මේ වන විට ජනතාවගේ එක ම අරමුණ ජනතාවගේ අරමුණු සහ පාලකයින්ගේ අරමුණු එකට සමපාත වෙන ආණ්ඩුවක් බව
ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පැවසී ය.
ඔහු මෙලෙස පැවසුවේ ඊයේ (07) කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ පැවති ජාතික ජන බලවේගයේ නීතිඥ සමුළුව අමතමිනි.
එම සමුළුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක...
ගැටලුව කොතැන ද...?
‘‘මේ රටේ හිටපු කීර්තිමත් විනිසුරුවන්, නීතිඥවරුන් විශාල ප්‍රමාණයක් අද මෙතනට රැස්වී සිටීම ඉතාම සතුටට කාරණයක්. රටේ යම් දේශපාලන චලනයක් සිදුවෙන්න යන කොට මුලින්ම ඒක දැනෙන පිරිසක් තමයි නීතිඥවරු. ඒ නිසා තමයි මේ තරම් විශාල පිරිසක් අද මෙතනට රැස්වෙලා ඉන්නේ. විවිධ අවස්ථාවල අපේ රටේ ජනතාව ආණ්ඩු හැදුවා. නායකයෝ පත් කළා. ඒ හැම අවස්ථාවකම අපේ පුරවැසියන්ට යහපත් බලාපොරොත්තුවක් තිබුණ. කුඩා කණ්ඩායමක් ඉන්න ඇති තමන්ට පෞද්ගලිකව යමක් ලබා ගන්න. නමුත් බහුතරය ඡන්ද පොළට යන්නේ යහපත් රටක් නිර්මාණය කර ගැනීමේ අපේක්ෂාවෙන්. ජනතාවගේ ඒ අපේක්ෂාවන් මුළුමනින්ම ඒ පාලක කණ්ඩායම් විසින් බිඳ දමා තිබෙනවා. ජනතාවගේ අරමුණුයි පාලකයාගේ අරමුණුයි එකට සමපාත වෙන ආණ්ඩුවක් දැන් අපිට ඕනෑ. අපේ රටේ හැමදාම ආණ්ඩු හැදුණේ ජනතාවගේ අරමුණු සහ පාලකයාගේ අරමුණු පරස්පර වෙන ආණ්ඩු. මෙතන තමයි ගැටලුව තිබෙන්නේ.
ක්‍රියාවට නැගිය යුතු මූලධර්මය
ඔබට ඔබගේ ක්ෂේත්රය පිළිබඳ විශාල අත්දැකීම් ප්‍රමාණයක් තිබෙනවා. අපේ රටේ ‘සියලු දෙනා නීතිය ඉදිරියේ සමානයි’ කියන මූල ධර්මයට පණ දෙන්න ඔබට අවශ්‍යයි. තවම අපේ සමාජය තුළ ප්‍රායෝගිකව එය ඉටුවී නැහැ. ජාතික ජන බලවේගෙයේ ආණ්ඩුවක් මේ මූල ධර්මයට යළි පණ දෙන බවට අපි ඔබට සහතිකයක් දෙනවා. ‘නීතියේ විධානයේ ආධිපත්‍ය ඉදිරියේ සැවොම සමානයි’ කියන මූලධර්මය අපි අනිවාර්යයෙන්ම ක්‍රියාවට නගනවා. නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට අපි ස්වාධීනත්වය ලබා දෙනවා. ඒ ආයතන පද්ධතිය අදාළ අරමුණු වෙනුවෙන් මෙහෙය වීමට අපි නායකත්වය දෙනවා. කිසි විටෙකත් එම ආයතන පද්ධතිය අපේ පෞද්ගලික අරමුණු වෙනුවෙන් අපි යොදා ගන්නේ නැහැ. අපේ රටේ ජනාධිපතිවරු පවා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු නොසලකා හරිනවා නම් මොකක්ද අපේ රටට අත්වෙන ඉරණම?
