තමා සහ තම පක්ෂය මෙනේ ම අනෙකුත් පක්ෂ වසර 25ක් තිස්සේ ‘රනිල්ට බෑ,’ යැයි පැවසුව ද පසුගිය දෙවසර තුළ ඔහු තමන්ට
පුළුවන් බව ඔප්පු කළා යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක පැවසී ය.
හෙතෙම මෙලෙස පැවසුවේ පසු ගිය 06 (06) වන දින අනුරාධපුරයේ පැවති ජන හමුවක දී ය.
එහි දී වැඩි දුරටත් කරුණු දැක්වූ දුමින්ද දිසානායක,
වැඩියෙන් ම බය වෙලා ඉන්නෙ අනුර
‘‘ගමේ ජෙප්පෝ ටිකත් අනුර කුමාර දිනනවා කියලා කිව්වට අනුර කුමාර තමයි වැඩියෙන්ම බය. සමහර වෙලාවට කරුම පඩිසන් දෙනවානේ. බැරි වෙලා හරි අපේ රටේ මිනිස්සුන්ට මොනවා හරි වෙලා හරි මොකක් හරි කරුමයකට, රටේ කරුමෙටයි, අනුර කුමාරගේ කරුමයටයි. බැරි වෙලාවත් විසි එක්වැනිදා අනුර කුමාර දිනුවොත් මොකද වෙන්නේ...? අනුර කුමාරට ජනාධිපති වෙන්න වෙනවානේ, ඊට පස්සේ කාවද අගමැති කරන්නේ, කාවද කැබිනට් එකට ගන්නේ, ආණ්ඩුව කාත් එක්කද පිහිටුවන්න වෙන්නේ, කැබිනට් එකක් කෝ, කොහොමද ආණ්ඩුවක් හැදෙන්නේ...? එහෙනම් අනුර කුමාරට සිද්ධ වෙන්නෙ මොකක් ද?
මේ දවස්වල වේදිකාවක් වේදිකාවක් ගානේ ගිහිල්ලා එයාලා ඇරෙන්න අනෙක් මුළු පාර්ලිමේන්තුවම හොරු කියන හොරු ටිකත් එක්ක නේද ආණ්ඩුව හදන්න වෙන්නේ? ආණ්ඩුවක්, කැබිනට් මණ්ඩලයක් නැති වුණොත් කොහොමද? ඇමතිවරු නැති වුණොත් කොහොමද? දුවන්න පුළුවන්ද? රට ආර්ථිකවත් වැටෙනවා, පරිපාලනය පැත්තෙනුත් වැටෙනවා.
අපි රනිල්ට වැඩ කරන හේතුව
සැප්තැම්බර් විසි එක්වෙනිදට පාට භේදයක්, පක්ෂ භේදයක්, ආගම්, කුල -මල භේදයක් නෑ, ඒ නිසා තමයි අපි අපේ පක්ෂයේ නොවන: පුළුවන් තරම් රනිල්ට බැනපු, පුළුවන් තරම් රනිල්ව පරද්දපු, අපිම නැවත වතාවක් අවුරුදු පහකට රනිල්ට මේ රට භාර දෙමු කියල කියන්නෙ ඇයි? ස්වාධීන අපේක්ෂකයෙක් වෙන: අපි අවුරුදු විස්සක් විසි පහක් ම බැන්නත් අවුරුදු විසි පහක් ම බෑ කියලා කිව්වත්, පහුගිය අවුරුදු දෙකේ කරලා පෙන්නපු නිසා; පහුගිය කාලෙ වගකීම භාර ගෙන ඒ වැඩේ කරලා පෙන්නුපු නිසා. හැබැයි ඒකෙන් ශ්‍රී ලංකාකාරයෝ යූ.එන්.පී වෙන්නෙත් නෑ, රනිල්ට අපි කතිරයක් ගැහුවා කියලා රනිල් ශ්‍රී ලංකා වෙන්නෙත් නෑ, දැන් ඉන්නේ ප්‍රධාන අපේක්ෂකයෝ දෙන්නයිනේ. එක ජනාධිපතිවරයෙක් පත් කර ගන්න කොට ඡන්ද දහයක් නැති එවුනුත් ලැයිස්තුවේ නම දාලානේ. ඒ නිසා ලැයිස්තුවේ අපේ නම තියෙන්නේ තිස් හත්වෙනියට. වෙනදා නම් ගිහින් කතිරය ගැහුවේ උඩින්; දැන් තියෙන්නේ යටින්. දැන් ප්‍රධාන අපේක්ෂකයෝ දෙන්නෙක් ඉන්නවානේ, එක්කෙනක් සජිත් ප්‍රේමදාස, අනෙක් කෙනා අනුර කුමාර දිසානායක.
