theleaderlk 01

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන ස්වාධීන ජනාධිපති අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පසුගියදා එළිදක්වන ලද

“රනිල් සමග රට දිනවන වසර පහක්” ප්‍රතිපත්ති ප්‍රකාශය අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාව වෙත බෙදා දීමට ප්‍රථමයෙන් අටමස්ථානාධිපති නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් වෙත සහ රුවන්වැලි චෛත්‍යරාමාධිපති ඊතලවැටුණවැවේ ඤාණතිලක නාහිමිපාණන් වෙත පූජා කිරීමෙන් අනතුරුව, අනුරාධපුර ජුම්මා මුස්ලිම් පල්ලියේ ප්‍රධාන පූජකතුමන්ට හා අනුරාධපුර ශාන්ත ජෝශප් ආසන දෙව් මැදුර පියතුමන් වෙත පිළිගැන්වීම ඊයේ (2024/09/05) සිදු කෙරිණි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක ද සහභාගී වුණි.

අනුරාධපුර දිස්ත්‍රික්කය ම නියෝජනය වන ලෙස පනස් නමකට ආසන්න මහා සංඝරත්නය සමගින් දුමින්ද දිසානායක අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ මළුවේදී අටමස්ථානාධිපති නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් වෙත “ථෙරවාද වෙළෙඳ ආර්ථිකය, ක්‍රියාන්විතය – 2025න් ඔබ්බට, ප්‍රභාශ්වර සමාජයක් කරා, මව්බිම දිනවමු සහ එකමුතු ශ්‍රී ලංකා” යන ප්‍රධාන අංග 5කින් සමන්විත මෙම ප්‍රථිපත්ති ප්‍රකාශනය පළමුවෙන් පිළිගැන්වීමෙන් අනතුරුව මහා සංඝරත්නය සහ දුමින්ද දිසානායක ඇතුළු පිරිස විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝ සමිදුන් වැඳ පුදා ගෙන ආශිර්වාද ලබා ගත්හ.

ඉන් අනතුරුව රුවන්වැලි චෛත්‍යරාමාධිපති ඊතලවැටුණවැවේ ඤාණතිලක නාහිමිපාණන් වෙත ද ‘‘පුළුවන් ශ්‍රී ලංකා’’ ප්‍රතිපත්ති ප්‍රකාශය දුමින්ද දිසානායක විසින් පිළිගන්වනු ලැබී ය.

එම අවස්ථාවේ දී අදහස් දැක්වූ රුවන්වැලි චෛත්‍යරාමාධිපති ඊතලවැටුණවැවේ ඤාණතිලක නාහිමිපාණන්,


අටමස්ථානයට බහුතරයක් ආදායම ප්‍රාදේශීය ධනයට එකතු වෙන්නේ නෑ

‘‘හැම ආණ්ඩුවකින්ම අපි ඉල්ලන්නේ, උතුරු මැද මහ ඇළ ව්‍යාපෘතිය යි.  ඒක අපි ගොඩක් මහන්සි වෙලා පටන් ගත්ත එකක්, මේ මහ ඇළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම තුළින් කෘෂි හෙක්ටයාර හතළිස් අටදාහක් වගා වෙනවා උතුරු මැද පළාතේ, ඒ වගේම එල්ලංගා ව්‍යාපෘති එකසිය තිස් හතක් ක්‍රියාත්මක වෙනවා; වැව් එක්දහස් දෙසියක් වතුරෙන් පිරෙනවා. මහ ඇළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න කියන්නේ වෙන දෙයක් නිසා නෙමෙයි ඒක කෘෂිකර්මාන්තයෙන් ජීවත් වෙන උතුරු මැද පළාතට යුද්ධය දිනුවා හා සමානයි. අද ගාමන්ට් ඔක්කෝම වැහිලා. අපි ඒවා ගොඩගන්න ඕන.


මොකද හේතුව අද කහටගස්දිගිලිය, කැබිතිගොල්ලෑව, මැදවච්චිය සියලු ගාමන්ට් කොරෝනා වෛරසය නිසා අවුරුදු දෙකක් වහලා තිබුණා, ඩොලර් ආවේ නෑ, ආයෝජකයෝ ආවේ නෑ, ව්‍යවසායකයෝ ආවේ නෑ, ඒ නිසා අපේ විනිමය අනුපාතය, ඒක පුද්ගල ආදායම, දළ ජාතික නිෂ්පාදනය පිළිබඳව හිතන්නවත්, කල්පනා කරන්නවත් වෙලාවක් තිබුණේ නෑ. ඒ නිසා ඒක කල්පනා කරලා, ඒ සඳහා කටයුතු කරපු රජයට අපි ස්තූතිවන්ත වෙනවා.


