theleaderlk 01

ධනේශ්වර ව්‍යාපාරිකයෝ ඇවිත් ‘දැන් මාක්ස්වාදය ෆේල් නිර්මාණය කළ යුත්තේ වෙළඳපොළ ආර්ථිකයක්’ යැයි පවසන විට ගැලරියේ සිටින ජනතා විමුක්ති පෙරමුණ

එය අනුමත කරන බව ජන අරගල සන්ධානයේ පුබුදු ජයගොඩ පැවසී ය.

ඔහු එලෙස පැවසුවේ ඊයේ (05) පැවති අනුර කුමාර දිසානායකගේ ‘‘පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්’’ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ භයානකකත්වය පිළිබඳ ජනතාවට දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍යය හමුවේ දී ය.

එහි දී වැඩි දුරටත් අදහස් දැක්වු පුබුදු ජයගොඩ...

මාලිමාවට සහතික දෙන ජෝන් කීල්ස්

‘‘ජාතික ජන බලවේගය ඉදිරිපත් කරල තියෙන්නෙ ක්‍රම වෙනසක් බලාපොරොත්තුවෙන් හිටපු ජනතාව මිරිඟුවක් කරා ඇදගෙන යන ප්‍රතිපත්තියක් තමයි. මේ බලාපොරොත්තු වෙන්නෙ ක්‍රම වෙනසක් අපේක්ෂා කරපු ජනතාව මැතිවරණය තුළ මුහුණු මාරුවක් දක්වා ගෙනියන්න. එක කාලයක ජවිපෙ දක්ෂිණාංශික දේශපාලන පක්ෂ එක්ක සන්ධානගත වුණා. ඒ මුල් කාලීන සන්ධානගතවීම් ඇතුළෙ වාමාංශික වැඩපිළිවෙළක් තිබුණා. හැබැයි දැන් සන්ධානගත වෙන්නෙ පක්ෂ එක්ක නෙමෙයි; ධනපති පන්තිය එක්ක. වාමාංශික වැඩපිළිවෙළ දැන් ඒක ඇතුළෙ නෑ. අපි දැක්කා ධනේශ්වර ව්‍යාපාරිකයෝ ඇවිත් මාක්ස්වාදය දැන් ෆේල් වෙළෙඳපොළ ආර්ථිකයක් තමයි හදන්න ඕන කියනකොට ජාතික ජන බලවේගයේ නායකයෝ ගැලරියේ ඉඳන් ඒක අනුමත කරනවා.

ඩී එස් අයි ප්‍රධානියා කියන විදිහට දැන් මේ මාලිමාව තෝරගෙන තියෙන්නෙ ඔෆපෙරගේ පාර. ඒක හොඳින් පැහැදිලි වෙනවා මේ ප්‍රතිපත්ති ප්‍රකාශය බලනකොට. ජෝන් කිල්ස් වගේ සමාගම් තමයි අද මාලිමාවට සහතික දෙන්න එන්නෙ. අපි දන්නවා චන්ද්‍රිකාගෙ ආණ්ඩුව කාලේ ඉතාම දූෂිත විදිහට කොළඹ වරායේ ජැටියක් කුණු කොල්ලයට මිලදී ගත්ත සමාගම තමයි ජෝන් කීල්ස් කියන්නෙ. අද ඒ සමාගම තමයි එන්නෙ මේ රටේ ආර්ථික ප්‍රතිපත්තිය කොහොමද සකස් වෙන්න ඕන කියලා සහතික දෙන්න.