සජිත්ට බෑ...
සජිත් ප්‍රේමදාස ගැන අපිට වැඩිය කථා කරන්න දෙයක් නෑ. එයා වැඩියෙන් කට අරින තරමට අපිට ලේසියි. එයාට මේක කර ගන්න බෑ කියලා අපි දන්නවා. ස.ජ.බෙ කට්ටිය දැන ගෙන හිටියේ නැති වුණාට අනෙක් හැමෝම දන්නවා සජිත් ප්‍රේමදාස කියන්නේ; විපක්ෂ නායක කියන්නේ වැඩකාරයෙක් නෙමෙයි කියලා. එයාට මේ අභියෝගය භාර ගන්න බෑ කියලත් අපි දන්නවා. ඒක එයත් පෙන්නලා තියෙනවා. රට වැටුණු වෙලාවේ, හරි නම් විපක්ෂ නායක නේ රට භාර ගන්න ඕන රටේ ජනාධිපතිව එළෙව්වා; එයා හොරෙන්ම අපිටත් නොකියා නැවක නැගලා පැනලා ගියා; මිනිස්සු මහින්ද එපා කිව්වා; ආණ්ඩුව ඉල්ලා අස්වුණා. එතකොට හරි නම් ටක් ගාලා ඇවිල්ලා හරි මම කරන්නම් රට, රටේ නායකයෙක් නෑ, ආණ්ඩුවක් නෑ, මේක දෙන්න මට කියලා වැඩේ භාර ගන්න ඕන විපක්ෂ නායක. එයා ආවේ නෑ. ඒ ආවේ නැත්තේ එයාට ඒ හැකියාව නෑ. ආර්. ප්‍රේමදාස මහත්තයා එහෙම නෙමෙයි, ආර්. ප්‍රේමදාස මහත්තයා පක්ෂය ඇතුළෙත් ගේම් ගැහුවා; එයා වැඩකාරයෙක්; අපි එයාව අපි පිළිගන්නවා.හැබැයි ඉතින් ප්‍රේමදාසගේ පුතා කියලා කිව්වට වාසගම විතරනේ. ඒ නිසා එතුමා වැඩකාරයෙක් නෙමෙයි කියලා අපි දන්නවා.
ජෙප්පන්ට අමතක දේවල්
අනුර කුමාරත් ගොඩක් දේවල් කියනවා. අනුර කුමාර කියනවා අවුරුදු හැත්තෑ පහක් මේ රට කෑවාලු. මොනවද කාලා තියෙන්නේ? මේ ගමේ මේ පාරවල් කාපට් වුණේ මේ අවුරුදු හැත්තෑ පහ ඇතුළෙ නේද? ඔබතුමන්ලාට මේ ගමට එන කොට ලයිට් ටික තිබුණාද? ලයිට් ටික දුන්නේ කවුද? පාසල්, රෝහල්, පෙර පාසල් , වැව, ඇළවල් හැදුණේ කොහොමද? ගමේ ඇතුළෙ පාරටත් තාර ටිකක් වැටුණේ කොහොමද? පානීය ජලය ටික ලැබුණේ කොහොමද? අලිවැට හැදුණේ කොහොමද? ඒ හැම දෙයක් ම ලැබුණෙ ඔය කියන අවුරුදු හැත්තෑ පහ ඇතුළෙ නේ... අපිට කියන්න පුළුවන්ද මුකුත් වුණේ නෑ කියලා? හැබැයි ඔය හැත්තෑ පහ ඇතුළෙ හොරකම් කරපු මිනිස්සුත් ඉන්න ඇති. දැන් මේ ගමේ හොරු නැද්ද? මේ ගමෙත් හොරු, චණ්ඩි, කසිප්පු විකුණන මිනිස්සු, අයිස් ගහන කොල්ලෝ වගේ ම තව නරක වැඩ කරන අයත් මේ ගමෙ ඇති. ගමක් ගත්තම මේ හැමෝම ඉන්නවානේ; බොරු නෙමෙයිනේ.