අල්ලස සහ දූෂණය යුතුකමක් සහ අයිතියක් ලෙස
නීතියේ විධානයේ ආධිපත්‍යය පාලකයන් විසින් ම නොතකා හැරීම, අපේ රටේ ආර්ථිකය, සමාජ දේහය කඩා වැටීමට විශාල ලෙස බලපා තිබෙනවා. දැන් මේක සංස්කෘතියක් වෙලා. මම උදාහරණ එකක් දෙකක් දෙන්නම්. හෝටලයක් ඉදිකිරීම සඳහා ඉඩමක් ගන්න ගියොත් ආණ්ඩුවේ ඇමතිවරයා අදහසක් හදනවා එයාගේ අත්සන නිසා තමයි ඒ ඉඩම ලැබෙන්නේ කියලා. ඒ නිසා කෙනෙක් හෝටලයක් හදනවා නම්, ඉන් ලාභයක් ලබනවා නම්, ඒ ලාභය ලැබෙන්නේ මගේ අත්සන නිසා ඒ ලාභයෙන් කොටසක් මටත් අයිතියි කියලා එයා හිතනවා. දැන් අපේ රටේ දූෂණය, අල්ලස තවදුරටත් පවතින්නේ වංචාවක් ලෙස නොවෙයි; අයිතියක් ලෙසයි. පුරවැසියන් හිතනවා මොනවා වුණත් ඇමතිතුමානෙ මට ඉඩමක් දුන්නෙ. ඒ නිසා එතුමාට කීයක් හරි දෙන එක මගේ යුතුකමක් කියලා. දැන් අල්ලස හා දූෂණය කෙනෙකුගේ යුතුකමක් සහ තව කෙනෙකුගේ අයිතියක් කියන තැනට පත්වෙලා. මේ දේශපාලන සංස්කෘතිය අනිවාර්යයෙන්ම වෙනස් කරන්න ඕනෑ.
විෂයය බෙදීමේ විෂමතාව
සමහරු කියනවා වංචා, දූෂණ නැති කළ පමණින් රට හදන්න බැහැ කියලා. ඒක අපි දන්නවා. හැබැයි වංචා, දූෂණ නතර නොකර රට හැදීම ගැන හිතා බලන්නවත් බැහැ. අද අපේ ගොඩාක් ක්ෂේත්‍ර කඩා වැටිලා තිබෙන්නේ මේ වංචා, දූෂණ නිසා. බෙහෙත්වලින් හොරකම් කරනවා නම්, සෞඛ්‍යය හදන්න පුළුවන්ද? වංචා, දූෂණ තියාගෙන, පාරක් හදන්න පුළුවන්ද? මම හොඳටම දන්නවා, මේ පාර්ලිමේන්තුවේ ඔවුන් ඇමති ධුර හොබවන්නෙ ම හොරකම් කිරීම සඳහා කියලා. ජනාධිපතිවරයා අමාත්‍ය ධුරයක් දෙනවද නැද්ද කියලා සලකා බලන්නේ ඔහුට වැඩි මුදලක් ඉන් ලැබෙනවද කියන පදනම මත. පරිසර අමාත්‍යාංශයට අයිතියි වෙරළ සංරක්ෂණය. කාලයක් වෙරළ සංරක්ෂණය අතේ තබාගෙන හිටියේ රටේ ජනාධිපතිවරයා. මොකද වටිනාම ඉඩම් තිබුණේ වෙරළ සංරක්ෂණ කොටස යටතේ. විදුලි අමාත්‍ය ධුරය තිබුණා. ඒකෙ ටී.ආර්.සී. එක ජනාධිපතිවරයා අතට ගත්තා. මොකද? එතන තමයි වැඩිම මුදල් කන්දරාවක් සංසරණය වුණේ. අධිකරණ අමාත්‍යාංශය යටතේ නීති කෙටුම්පත් කිරීමේ දෙපාර්තමේන්තුව තිබුණා. ඒක ජනාධිපතිවරයා යටතට ගත්තා. මේ විෂයයන් බෙදීම තිබෙන්නේ අල්ලසට, දූෂණයට ඉඩ ලැබෙන පරිදියි. මෙය අපේ සමාජය, ආර්ථික බිඳවැටීම සඳහා ඉවහල් වූ ප්‍රබලම කරුණයි.
