ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක යාපනයේදී සිදු කළ ප්‍රකාශය ජාතිවාදී ප්‍රකාශයක් නොවන බවත් අනුර කුමාර දිසානායක සමග
එක්ව මුළු රටම බලාපොරොත්තුවන වෙනස කිරීමට සූදානම් බවත් තමිල් අරුසු කච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් අවධාරණය කරයි.
ඔහු මේ බව පැවසූවේ පසුගිය 05 වනදා වව්නියාව, කිලිනොච්චිය සහ යාපනයේදී පැවති ජාතික ජන බලවේගයේ රැලිවලදී ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක සිදු කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිදු කළ කතාවට ප්‍රතිචාරයක් ලෙසය.
“අනුර කුමාර දිසානායක සහෝදරයා දින්නොත් අපි ඒ වෙනසට කොටස් කරුවෙකු ලෙස අපි ඉන්නවා. අපි ඒකෙන් ඈත් වෙලා ඉන්නේ නෑ. එතුමා කීව දේ ජාතිවාදී ලෙස සලකන්න එපා. මං එයාව හොඳටම දන්නවා. එතුමා ඒ අදහසින් කීවේ නෑ කියලත් මම විශ්වාස කරනවා. නමුත් මැතිවරණ කාලයේ දී මේවා වෙන්න පුළුවන්. නමුත් ඒ වෙනස වංචාවක් නැතිව, අල්ලස් නැතිව තියන රටක්, ඒ වගේම හැම ජනතාවම ආණ්ඩු කිරීමට අත දාලා ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙනස කරන්නට අපි නිතරම බැඳිලා ඉන්නවා. අපි එතුමාත් එක්ක එතුමාගේ පක්ෂයත් එක්ක කොයි ආකාරයෙනුත් එකතු වෙලා කටයුතු කරන්න අපි සූදානම්.” යයි තමිල් අරුසු කච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් පැවසිය.
ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක පසුගිය 05 වනදා වව්නියාව, කිලිනොච්චිය සහ යාපනයේදී පැවති රැලි මාලාවේදී , “තමන්ට වෙනසක් අවශ්‍ය බව ජනතාව තීන්දුකර හමාරයි. එම නිසා ඔවුන් ජාතික ජන බලවේගය බලයට ගෙන ඒමට සූදානමින් සිටිනවා. එම සුවිශේෂී ඓතිහාසික වෙනසට උතුරේ ජනතාවද දායක වී එය ශක්තිමත් කළ යුතුයි. ඓතිහාසික වැරදි නොකරන ලෙස මම ඔබගෙන් අයාචනා කරනවා.” යයි සඳහන් කර තිබිණ.
කෙසේවුවද, අනුර දිසානායක යාපනයට පැමිණ කළ තර්ජනකාරී ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහු උතුරේ ජනතාවගෙන් වහාම සමාව ගත යුතුව ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (07) යාපනයේ පැවති ජන රැළියේ දී කියා සිටියේය.
සබැඳි පුවත් :
අනුර උතුරේ ජනතාවගෙන් සමාව ගතයුතුයි - ජනාධිපති