මේ අවුරුදු හැත්තැ පහ ඇතුළෙ හොරාකාපු දේශපාලඥයොත් ඉන්න ඇති. දැන් අර හිරේ ඉන්නේ අපේ හිටපු ඇමති කෙනෙක්. එයා තාමත් රිමාන්ඩ් එකේ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා එයාව බේරලා නෑ. කලින් බේරලා ඇති. හැබැයි රනිල් භාර ගත්තාට පස්සේ එයා දේශපාලඥයෙක් කියලා රනිල් නීතිය අතට අරන් බේරුවාද? අන්න රටේ ක්‍රමවේදයක් හැදිලා තියෙනවා.
පොඩි පොඩි අඩු පාඩු තියෙනවා
ජනතා විමුක්ති පෙරමුණ කියන විදිහට අවුරුදු හැත්තෑ පහක් මේ රටට මුකුත් වුණේ නෑ කියන්න පුළුවන් කාට ද...? අර ලෙඩක් තියෙනවානේ පරණ දේවල් එහෙම අමතක වෙන. අන්න එහෙම ලෙඩ්ඩුන්ට නම් පුළුවන්: මේ පාර හැදිච්ච විදිහ, ලයිට් ආපු විදිහ, පාසල, වැව හැදිච්ච විදිහඅමතක වෙන්න; ඒ කියන්නෙ මුල අමතක වෙන අයට අමතක ඇති. සමහරු ඉන්නවානේ අදට විතරයි ජීවත් වෙන්නේ. ඊයේ කාපු දෙයක් වත් මතක නෑ, සමහරු ඉන්නවා වයස අවුරුදු හැත්තෑ පහ අසූව වෙද්දී එහෙම වෙනවා. හැබැයි අපිට එහෙම නෙමෙයිනේ... අපිට මතකයිනේ මේ ගමට එන කොට ගම තිබුණ විදිහ කොහොමද? ඒවා දුන්නේ කවුද ? කොහොමද කියලා. හැබැයි ඒ ගොල්ල කියන්නේ අවුරුදු හැත්තෑ පහක් මේ රට කෑවා. ඒ නිසා ඉතුරු පහඅපිට දීලා බලපන් මේක හරි ගස්සන්න කියලා. යකෝ තව මොනවද හරි ගස්සන්න තියෙන්නේ මේකේ. තව තියෙනවා පොඩි පොඩි අඩුපාඩු ටිකක්. අලි වැට තව ගහලා ඉවර කරන්න තියෙනවා ඇති; තව... සමහර පාරක් තාර දාලා අගට ගිහින් නැවතිලා ඇති; තව මේක කිලෝ මීටරයක් දෙකක් දාන්න තියෙනවා වෙන්න පුලුවන්. වැව් ටිකෙන් ගොඩක් හදලා තියෙනවා. තව හදන්න තියෙනවා. පාසල්වලට තව සම්පත් ටිකක් දෙන්න තියෙනවා. මේ හැම දේකම ඉතුරු කොටහක් තියෙන බව ඇත්ත. හැබැයි දැන් ඉතුරු කොටහා කරන්න මෙච්චර කාලයක් නොකරපු එවුන්ට, අවුරුදු හැත්තෑ පහක් නොවුණයි කියන එවුන්ට මොනවද තව කරන්න තියෙන්නේ...? අර ටික ම තමයි කරන්න තියෙන්නේ.
