණා. ඒ බිඳවැටුණේ ඔබ ගනු ලැබූ තීන්දු තීරණවල වරදක් නිසා නෙමෙයි; ආර්ථිකයේ මහා කඩාවැටීම නිසයි. අලුත් ව්‍යවසායන් ඇති කර ගැනීම ටිකක් දුෂ්කර කාර්යයක්. අත්දැකීම් තිබෙන ඒ තුළින් ඥානය ලබා ගත්, කළමනාකරණ හැකියාවක් තිබෙන අයගේ ව්‍යාපාර නැවත ප්‍රතිස්ථාපනය කිරීම ඉතාම වැදගත්. ඒ නිසා ඔබ සිර වී සිටින පරාටේ නීතිය වැනි නීතිවලින් තිබෙන පීඩනය අවම කර ගැනීමට සියලු පසුබිම සකසා දෙනවා. අපි කැමැති වුණත්, අකැමැති වුණත් නව තාක්‍ෂණය සහ දැනුම නිර්මාණය වෙන්නේ බටහිරයි. ඒ දැනුම ඉතා ඉක්මනින් උකහා ගන්න සමත් වෙන්නේ නැතිනම්, අපේ කර්මාන්තකරුවාට සහ ආයෝජකයාට අවශ්‍ය දියුණු මානව සම්පත සපයා ගන්න නොහැකි වෙනවා. ආර්ථික ඉලක්ක වෙනුවෙන් අවශ්‍ය මානව සම්පත අපේ අධ්‍යාපනයෙන් ගොඩනඟා ගන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් ලෝකයේ දියුණුම විශ්වවිද්‍යාලවලට යවා මුවහත් කර ගත් ඥානය ලංකාවට ගෙන එනවා. ඒ වාගේම ලෝකයේ ශ්‍රම වෙළෙඳපොළෙන් දියුණුම කොටසක් අත්පත් කර ගන්නත් සුදුසු ආකාරයට අධ්‍යාපනයේ වේගවත් ප්‍රතිසංස්කරණ ඇති කරනවා.


විදෙස් ආයෝජන අවශ්‍යතාව

අනාගත ලෝකයේ බලවත් වෙන්නේ වැඩිම තාක්‍ෂණික හිමිකාරීත්වය තිබෙන රටයි. ලෝකයේ ඇති වුණු මහා තාක්‍ෂණික වෙනස්කම් අපේ අධ්‍යාපනයට ඇතුළත් කරගෙන ඉදිරියට යාම සඳහා අපි පර්යේෂණ සහ සංවර්ධන ප්‍රතිපත්ති ප්‍රකාශනයක් වෙනම ම සකස් කර තිබෙනවා. පර්යේෂණ සිදු කරමින්, නව සොයාගැනීම් සහ නව නිර්මාණකරුවන් බිහි කර ගන්නා අතර, අපට අනන්‍ය වූ ක්‍ෂේත්‍ර හඳුනා ගැනීමත් සිදු කරනවා. ඒ වාගේම අපට තිබෙන කුඩා වෙළෙඳපොළ වෙනුවට රාජ්‍ය දැක්මක් සහ අනුග්‍රහය මත විදේශ වෙළෙඳපොළවල් අත්පත් කර ගැනීමේ වෙළෙඳ තානාපති සේවයක් ඇති කරනවා. අපේ ව්‍යවසායකත්වයන් රට තුළ පවතින මිලියන විසි දෙකක වෙළඳපොළෙන් එළියට ගෙන යන්නේ නැත් නම්, අපේ භාණ්ඩවල ගුණාත්මකභාවය රැකගෙන පිරිවැය අඩු කර ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. නිෂ්පාදන පිරිවැය අඩු කර ගැනීම සඳහා අවුරුදු දෙකක් ඇතුළත විදුලි බිල තුනෙන් එකකින් අඩු කර ගැනීමේ අරමුණක් තිබෙනවා. ඒ වාගේම දෙදහස් තිහේ දි පොසිල ඉන්ධන සඳහා ඉල්ලුම අවම මට්ටමකට පත් වී දෙදහස් පනහෙ දි පුනර්ජනනීය බලශක්තිය ප්‍රමුඛත්වයට පත් වෙනවා. අපට අවශ්‍ය ආර්ථික වර්ධනය අත්පත් කර ගන්න විදෙස් ආයෝජන අත්‍යවශ්‍යයි. එක්දහස් නමසිය හැත්තෑ අටේ සිට දෙදහස් විවි දෙක දක්වා රට තුළට පැමිණ තිබෙන්නේ ඩොලර් බිලියන විසි දෙකක ආයෝජන පමණයි. වියට්නාමයට ගිය අවුරුද්දේ විතරක් ඩොලර් බිලියන විසි තුනක ආයෝජන ලැබී තිබෙනවා. ‘ජාත්‍යන්තර සබඳතා තිබෙන අය’, ‘විදේශ යහළුවන් සිටින අය’ අවුරුදු හතළිස් දෙකකට ලබාගෙන තිබෙන්නේ ඩොලර් බිලියන විසි දෙකක ආයෝජන පමණයි. ප්‍රාග්ධන අවශ්‍යතාව, තාක්‍ෂණික අවශ්‍යතාව සහ ලෝක වෙළෙඳ දාමයට ඇතුළු වීමේ අරමුණින් විදෙස් ආයෝජනවලට ඉඩ සලසා දෙනවා. ඒ වාගේම ඔවුන්ට ලබා දෙන සහන හා සමාන ම සහන අප දේශීය ආයෝජකයන් වන ඔබටත් ලබා දෙනවා.’’
 