රනිල් මෛත්‍රී රණ්ඩුව
අපේ කැලණිතිස්ස බලාගාරය ඇතුළු කෙළවරපිටිය බලාගාර පද්ධතිය ස්වභාවික වායුවලට පරිවර්තනය කරන්න පුළුවන්. දැන් මෙය තාවකාලිකව ඩීසල්වලින් දුවන්න පටන් ගත්තා. වියදම අධිකයි. මෙය ස්වභාවික වායුවට ගළපා දුවන්න පටන් ගත්තා නම් වියදම ඉතාම අඩුයි. දැන් අවුරුදු පහළවකට ආසන්න කාලයක් එය කරන්නේ නැතිව කල්දාලා තිබෙනවා. ඇයි ඒ? ඉස්සෙල්ලාම රනිල් - මෛත්‍රී ගැටුම පටන් ගත්තේ එතනින්. රනිල් එල්.එන්.ජී. වලට ව්‍යාපෘතිය ගෙනාවා ජපන් සමාගමකින්. මෛත්‍රී අරන් ආවා කොරියන් සමාගමකින්. අගමැති හා ජනාධිපති අතර රණ්ඩුවක් පටන් ගත්තෙ කොරියන් සමාගමට දෙනවාද, ජපන් සමාගමට දෙනවාද කියන එක මතයි. අවුරුදු පහක් රණ්ඩු කර කර හිටියා. ව්‍යාපෘතිය ඇණ හිටියා. ඊට පස්සේ නැවත විදුලිබල මණ්ඩලයයි තෙල් සංස්ථාවයි විසින් ක්‍රියාවට නගන්න උත්සාහ කළා. නළ පද්ධතියට තෙල් සංස්ථාව ටෙන්ඩර් කැඳෙව්වා. ගබඩා පර්යන්තයට විදුලිබල මණ්ඩලය ටෙන්ඩර් කැඳෙව්වා. ටෙන්ඩරය විවෘත කරන්න ඔන්න මෙන්න තිබියෙදී එය නතර කරලා, බැසිල් රාජපක්ෂ නිව්ෆෝට්රස් කියන සමාගම ගෙනාවා. ඊට පස්සේ බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යාංශයෙන් ගියා. ව්‍යාපෘතිය තවමත් එතනමයි. . විදුලි ඒකකයක් රුපියල් තිහට හදන්න පුළුවන්කම තිබියෙ දී අපි අවුරුදු පහළවක් පමණ කාලයක් විදුලි ඒකකයක් හදනවා රුපියල් හැත්තෑවේ සිට එකසිය විස්සට. පුරවැසියා මේ බලශක්තිය සඳහා ගෙවන වියදම යුක්ති සහගත එකක් නොවෙයි. දේශපාලන අධිකාරියට කොච්චර මුදල් ප්‍රමාණයක් ලැබෙනවාද කියන කරුණ මත තමයි මේ ව්‍යාපෘති ප්‍රමාද වෙන්නේ.
NPP වුවමනාව සහ ඔබේ වුවමනාව
මේ පාලකයන් ඒ නිශ්චිත, මොහොතේ කළ යුතු දේවල් සියල්ල අත්හැරියා. මේක ජනතාවගේ පැත්තෙන්, රටේ නිෂ්පාදනය සහ ආර්ථිකය පැත්තෙන් අතිශය භයානක තත්ත්වයක්. ඔබ නීතිඥ ප්‍රජාව ලෙස නිතරම අපේ රටේ ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් හඬ නගන පිරිසක්. මම ඔබට එකක් කියනවා, ඔබගේ එම වුවමනාවයි, අපගේ වුවමනාවයි එකක් මිස දෙකක් නොවෙයි. මේ නීතියේ විධානයේ ආධිපත්‍යය කඩා වැටුණු රට යළි ගොඩනගන්න, අපි සියලු දෙනා එකට පොර බදමු. ඒ වෙනුවෙන් සියලු දෙනාට ම එකතු වෙන්න කියලා මම ආරාධනය කරනවා.’’