ඇත්ත ම ඇත්ත කතාව
රටකට ආණ්ඩුවක් ඕන නේ... ජනාධිපති කෙනෙක් විතරක් පත් වෙලා බෑනේ... ජනාධිපති පත් වුණාම ඊළඟට ආණ්ඩුවක් ඕන. එහෙනම් අනුර කුමාරට ආණ්ඩුව හදන්න වෙන්නේ හොරුත් එක්කනේ... එහෙනම් අනුර කුමාර වේදිකාවේ කියන්නේ බොරුනේ... අනුර කුමාර දැන් කියයි පහුවදාම අපි පාර්ලිමේන්තුව විසුරුවනවා කියලා. පාර්ලිමේන්තුව විසුරුවපුහම මැතිවරණය තියන්න අඩුම කාලය මාස දෙකහමාරක් යනවා. මේ මාස දෙකහමාරක් ආණ්ඩුවක් නැතිව පුළුවන්ද? මේ ණය වෙලා ගොඩ යන රටේ, ආර්ථිකය බොහෝම අමාරුවෙන් හදා ගන්න රටේ... අපි දන්නවානේ ගමේ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයා නැතිව, දැන් නිලධාරීන්ගෙන් වැඩ කරගන්න ගියාම තියෙන ප්‍රශ්න. ගමේ මන්ත්‍රීතුමා හෝ මන්ත්‍රීතුමිය හිටියා නම් අපි ගිහින් ඒ මිනිහට තමයි කියන්නේ. මළ ගෙදරක් වුණාම වතුර එක අහන්නෙවත් නැතිව එවනවා. දැන් වතුර ටික ගන්නත් ලේකම්ව හරි කවුරු හරි හම්බෙන්න ඕන නේ... ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් නැති එකේ අඩුව තේරිච්ච අපිට ආණ්ඩුවක්, කැබිනට් මණ්ඩලයක් නැති වුණොත් කොහොමද? ඇමතිවරු නැති වුණොත් කොහොමද? දුවන්න පුළුවන්ද? රට ආර්ථිකවත් වැටෙනවා, පරිපාලනය පැත්තෙනුත් වැටෙනවා. රට වැටුණට පස්සේ ඉස්සරලාම, අරගලයෙන් ගෝඨාභය එලෙව්වේ... ඒ වගේ ගමේම ඉන්න මිනිස්සු ටික එකතු වෙලා ගමේ ඉන්න ජේ.වී.පී කාරයෝ ටික අල්ලා ගනියි. තොපි තමයි මේ ලණුව අපිට ඉස්සරලාම දුන්නේ කියලා. හොඳට හිටිය අපිට, නැගිටින ගමන් හිටිය අපිට තොපි තමයි කිව්වේ අරූ හොරා, මූ හොරා, ඒ නිසා මේ පාර විතරක් දීලා බලමු කියලා තෝ තමයි කිව්වේ. අන්න එවුන් ටික අල්ලා හන්දියේ ගැට ගහලා ඉවර වෙලා ඊට පස්සේ අනුර කුමාරව එළවන්න පාරට බහියි. ඊට පස්සේ කාට හරි වැඳලා කියයි අනේ මේක හදපල්ලා අපිට වැරදුණා, සමාවෙයන්, මෙන්න මේ රට ආයේ පාරක් හරි තැනට ගේන්න කියලා කියයි. හැබැයි එතකොට අපිට පටන් ගන්න වෙන්නේ අපේ රට බොහෝ කාලයක් ආපස්සට ගිහිල්ලා. මේක නේද ඇත්ත?
ගෝඨා ගෙනවිත් වෙච්ච දේ...