අරගලයේ අභිලාෂ අමතක කරන NPP

මේ ප්‍රතිපත්ති ප්‍රකාශය ජාතික ජන බලවේගය දේශපාලනිකව මොනතරම් මං මුළාවෙලා ද කියන එකට හොඳ උදහරණයක්. අපි දෙදස් විසි අට වෙද්දි නැවත ණය ගෙවන්න ඕන. ඒ වෙද්දී එක ඩොලරයක් අලුතෙන් හොයන්නෙ කොහොමද කියලා කිසිඳු සටහනක් නෑ. මේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලියල තියෙන්නෙ මේ අධික ණය බරෙන් නිදහස් වෙන්නෙ කොහොමද කියන ප්‍රශ්නෙට කිසිඳු උත්තරයක් නැතුවයි. ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය කියවද්දී මේක මේ අවුරුද්දේ ලියපු එකක් ද නැත්තං පරණ එකක ප්‍රින්ට් එකක් ද කියලා සැක හිතෙනවා. උදාහරණයක් විදිහට මේකෙ එකසිය අනූ හතර පිටුවෙ කියනවා විධායක ජනාධිපති බලතල කප්පාදු කරලා පාර්ලිමේන්තුවට සියලු බලතල පවරනවා කියල. හැබැයි මිනිස්සු දෙසිය විසි පහ ම එපා කියලා කිව්වෙ දෙදහස් විසි දෙකේ අරගලේ දි. එතකොට මේ පරණ කතාවක් ආයෙ කියන්නෙ ඒ අරගලයේ අභිලාෂ හැම දෙයක්ම අමතක කරලා.


106 පිටුවේ පරස්පරය

ඊළඟට බරපතළම කාරණය තමයි ආර්ථික කතාව. අයි එම එෆ් වැඩපිළිවෙළ ගැන කතාකරනවා කියලා විතරයි තියෙන්නෙ. හැබැයි මේ ගැන නිශ්චිත ස්ථාවරයක් නෑ. ණය සම්බන්ධයෙන් ගන්න පියවර මොනවද ? රාජ්‍යය ආයතන පවත්වාගෙන යන්නෙ කොහොමද වගේ කාරණා ගැන නිශ්චිත ස්ථාවරයක් නැතුව තමයි මේ යන්න හදන්නෙ.  එකසිය හයවෙනි පිටුවෙ කියනවා විදෙස් ආයෝජකයන්ව ආරක්ෂා කරනවා. ඔවුන්ට තමන්ගේ ආයෝජන කරන්න ඉඩ දෙනවා කියලා. හැබැයි එහෙම කියන ගමන් සුළු ව්‍යාපාරිකයන්ව ආරක්ෂා කරන්න මැදිහත් වෙනවලු. මහාපරිමාණ සමාගම් අධිකාරය රකින ගමන් සුළු ව්‍යාපාරිකයන්ගේ දියුණුව ගැන කතාකරන්නෙ කොහොමද ? ඒක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.

පාසල් හැර යෑමේ විභාගය...?

ඊළඟට දාහත්වෙනි පිටුවෙ දි අවුරුදු දාහතරෙ දි පාසල් හැරයාමේ විභාගයක් තියන්න යෝජනා කරනවා. අපි දන්නවා අවුරුදු දහසයේ දි පාසල් හැරයාමේ විභාග නීති හැදෙන්නෙ ලන්දේසි යුගයෙ දි. දැන් හැබැයි ලෝකෙ සාකච්ඡාව තියෙන්නෙ මේ කාලය අවුරුදු දහඅට දක්වා වැඩි කරන්න ඕන කියල. එහෙම තත්වයක් ඇතුළෙ මේගොල්ලො යෝජනා කරනවා අවුරුදු දාහතරෙ දි පාසල් හැරයාමේ විභාගයක් තියන්න. කම්කරු නීතිය දිහා බැලුවම මේ එන්නෙ කොතනටද කියලා පැහැදිලියි මොකද ඒකෙ සඳහන් වෙනවා අවුරුදු දාහතරෙන් පස්සෙ ළමයින්ට පෞද්ගලික අංශයේ රැකියා කරන්න අවස්ථාව ලැබෙනවා කියලා.