 ඒ වගේම විශේෂයෙන් ම අපිට අනුරාධපුරයට සම්පත් නෑ. සම්පත් විදිහට: පොස්පේට් නිධිය තියෙනවා, සිලිකා වැලි නිධිය තියෙනවා, අටමස්ථානය තියෙනවා. අටමස්ථානය නිසා තමයි විදේශිකයෙක් නැත්නම් බැතිමතෙක් හරි මේ නගරයේ සැරි සරන්නේ. ඒ නිසා තමයි මේ හෝටල් තියෙන්නේ, ව්‍යාපාරිකයෝ ජීවත් වෙන්නේ. නමුත් මේ අටමස්ථානයට හම්බෙන බොහෝ දේ ජාතික ධනයට එකතු වෙනවා. නමුත් ප්‍රාදේශීය ධනයට එකතු වෙන්නේ නෑ. පොස්පේට් එකත් එහෙමයි. ජාතික ධනයට තමයි එකතු වෙන්නේ. ප්‍රාදේශීය ධනයට එකතු වෙන්නේ නෑ.

ජනාධිපති තේරීමේ දී ජනතාව බුද්ධිමත් විය යුතුයි

ඒ වගේම රජරට විශ්වවිද්‍යාලය දියුණු කරන්න ඕන. මේ පළාතට තව භාෂා පීඨයකුත් ආරම්භ කරන්න ඕන. අපි දැන් විද්‍යා හා තාක්ෂණ පීඨයක් ආරම්භ කරලා ඒක හෙට අනිද්දාට, විවෘත කරනවා. රජවරු එකසිය හතර දෙනෙක් රජකම් කරපු මේ පළාතට පවතින හැම රජයකින්ම සහයෝගයන් ලබා දෙන්න ඕන, ඒකට හේතුවක්, විශේෂත්වයක් වෙන්නේ, මේ පළාත තිස් පස් අවුරුදු යුද්ධයක අනන්ත, නොවිඳිනා දුක් වින්දා. ගහට- කොළට, විලට, සතාට-සිව්පාවාට ආදරය කරන මිනිස්සු ඉන්න, වැව් බැඳි රාජ්‍යයේ වැව් එක් දහස් ගණනක් එක්ක ජීවත් වෙච්ච මිනිස්සු අද කෘෂිකර්මාන්තයෙන් ගොඩක් පීඩාවට පත් වෙලා ඉන්නවා.


අද වර්තමානයේ ස්මාර්ට් ගොවියෙක් නිර්මාණය කරන්න ඕන තත්වයට පත් වෙලා තියෙනවා. ඒ නිසා ගොවියන් දිරි ගැන්වීම වගේම රට අතහැර විවිධ රැකියාවලට යන අයගෙ දුක් ගැනවිලි ගොඩක් තියෙනවා. ඒ අය ගැන බලන්න ඕන. මැතිවරණයක් කිව්වාම රටේ ජනාධිපති කෙනෙක් තෝරන කොට ගොඩක් බුද්ධිමත්ව, ඉවසීමෙන්, දරාගැනීමෙන්, පෞද්ගලික කාරණා හිතන්නේ නැතිව තෝරන්න වෙනවා. ගොඩක් බුද්ධිමත්ව, කල්පනා කරලා බලලා තමයි ඒ තීරණය ගන්න ඕන. නැත්නම් අවුරුදු පහක් තමන් ගත්ත තීරණය හෘද සාක්ෂියට එකඟ නෑ කියලා දුක් විඳින්න සිද්ධ වෙනවා.