අනුර කුමාරයි, මමයි පාර්ලිමේන්තු ගියේ එකම අවුරුද්දේ; ඒ කියන්නෙ දෙදාහෙ දි ඔබතුමන්ලා මාව ලංකාවේ ළාබාල ම පාර්ලිමේන්තු මන්ත්‍රී විදිහට පාර්ලිමේන්තුවට යවපු වෙලාවේ. අවංකවම ගත්තොත් අනුර කුමාර මේ රටේ මොනවද කරලා තියෙන්නේ කියලා කියන්නකෝ. කරපු දෙයක් තියෙනවාද? අවුරුදු එකහමාරක් ඇමතිකමේ හිටියා විතරයි. අමාත්‍යංශයක වැඩ කරන්න අනුර කුමාරට අත්දැකීමක් තියෙනවද...? රටක ආර්ථිකය ගැන දැක්මක් තියෙනවද...? අපිට මතකයිනේ ගෝඨා ගෙනල්ලා අපිට කෙළවෙච්ච විදිහ. අනේ අපි හිතුවා... රට රැක්ක විරුවා, ඊළඟට කොළඹ කුණු සුද්ධ කළා, මාර පොරක්, අයියා මහින්ද රාජපක්ෂ, මල්ලි බැසිල් රාජපක්ෂ, නියමයි දේශපාලන පවුලක් දෙයි වැඩේ නියමෙට කියලා. හැබැයි මොකද වුණේ? කොච්චර දේශපාලන පවුලක් වුණත් යුද්ධය හොඳට කරාට, කොළඹ කුණු ටික අයින් කරාට ජනාධිපතිකම කරන්න ලැබුණාද? එහෙම නම් අනුර කුමාරට තියෙන අත්දැකීම මොකක්ද? අනුර කුමාරට ලස්සනට කතා කරන්න පුලුවන්, පොත් ගොඩක් කියවලා ඇති, පන්තිවලට ගිහින් ඇති, මිනිස්සුන්ට දැනෙන්න කතා කරන්න පුළුවන් ඇති. ඔය සේරම හරි... හැබැයි ඉතින් වැඩේ කරන්න බැරි නම්, වැඩේ කරන්න ප්‍රායෝගික අත්දැකීම තියෙන්න එපැයි. එහෙම මිනිහෙක්ට රට දීලා ඉවර වෙලා රට විනාශ වෙන එක නේද වෙන්නේ? ඒ නිසා මේ පණිවිඩය අපි ගමේ කියන්න ඕනකම තියෙනවා.
අපිට අපි විශ්වාසයි
පහුගිය අවුරුදු දෙක ම අපි ප්‍රශ්නවලට උත්තර හෙව්වා, ඒ ගොල්ල මොකක්ද කරේ? අරක වැරදියි මේක වැරදියි, අපිට ඡන්දයක් දියව්, කියලා ජේ.වී.පී එක අවුරුදු දෙකක් රට වටේ ගියා. සජිත් මහත්තයා අවුරුදු එකහමාරක් රට වටේ ගියා. හැබැයි රනිල්ගේ කතාවක්, අපේ කතාවක් ඔබතුමන්ලා ඇහුවේ ගිය මාසේ දාහත්වැනිදා. අපේ ඔළුවල සජිත්ගේ කතාවත් තියෙනවා, අනුර කුමාරගේ කතාවත් තියෙනවා. මොකද අවුරුදු දෙකක් අපි රූපවාහිනිය දැම්ම ගමන් අනේ මුංගේ කතා ටික; රැස්වීම් ටික. මේවා දැන් ඔළුවලට ගිහින් අපිට දැන් අපේ හයිය අමතක වෙලා තියෙනවා. වෙනදා එහෙම නෙමෙයිනේ, වෙනදා අපිනේ සද්දේ දාලා පටන් ගන්නේ. වෙනදා උන් තමයි අපි වගේ හැංගිලා ඉන්නේ. දැන් වුණේ අර කතා ටික නිකං ඉන්න කොට අහලා අහලා අපේ ඔළුවලට ගිහින් දැන් අපිටත් නිකං හිතෙනවා වෙන්න පුළුවන් ඇත්ත වෙයිද දන් නෑ කියලා. අපි දන්නේ නෑ අපේ තරම, අපේ හයිය, අපේ ඡන්ද ගොඩ අපි දන්නේ නෑ. රට බේර ගත්ත මනුස්සයත් එක්ක හිට ගන්න. රට අනාගතයේ ශක්තිමත් තැනට ගෙන යන්න ඇයි අපි ලැජ්ජා වෙන්නේ...? අපි ආඩම්බරයෙන් කියන්න ඕන අපි කරන්නේ මේ රට ශක්තිමත් කරන වැඩේ. ඒ නිසා අපි කතිරය ගහන්නේ රනිල්ට කියලා කියන්න අපි ලැජ්ජා වෙන්න ඕන නෑ. අපි යුද්ධයෙන් රට බේරා ගත්තා වගේම ආර්ථික යුද්ධයෙනුත් රට බේරා ගන්නේ අපි කියලා කියන්න ඕන. විසි එක්වැනිදා අපි කරන්නේ මේ රට වෙනුවෙන් යුතුකමක්. අපේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් අපි යුතුකමක් කරන්නේ.
