රුසියාවේදී මියගිය ශ්‍රී ලාංකිකයින්ගේ මරණ සහතික සහ වන්දි ලබාගැනීමට අදාළ ලේඛන සහතික කිරීමේදී ඒ සඳහා අදාළ මුදල ලබාගැනීමෙන්
තොරව එම ලේඛන සහතික කර දීමට තීරණය කළ බව කොළඹ සිටින රුසියානු තානාපති ලෙවාන් ෂගරියාන් සංදේශය (Sandeshaya by Saroj) නාලිකාවට පැවසීය.
මොස්කව් නුවර සිටින ශ්‍රී ලංකා තානාපති පී එම් අම්සා විසින් ඔවුන්ගේ ඉල්ලීම තමන් වෙත යොමුකිරීමෙන් අනතුරුව, මියගිය අයගේ පවුල්වලට මානුෂික හේතූන් මත එම සහනය ලබාදීමට තමන් පෞද්ගලිකව තීරණය කළ බවද රුසියානු තානාපති ලෙවාන් ෂගරියාන් (Levan Dzhagaryan) මාධ්‍යවේදී සරෝජ් පතිරණ අමතමින් කියා සිටියේය.
මෙම තීරණය පිළිබඳව තානාපතිතුමාට සහ ජනාධිපති ව්ලදිමීර් පූතින් ප්රමුඛ රුසියාවේ ආණ්ඩුවට ප්‍රණාමය පුදන බව මිය ගිය අයගේ ඥාතීහු පවසති.
රුසියාවේදී මියගිය සෙබළුන්ගේ ඥාතීන් මුහුණ දුන් මේ ගැටලුව පිළිබඳව විදේශ අමාත්‍ය අලි සබ්රි, ආරක්ෂක අමාත්‍යාංශය හෝ ශ්‍රී ලංකාව ආණ්ඩුව නිල වශයෙන් මැදිහත්වීමක් කර නොමැති බවද සංදේශයට අනාවරණය වේ.
රුසියානු හමුදාවට බැඳී සටන් බිමේ සිටි ශ්‍රී ලාංකික සෙබළුන් 20 දෙනෙකු මියගොස් ඇතැයි රුසියානු ආණ්ඩුව නිල වශයෙන් ශ්‍රී ලංකාවට දැනුම් දී තිබේ.
එහෙත් සටන් බිමේ සිටින සහ යුද්ධයෙන් පැනවිත් සිටින ශ්‍රී ලාංකිකයින් පවසන පරිදි මියගිය පිරිස ඊට වඩා ඉතා ඉහළය. යුද බිමට ගිය ශ්‍රී ලාංකිකයින් 121ක් ගැන මේ වනතුරු කිසිදු ආරංචියක් නැතැයි ඔවුන්ගේ ඥාතීහු පවසති.