අනාගත බලවතුන් වෙන්නෙ ආසියානු කලාපය

ඉදිරි අනාගතයේ දී: බටහිර, යුරෝපය, ඇමරිකාව නෙමෙයි ආසියාව තමයි ලෝකයේ හැම දෙයක්ම තීරණය කරන්නේ. ඒ තරමට ආසියාව ප්‍රභල ආර්ථික තත්වයකට ගොඩනැගෙනවා .ඒ නිසා බාධක, කම්කටොලු එක එක රටවලට එනවා, ලොකු ආර්ථික බලවත්තු බවට පත් වෙන්නේ ආසියාව. අද ලෝකයේ ලොකුම ප්‍රශ්නය වෙලා තියෙන්නේ ඔක්සිජන් සහ ජලය, කෘතිම බුද්ධිය සහ සෞඛ්‍ය. අද ගොඩක් වෙලාවට ගත්තාම අපි මේ ස්වභාව ධර්මයත් එක්ක ජීවත් වෙන පරිසරය වගේම ආයුර්වේද ක්‍රම, බුදු දහම සම්බන්ධයෙන් මිනිස්සු: ගවේෂණ, පර්යේෂණ, නිරීක්ෂණ කරන්න පටන් අරන් තියෙනවා. අද ලෝකයේ පිරිත ගැන ලොකු විශ්වාසයක් ඇති වෙලා තියෙනවා. ජපානයේ එක විද්‍යාඥයෙක් ඒ ගැන පර්යේෂණයක් කරලා වාර්තාවක් එළිදක්වලා තියෙනවා. ඒ වාර්ථාව වෙනස් කරන්න බැරි වෙලා තියෙනවා.

ඒ වගේම විශේෂයෙන් ම සිටි කොලේජ් වගේ ඒවා ආරම්භ කරලා උසස් පෙළ සමත් වෙන දරුවන් පිළිබඳව යම් කිසි තීන්දු තීරණ ගන්න වෙනවා. මහා දැවැන්ත කොල්ලෝ රට අතහැර යනවා; මම දැකලා තියෙනවා අර විදේශ කටයුතු අමාත්‍යංශය ගාව පිරිලා ඉන්නවා. ඒවා එක එක උපක්‍රම වෙන්නත් පුළුවන්. තරුණ දේශපාලඥයෝ හැටියට රට පවත්වාගෙන යන්න වැඩපිළිවෙළක් යොදන්න ඕන.’’

මේ පිළිබඳව අදහස් දැක්වූ වැඩම කර සිටි භික්ෂූන් වහන්සේලා,


රජරට සියලු විහාරස්ථානයන් වෙත මෙම ප්‍රථිපත්ති ප්‍රකාශය පිළිගන්වනවා

‘‘සැප්තැම්බර් මස විසි එකවැනි දින පැවැත් වෙන ජනාධිපතිවරණයට තරග වදින, අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ ජාතික ප්‍රථිපත්තිය එළිදැක්වීම අටමස්ථානාධිපති නාහිමිපාණන් වහන්සේට පිළිගන්වලා අපි ඒ කටයුත්ත ආරම්භ කළා, ඒ වගේම රත්නමාලී චෛත්‍යරාජයානන් වහන්සේ භාරව කටයුතු කරන ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේටත් පිළිගැන්වීමෙ කටයුත්ත මේ උතුම් පුණ්‍ය භූමියේදී ආරම්භ කරන්නට යෙදුණා. මෙම වැඩසටහන අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දුමින්ද දිසානායක ගේ මූලිකත්වයෙන් ආරම්භ කරලා, රජරට සියලු විහාරස්ථානයන් වෙත මෙම ප්‍රථිපත්ති ප්‍රකාශය පිළිගන්වන්න අපි බලාපොරොත්තු වෙනවා. ලක් වාසී හැමදෙනාටම අපි ආරාධනා කරනවා තමන්ගේ ප්‍රදේශවල විහාරස්ථානවලට ගිහින් මේ ජාතික ප්‍රථිපත්තිය එළිදක්වලා, මහජනතාව වෙතට අරන් ගිහින් මේ කරුණු පැහැදිලි කරලා දීලා මේ ජයග්‍රහණය විජයග්‍රහණයක් බවට පත් කරන්න කියලා ඉල්ලා සිටිනවා.  ඒ වගේ ම පූජනීය මහා සංඝරත්නයේ ආශිර්වාදය අපි නිරන්තරයෙන් ප්‍රාර්ථනා කරනවා.’’

මෙම වැඩසටහන සඳහා වැඩම කර සිටි සෙසු භික්ෂූන් වහන්සේලා අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලු ගම් නියංගම්වල පිහිටි විහාරස්ථානයන් වෙත වැඩම කර, විහාරාධිපති හිමිවරුන් වෙත ‘‘රනිල් සමග රට දිනවන වසර පහක්” පුළුවන් ශ්‍රී ලංකා ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිගන්වා එම වැඩපිළිවෙල සම්බන්ධයෙන් උන්වහන්සේලා දැනුම්වත් කිරීමේ වැඩසහටනක් ද ක්‍රියාත්මක කිරීමට නියමිත ය.

(තිසර සමල් - අනුරාධපුර)

ser2342tf

pe2024 2

worky sin

නවතම පුවත්