ජවිපෙ වැඩ කරන්නෙ වෛරයෙන්; ක්‍රෝධයෙන්
රටේ ජනාධිපති තෝරාන්න ඕන තරහෙන්, වෛරයෙන්,ක්‍රෝධයෙන් නෙමෙයි. දැන් අනුර කුමාරගේ කතාවල තියෙන්නේ වෛරය. එයාලා ලක්ෂ පන්සීයක වාහනයෙන් ගමට එන එකාට ඡන්දය දෙන්න එපා කියනවා.දැන් මිනිහා එන්නෙ කේ.ඩී.එච් එකක.ඒ කියන්නේ කේ.ඩී.එච් එකේ එන එවුන්ට ඡන්දය දෙන්න ඕන, ප්‍රාඩෝ එකක හරි ජීප් එකක ආවොත් දෙන්න හොඳ නෑ, මාර නීතියක්. එහෙනම් ඌටත් එන්න කියන්නකෝ බර කරත්තයකින්. කේ.ඩී.එච් එකෙයි ජීප් එකෙයි වෙනස මොකක්ද? අරක වෑන් එකක් මේක ජීප් එකක්. උන් වෑන් එකේ යන නිසා වෑන්වල යන එවුන් ෂෝක් ජීප්වල යන එවුන් හොඳ නෑ, මේකද අනුර කුමාරලාගේ නීතිය. ඔය හැමෝමට හොරු හොරු කියන කොට ඔබතුමන්ලා අහන්නකෝ, දැන් ලාල් කාන්ත කියනවා ‘ඔව් අපි මිනී මැරුවා, අපි ගැන ඔත්තු දුන්න එකාව මැරුවා, ඔවු අපි ලයිට් කණු කැඩුවා, ට්‍රාන්ස්ෆෝමර් ගිණි තිබ්බා, ඔවු අපි තැපැල් කාර්යාල, ගොවිජන සේවා මධ්‍යස්ථාන ගිනි තිබ්බා, අපි පොහොර ගබඩා ගිනි තිබ්බා.ඒවා කරේ අපි හරි ආදරයෙන්, ගැම්මෙන් අපි එදා අරගලය, විප්ලවය එක්ක අපි මේක කළා,’ කියලා කියනවා.
උන් කරපු ඒවා නැවත හදන්න සල්ලි ගෙවල්වලින් ගෙනාවාද? මිනිහෙක් හොරකම් කරන්නේ ලෝභකමටයි, කැතකමටයි, මොනවාට හරි කියමුකෝ... හැබැයි රටේ සම්පතක් අරගලය කියලා විනාශ කරන එකා නේද නරකම එකා. අරූ හොරකම් කරන්නේ පුරුද්දට කියන්න පුලුවන්, මුන් තනිකරම වෛරයෙන් ක්රෝධයෙන්නේ ගමේ තිබුණ ට්‍රාන්ස්ෆෝමර් ටික, ගිණි තියලා තියෙන්නේ; ග්‍රාම සේවකට වෙඩි තියලා තියෙන්නේ; පාසල් ගියපු පාසල ගිනි තියලා තියෙන්නේ. පොහොර ගබඩා ගිනි තියලා තියෙන්නේ වෛරයෙන්. ඒ නිසා මුන් ඉන්නෙ තනිකරම වෛරයෙන්.’’
(තිසර සමල් - අනුරාධපුර)