නීතිඥ ප්‍රජාවගේ ඉව
‘‘මගේ ජීවිතයේ මෙතරම් විශාල නීතිඥවරු පිරිසක් අමතන පළමු වතාව මෙය යි. ඇයි අපි මෙතනට රැස්වුණේ? මෙතන ඉන්න බොහෝ දෙනා මීට පෙර විවිධ පක්ෂවලට ඡන්දය දීපු අය වෙන්න පුළුවන්. විවිධ දේශපාලන මතිමතාන්තර දරපු අය වෙන්න පුළුවන්. එසේ තිබියෙදී අද ඔබලා දෙදහසකට වැඩි පිරිසක් එකම අරමුණක් වෙනුවෙන් එකට එක්වී සිටිනවා. මගෙන් ඊයේ මාධ්‍යවේදියෙක් ඇහැව්වා අද එන්නේ ඇත්තම නීතිඥ මහත්වරු ද, නැතිනම් කෝට් අන්දලා ගේන වෙන පිරිසක්ද කියලා. අපිට එහෙම කරන්න කිසිදු වුවමනාවක් නැහැ. මොකද අද රටේ බහුතර නීතිඥ ප්‍රජාව අනුර සහෝදරයා වටා රොක් වී සිටිනවා.
අපේ රටේ පාර්ලිමේන්තුවේ හෝ වෙනයම් තැනක කුමන හෝ අගතියක් සිදුවෙනවා නම්, ඒක මුලින්ම දැනෙන්නේ නීතිඥ ප්‍රජාවට. ඒ ඉව නීතිඥවරුන්ට තිබෙනවා. අන්න ඒ නිසා තමයි ඔබ සියලු දෙනා අද මෙතනට ඒකරාශී වෙලා ඉන්නේ. රටක් බංකොලොත් වන තත්වයට ඇද වැටුණේ කොහොමද? කාගෙ වරදින්ද මේ දේ සිද්ධ වුණේ? මේ දේ සිද්ධ වුණේ මේ රට මෙතෙක් පාලනය කළ පාලකයන්ගේ වරද නිසයි; ඒ පාලනයේ තිබූ අමනෝඥ, දුර්දාන්තභාවය නිසයි. මීට කලින් ඔබ ඡන්දය දීපු පක්ෂයේ මිනිස්සු අද කොහෙද ඉන්නේ කියලා බලන්න. ඔබ ඡන්දය දීපු පක්ෂයේද කියලා බලන්න. අපේ ඡන්දයට ගරුත්වයක් මේ දේශපාලන නායකයෝ දීලා තිබෙනවාද? වටිනාකමක් දීලා තිබෙනවාද?
පගාව සමග දේශපාලන අධිකාරිය
සජිත් දූෂිත පිරිස තමන් වටේ තියාගෙන අද දූෂණය නැති කරන්න කතා කරන්නේ කොහොමද? රනිල් දූෂිතයෝ වටකරගෙන දූෂණය නැති කරන්න කතා කරන්නේ කොහොමද? අපි මේ ක්‍රමය වෙනස් කරන්න ඕනෑ. ඒකට පළමුවෙන් කළ යුතු දේ තමයි, මේ රටේ නීතියේ විධානයේ ආධිපත්‍යය යළි පිහිටුවන එක. මේ නීතියේ විධානයේ ආධිපත්‍යය හරියට ක්‍රියාත්මක නොවෙන නිසා, ලංකාවට විදේශ ආයෝජන එන එකත් නතර වෙනවා. විදේශ ආයොජකයන් මේ රටට නොඑන්නේ මේ රටේ නීතිමය රැකවරණය නිසි පරිදි නැති නිසයි. වැඩක් කර ගන්න නම් යන යන තැන පගාව දෙන්න වෙලා. පගාව ගන්න එකා නීතියෙන් බේරෙනවා.