ක්ෂුද්‍ර මූල්‍ය ණය ගැන නෝ කතා

දැන් මේ ප්‍රතිපත්තියේ බදු ගැන කතාකරනවා; හැබැයි කොලේ වහලා. බදුබර අඩුකරනවා කියලා සාමාන්‍යය ජනතාවට කියන ගමන් ව්‍යාපාරිකයන්ටත් කියනවා ඔවුන්ගේ බදුබර අඩු කරනවා කියලා. එතකොට අපි අහන්නෙ මේ දෙක කොහොමද බැලන්ස් කරන්නෙ? ව්‍යාපාරිකයන්ගේ ලාභයට අත නොතියා කොහොම ද ජනතාවට බදු සහන දෙන්නෙ ? ක්ෂුද්‍ර මූල්‍ය ණය ගැන නිශ්චිත උත්තරයක් දීලා නෑ. ඇයි මේ ක්ෂුද්‍ර මූල්‍ය ණය අහෝසි කරනවා කියලා තීරණයක් ගන්න බැරි ?  

කඳුකර ජනතාව ගැනත් නිහඬයි

අදටත් කඳුකර තමිල් ජනතාවට බෙහෙත් දෙන්න උපාධිය සමත් දොස්තර කෙනෙක් යවන්නෑ. එහෙම තත්ත්වයක් ඇතුළෙ ප්‍රතිපත්තිය ලියල තියෙන්නෙ ඒ ජනතාවගේ ප්‍රශ්නයට නිශ්චිත උත්තරයක් නොදී. සාමාන්‍යයෙන් අපි දන්නවා ලංකාවේ සත්තුන්ටවත් බෙහෙත් කරන්න බෑ පශු වෛද්‍ය උපාධියක් නැතුව. එතකොට සත්තුන්ගේ ජීවිත තරම්වත් මේ කඳුකර ජනතාවගේ ජීවත වටින්නැද්ද ? ඇයි ඒ ජනතාවටත් සමාන සෞඛ්‍ය පහසුකම් භුක්ති විඳින්න දෙනවා කියලා කියන්න බැරි ? ඒ නිසා  ජාතික ජන බලවේගය මේ ප්‍රතිපත්තිය ඉදිරිපත් කරල තියෙන්නෙ මේ රටේ සාමාන්‍යය ජනතාවගේ අභිලාෂයන් තුට්ටුවකට මායිම් නොකර. අපිට ජනතාවට කියන්න තියෙන්නෙ වෙනසක් වෙනසක් කියලා තවත් පාරක් රැවටෙන්නෙ නැතුව ඔබේ සටන්පාඨ අරගලයේ අභිලාෂ නියෝජනය කරන ජනතාවගේ ප්‍රතිපත්තිය ජයග්‍රහණය කරවන්න එකතු වෙන්න.’’

NPP යේ බල සූදුව - සුරේකා සමරසේන


sureka ජන අරගල සන්ධානයේ සුරේකා සමරසේන

‘‘ජාජබ ප්‍රතිපත්ති ප්‍රකාශය ඇතුළෙ ප්‍රතිපත්තිමය බරක් නෑ; තියෙන්නෙ කොළ බරක් විතරයි. ජනතාවට දීල තියෙන්නෙ නිකන්ම නිකන් පොරොන්දු මල්ලක් විතරයි.  මේ ප්‍රතිපත්තිය කියවද්දී ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරයන් ගැන විශාල කණගාටුවක් ඇති වෙනවා. මොකක්ද ඔබේ නායකයා මේ කරමින් ඉන්නෙ...? ජාතික ජන බලවේගය ගමන් කරමින් ඉන්නෙ නිර්ධන පන්තිය සංවිධානය කිරීමේ පක්ෂ ප්‍රතිපත්තිය පැත්තකින් තියලා බල සූදුවකට. ඒ නිසා මේ රටේ ක්‍රම වෙනසක් වෙනුවෙන් පෙළගැසුණු ජනතාවට අපි කියනවා මේ පොරොන්දු දේශපාලනයට තවදුරටත් රැවටෙන්න එපා. මොකද... මේ ගෙනල්ලා තියෙන්නෙ අයි එම් එෆ් ප්‍රතිපත්තියම තමයි. රනිල් සජිත් ගෙනාව ප්‍රතිපත්තියට වඩා වැඩි දෙයක් මේක ඇතුළෙ නැ. ඒ නිසා අපි කියනවා ජනතාවට මේ ප්‍රතිපත්තිය නැවත කියවල බලල තීරණය කරන්න සැබෑ ක්‍රම වෙනසක් වෙනුවෙන් මේ ප්‍රතිපත්තිය තෝරගන්න පුළුවන් ද කියලා.’’


