ජනාධිපතිවරයා ම ඔහු පරදින බවට පිළිගෙන ඇති අතර ඔහුගේ කැමැත්ත අනුර කුමාර දිසානායකගේ පෞද්ගලික ලේකම් වීම
යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
ඔහු මෙලෙස පැවසුවේ නුවරඑළිය තලවකැලේ පැවති ජන රැලිය අමතමිනි.
එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...
මට ජනතාව විශ්වාසයි
‘‘වත්මන් ජනාධිපතිවරයාගේ විනෝදාංශය තමයි තැපැල් කාර්යාල විකිණීම. මේ නුවරඑළිය තැපැල් කාර්යාලය පවා විකුණන්න එයා උත්සාහ කරනවා. හැබැයි විසි එක්වෙනිදා ජයග්‍රහණයත් සමග මම නුවරඑළියට එන්නේ තැපැල් කාර්යාල විකුණන්න නෙවෙයි. ලැයිම් කාමරවලට සීමා වෙලාඉන්න වතු කම්කරු ජනතාවට සහ සහ විරැකියාවෙන් පෙළෙන තරුණයන් කුඩා තේ වතු හිමියන් විදියට සවිබල ගන්වන්න. ඒ වගේ ම මම කියන්න කැමතියි ජනාධිපතිවරයා පිළිඅරගෙන ඉවරයි එයා පරාද වෙන බව. එයාගෙ කැමැත්ත අනුර කුමාර දිසානායකගේ පෞද්ගලික ලේකම් වෙන්න. දැනටමත් ජනාධිපතියි අනුර කුමාරයි එකට එකතු වෙලා මාව පරාද කරන්න මුදල් වියදම් කරනවා. කවුරු මොන දේ කරත් ජනතාව මාව ජයග්‍රහණය කරවනව කියල මට විශ්වාසයි.
වතු කම්කරුවන්ට නිවාස දෙනවා
වසර දෙසීයකටකට වැඩි ඉතිහාසයක් තියෙන වතු ජනතාව දහඩිය කඳුළු වගුලා රටේ ආර්ථිකයට ලබා දුන්න දායකත්වය සහ සහයෝගය අමතක කරන්න බෑ. අපි ඒ ශක්තිය අගය කරනවා; ඒ ශක්තියට ස්තූති කරනවා හා ගෞරව කරනවා. ඒ වගේ ම ඔවුන්වත් රටේ පුරවැසියන් ලෙස සමාන විදියට පිළිගන්නවා. වතු ප්‍රජාව නියෝජනය කරන දේශපාලනයට සුදුසු නියෝජනත්වය ලබා දීලා: ඉඩමක, නිවසක අයිතිය ලබා දීලා, ඒක තහවුරු කරලා ලැයින් කාමර වෙනුවට වෙනම ම උදා ගම්මාන වැඩසටහනක් සඳහා මුල පුරනවා. ඡන්ද කාලෙට වතු කම්කරු ජනතාවගේ වැටුප ලෙස දාහ, එක්දහස් පන්සිය, දෙදාහ කරන බවට බොරු පොරොන්දු ලබා දෙනවා. ලැයිම් කාමරවල ජීවත් වෙමින් කම්කරු ජීවිතය ගත කරන මේ ජනතාවට සහ තරුණ ප්‍රජාව වෙනුවෙන් වගා ඉඩමක අයිතිය ලබා දීල, කුඩා තේ වතු හිමියන් විදියට සවිබල ගන්වනවා.
පාසල් පද්ධතිය දියුණු කරනවා
පෙරපාසල් ක්ෂේත්රයේ සිට අධ්‍යාපන පද්ධතිය දියුණු කරලා සුහුරු කරනවා. හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න කැපවෙන අතර පාසල් පද්ධති ශක්තිමත් කරනවා. ඒ වගේ ම නව ජාතික පාසල් කිහිපයක් ම ආරම්භ කර සිංහල දමිළ මුස්ලිම් බර්ගර් හැමෝගෙ ම අධ්‍යාපනයත් සෞඛ්‍ය ක්ෂේත්‍රයත් දියුණු කරනවා. තොරතුරු තාක්ෂණය, පරිගණක විද්‍යාව, නිපුණතා අධ්‍යාපනය ක්‍රියාත්මක කරමින් ජාත්‍යන්තර මට්ටමේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ඇති කරල තරුණයන් දැනුමින් සන්නද්ධ කරනවා. ඊට අමතරව නුවරඑළියේ තරුණයන් වෙනුවෙන් නව විශ්වවිද්‍යාලයක් ද ඇති කරලා ඒ තුළින් ව්‍යවසායකත්වය උගන්වලා නව ව්‍යාපාර දියත් කිරීමටත් කටයුතු කරනවා.’’