කටුනායක ගුවන් තොටුපොළේ දෙවෙනි ටර්මිනල් එක හදන කොට ජනාධිපති විදිහට හිටියේ ගෝඨාභය රාජපක්ෂ. ඒ කොන්ත්‍රාත්තුව භාරගත් සමාගම ගෝඨාභය ළඟට ගිහිල්ලා පැමිණිල්ලක් කළා. මේක කරගෙන යන්න බැහැ. පගාව ඉල්ලනවා කියලා. ඊට පස්සේ එම සමාගම ඒ වැඩේ අත්හැරියා. පසුව ඒ සම්බන්ධව විමර්ශනයක් කළා. නමුත් ඒ විමර්ශනයට වෙච්ච දෙයක් නැහැ. එලෙස, එවැනි සමාගමකින් කාටද පගාව ඉල්ලන්න පුළුවන්. ඔබට පුළුවන්ද? මට පුළුවන්ද? ඒ පුළුවන්කම තිබෙන්නේ දේශපාලන අධිකාරියට පමණයි. මේ ක්‍රමය තමයි අපි වෙනස් කරන්න ඕනෑ.
වැරැදිකාර ජනපතිවරු
අද රටේ මිනිස්සු, පවුල් පිටින් රට හැරලා යනවා. මේ විදිහට මේ රට බුද්ධිමතුන් නැති හිස් කාන්තාරයක් බවට පත්කරන්නයි මේ පාලකයන්ට අවශ්‍ය තිබෙන්නේ. ඒක තමයි ඔවුන්ට ලේසියෙන් ම රට පාලනය කරන්න පුළුවන් ක්‍රමවේදය. පසුගිය මාසෙ රටේ ජනාධිපතිවරයාට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණය නඩු තීන්දුවක් ලබා දුන්නා. ඔහු පළාත් පාලන ඡන්දය නිසිකලට, නොතබා එය කල් තැබීම නිසා රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කළා කියලා. ජනතාවගේ මූලික ඓතිහාසිකම් කඩවුණා කියලා. දඩයකුත් ගෙවන්න වුණා. ඊට කලින් අපේ රටේ ආර්ථිකය කඩා වැටීමට වගකියන්න ඕන මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, හිටපු මහ බැංකු අධිපති ඇතුළු පිරිසක් කියලා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දුන්නා. ඊට පෙර පාස්කු ප්‍රහාරයට වගකියන්න ඕනෑ මෛත්‍රීපාල සිරිසේන කියලා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා. ඊට පෙර වෝටර්ස් ඒජ් ගනුදෙනුවට හිටපු ජනාධිපතිනිය වරදකාරිය කර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නඩු තීන්දුවක් දුන්නා.
මේ විදිහට එක දිගට ජනාධිපතිවරු පස්දෙනෙක් මේ රටේ ජනතාවගේ අයිතීන් කඩ කළා කියලා වැරදිකරුවන් කර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නඩු තීන්දු ලබා දී තිබෙනවා. මේක මොනතරම් ඛේදවාචකයක්ද? මේ ක්‍රමය තමයි අපි වෙනස් කළ යුත්තේ. ඒකට රටේ ජනාධිපතිවරයාගේ සිට රටේ බිමේ ඉන්න මිනිසා දක්වා හරියට නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. ජාතික ජන බලවේගයේ පාලනයකදී ‘නීතියේ විධානයේ ආධිපත්‍යය සැම පුරවැසියෙකුටම සාධාරණව’ ඉටුකරන එක ප්‍රමුඛතම කාර්යයක්. සැමට සමානව නීතිය මේ රට තුළ ක්‍රියාත්මක වීමට නම් අනුර සහෝදරයා ජනාධිපති කර, මාලිමාවේ ආණ්ඩුවක් පිහිට විය යුතුයි. අපේ ප්‍රතිපත්ති ප්රකාශනයේ අපි පැහැදිලිවම එය සඳහන් කරනවා. මේ 21 වැනිදාට ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරවා, මේ රටේ නියත ජනාධිපති වන අනුර කුමාර දිසානායක සහෝදරයාගේ නායකත්වයෙන් යුතු ආණ්ඩුවකින් එය ස්ථිර ලෙසම සිදු කරනවා.’’
(සටහන - ජයසිරි අලවත්ත)