ජාතික ජන බලවේගය එක පැත්තකින් අපනයන ආර්ථිකයකට යන බව කියන අතර තව පැත්තකින් ආනයන ආර්ථිකයකට යන බව කියන්නේ යැයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මොරවක ජනපතිවරණ ජනරැළිය අමතමින් අද (6) පැවසීය.
ජනතා විමුක්ති පෙරමුණ එක පැත්තකට යන විට ජාතික ජන බලවේගය තව පැත්තකට යන බව කී ජනාධිපතිවරයා, මෙම පරස්පර විරෝධී කතාවලට අනුර කුමාර දිසානායක හෙට (7) පැවැත්වෙන ජාජබ මොරවක ජනරැළියේදී පිළිතුරු ලබාදිය යුතු බවද සඳහන් කළේය.
මෙවැනි පරස්පර විරෝධී ප්‍රකාශ නිසා මාලිමාව අද කැරකෙන්නේ මොන පැත්තටදැයි හිතාගන්නට නොහැකි වී ඇති බවද ජනාධිපතිවරයා කීය.
"අනුර කුමාර කැලණියේදී සැප්තැම්බර් හතරවෙනිදා මෙසේ කියා තිබෙනවා. "මිලියන 3.8ක මාකට් එකෙන් අපට යන්න බැහැ. අප මේ මාකට් එකෙන් එළියට යන්නේ නැහැ. ඒ නිසා මේ කර්මාන්තකරුවා ව්‍යවසායකයා එළියට ගෙනයාම සඳහා වන වැඩපිළිවෙල අප හදන්නම්" යනුවෙන් ඔහු කියනවා. ඔහු පවසන්නේ ඔහුත් දැන් අපනයන කර්මාන්තයකට යන බවයි.
නමුත් මෙහි එක ප්‍රශ්නයක් තිබෙනවා. ඔහුගේ මැතිවරණ ප්‍රකාශයේ නිදහස් වෙළෙඳ ගිවිසුම් අහෝසි කරන බව තිබෙනවා. අපනයන කර්මාන්තයකට යනවා නම් නිදහස් වෙළෙඳ ගිවිසුම් තිබිය යුතුයි. මේක හරි වැඩක් නේ. එක පැත්තකින් එයා අපනයන ආර්ථිකයකට යන බව කියනවා.
එපමණක් නෙමෙයි මම ආර්ථික ප්‍රවර්ධන කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. එතුමාගේ ආර්ථික උපදේශක හර්ෂණ සූරියපෙරුම නඩුවක් පවරා කියන්නේ ආනයන ආදේශන දිරිමත් කිරීම නොසැලකීමට ලක් කරන අපනයන හා ආයෝජනය ක්‍රමය මත පදනම්වූ ආර්ථිකයක් සඳහා වැඩි වශයෙන් අනුග්‍රහය දක්වන අතර එය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තුන හා හතර වගන්ති වලට පටහැනි බවයි.
අපනයන කර්මාන්තයකට යන බව අනුර කියනවා. හඳුන්නෙත්ති කියනවා එහෙම කරන්න බෑ මගේ බැනියමේ හිල් තියෙනවා. ආනයන කර්මාන්තයේ ඉන්න ඕන කියලා.
තව තැනක ජාජබ විදේශ ආයෝජකයන්ට දේශීය ආයෝජකයන්ට මෙන් සලකන්න එපා කියා කියනවා. මෙහෙම වුනොත් විදේශ ආයෝජකයන් ඒවිද?
දිසානායක මිත්‍ර තුමා හෙට මෙහි එන නිසා මේ පරස්පර විරෝධී කරුණු ටික පැහැදිලි කර දෙන්නැයි අප ඉල්ලා සිටිනවා.
වෙනසක් ගෙනෙන බව ජාතික ජන බලවේගය කියනවා. ඔවුන් ගෙනෙන වෙනස මොකක්ද? මාලිමා ප්‍රතිපත්ති ප්‍රකාශයේ පිටු 232ක් මම කියෙව්වා .එහි කිසිම වෙනසක් නැහැ .
වෙනස කරන්නේ අපයි . අප ඉන්නේ මේ රටේ අපනයන ආර්ථිකයක් ඇති කරන්නැයි" යනුවෙන්ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ කීය.