 
 ජාතික ජන බලවේගයේ ආර්ථික හා ව්‍යාපාරික කවුන්සලය විසින් සංවිධානය කරන ලද ජාතික ව්‍යාපාරික සංසදය ආරාධිත සහභාගිත්වයෙන් කොටසක්
 
ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති දුමින්ද හුලන්ගමුව, ජාතික වාණිජ මණ්ඩලයේ සභාපති දීපාල් නෙල්සන්, තරුණ ශ්‍රී ලාංකික ව්‍යවසායකයින්ගේ මණ්ඩලයේ (COYLE) සභාපති තුෂිර රද්දැල්ල, CIB අධ්‍යක්ෂ ධම්මිකා මුනිවංශ, කැන්ඩි ෆැෂන් කළමනාකාර අධ්‍යක්ෂ අජිත් රත්නසේකර, ශ්‍රියානි ඩ්‍රෙස් පොයින්ට් සභාපති මරියදාස් සෙල්වරාජ්, තේම්ස් රිසෝට් සභාපති චන්ද්‍රා වික්‍රමසිංහ, ජෙට්වින් සමූහයේ සභාපති හිරාන් කුරේ, වාසනා බේකර්ස් සභාපති දයානන්ද බෝඹුවල, දඹුලු ලී බඩු සභාපති එච්. සෝමරත්න, ට්‍රයිකෝ කළමනාකර අධ්‍යක්ෂ ගාමිණී කන්නංගර, සුභාෂ් ජෙම්ස් සභාපති සුභාෂ් කරුණාරත්න, සුසර ප්‍රකාශන කළමනාකාර අධ්‍යක්ෂ කපිල වික්‍රමසිංහ, ඩී.එස්.අයි. සමූහයේ සභාපති නන්දදාස රාජපක්ෂ, ජොන් කීල්ස් සමූහයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍රන්, සීඅයිසී හෝල්ඩිං සභාපති සෝලි කැප්ටන්
 
 
ආර්ථික හා ව්‍යාපාරික කවුන්සල සාමාජිකත්වය
 
 ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අනිල් ජයන්ත, ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, සමාගම් මෙහෙයුම් විශේෂඥ මංගල විජේසිංහ, නිෂ්පාදන කර්මාන්ත ප්‍රධාන විධායක නිලධාරි චන්න ගුණවර්ධන, එමරල්ඩ් ඉන්ටනැෂනල් කළමනාකාර අධ්‍යක්ෂ මොහොමඩ් ඉක්රම්, වෛද්‍ය රිස්වි සාලි, කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සීතා බණ්ඩාර,  වසන්ත සමරසිංහ, චතුරංග අබේසිංහ, සත්කාරක වෘත්තික නිහාල් මුහන්දිරම්, සමාගම් අධ්‍යක්ෂ චමිල් උඩවත්ත, ලංකා මිනරල්ස් ඇන්ඩ් කෙමිකල්ස් සභාපති එම්.යූ. බෝපිටිය, සුනිල් හඳුන්නෙත්ති, ව්‍යවසායක ශර්වින් අර්සකුලරත්න, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජනක් කුමාරසිංහ, රුහුණු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නන්දසිරි කිහිඹියහෙට්ටි, ප්‍රධාන විධායක නිලධාරි එස්.එම්.ඩී. සූරියකුමාර, සිලෝන් බිස්කට්ස් සාමාන්‍යාධිකාරි නිශාන් නානායක්කාර, හෙගා ටයිල් සභාපති ගාමිණී කුමාර, කන්ඩූරි රෙස්ටුරන්ට්ස් සභාපති ලෆ්රාන් ෂොයිබ්, බෙලොස් ලංකා සභාපති චතුර ක්‍රිෂාන්ත පෙරේරා, ක්‍රිස්ටික් ලංකා පොලිමර්ස් කළමනාකාර අධ්‍යක්ෂ ශ්‍රීමත් ඩයස් පෙරේරා, රිචී සමූහයේ සභාපති විරන්ත එච්. හෙට්ටිආරච්චි, හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුනිල් කුමාර ගමගේ, මා බිම සමූහ ව්‍යාපාරයේ සභාපති සුජිත් පෙරේරා, නිෂ්පාදන සමාගම් උප සභාපති තුෂාර හෙට්ටිතන්ත්‍රිගේ, සෙන්ට් තෙරේසා ඉන්ඩස්ට්‍රීස් සභාපති කොලින් ෆනෑන්ඩු, ආර්ථික විශේෂඥ ගාමිණී වරුෂමාන, ලංකා මිනරල්ස් ඇන්ඩ් කෙමිකල්ස් කළමනාකාර අධ්‍යක්ෂ නොඑල් නෙරිස්, කළමනාකාර අධ්‍යක්ෂ ලසන්ත ද ෆොන්සේකා, ශ්‍රී ලංකා සංචාරක සහ හෝටල් කළමනාකරණ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් බුද්ධික හේවාවසම්

(සටහන - ජයසිරි අලවත්ත)
 
iu34mf

 

pe2024 2

worky sin

නවතම පුවත්