අරගලයට පයින් ගැසූ මල් වට්ටිය - තරිඳු උඩුවරගෙදර


thariduජන අරගල සන්ධානයේ තරිඳු උඩුවරගෙදර

‘‘අපි දන්නවා මේ රටේ ජනතාවට දැඩි වුවමනාවක් තියනවා මේ රටේ මේ දූෂිත පාලක පන්තිය පරාජය කරන්න . එතනදි අපෙන් අහන ප්‍රශ්නයක් තමයි ඒ සඳහා පොදු මල් වට්ටියක් ගෙනල්ලා තියනවා ඇයි ඕගොල්ලො ඒකට අත ගහන්නැත්තෙ කියලා. හැබැයි අපි කියනවා: ගෝල්ෆේස් අරගලය කරේ, ගුටි කෑවේ, හිරේ ගියේ ශිෂ්‍ය ව්‍යාපාරය, වෘත්තීය සමිති සහ සාමාන්‍ය ජනතාව. එතකොට ඒ ජනතාවගේ සටන්පාඨ වුවමනාවන්, අභිලාෂයන්ට පයින් ගහපු මල් වට්ටියකට අත ගහන්න අපිට පුළුවන් කමක් නෑ. ආර්ථික ප්‍රතිපත්තිය ගැන කියනවා; හැබැයි එතන ඉන්නෙ විද්වතුන් විතරයි. එතකොට ආර්ථික ප්‍රතිපත්තියට කෝ වැඩ කරන ජනතාව. කෘෂිකර්ම ප්‍රතිපත්තියට කෝ ගොවියෝ. එතකොට ඒ අයගෙ අභිලාෂයන් ජාතික ජන බලවේගය නියෝජනය කරන්නෙ නැද්ද ?


ණය අර්බුදය විසඳීමේ මාවත

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය ගැන පනත ඒ වගේම ජන මාධ්‍යය මර්ධනය කරන්න පහුගිය කාලේ ගෙනාව පනත් අහෝසි කරන්න කියලා අපි පහුගිය කාලෙ සටන් කරා. ඒ සටන්පාඨ පැත්තකට දාලා දැන් මේ ප්‍රතිපත්තියේ කියනවා අපි ආවාම මේවා නැවත සංශෝධනය කරන්නං කියලා. ඇයි මේ මර්ධන පනත් අහෝසි කරනවා කියලා පැහැදිලිව කියන්න බැරි ? ණය පිළිබඳව විකල්ප තක්සේරුවකට යනවා කියලා කියනවා හැබැයි අපි දන්නවා අයි එම් එෆ් එකත් එක්ක ඉන්න ගමන් එහෙම විකල්පවලට යන්න බෑ. අයි එම් එෆ් කොන්දේසි අනුව තමයි යන්න වෙන්නෙ. ඒක නිසා ඒ පීඩාකාරී කොන්දේසිවලින් ඉවත් වීම තමයි ණය අර්බුදය විසඳීම දක්වා යන්න පුළුවන් පාර. හැබැයි ඒක අමතක කරලා ජාතික ජන බලවේගය කියනවා අපි ආවාම අයි එම් එෆ් එකත් එක්ක සාකච්ඡා කරලා බලනව කියලා. එතකොට එහෙම නිශ්චිත ප්‍රතිපත්තියක් ස්ථාවරයක් නැති ජාතික ජන බලවේගයේ මල් වට්ටියට අත ගහන්න අපිට පුළුවන් කමක් නෑ.’’

(සටහන - ජයසිරි අලවත්ත)

pe2024 2

worky sin

නවතම පුවත්