theleaderlk 01

‘නූගතුන් අතින් උගතුන් පාලනය වන එක ම රට ශ්‍රී ලංකාව’ යන්න ශ්‍රී ලාංකිකයන් තුළ දීර්ඝ කාලයක් තිස්සේ පැළපදියම් වී ඇති අදහසකි.


ඒ සම්බන්ධයෙන් විවිධ අවස්ථාවල සමාජ මාධ්‍යවලද විවිධ අදහස් පළවී තිබේ.

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය පවා අසමත් සැලකිය යුතු පිරිසක් පාර්ලිමේන්තුව නියෝජනය කරන බවට ද අප අසා ඇත.

මේ අතර, 2023 වසරේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් පාර්ලිමේන්තු වෙබ් අඩවියේ පළ කිරීම ආරම්භ විය.

කෙසේ වෙතත්, ඇතැම් මන්ත්‍රීවරුන් සිය අධ්‍යාපන සුදුසුකම් ලබා දීමට අපොහොසත් වී තිබේ.

මේ අතර, මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයින් 38 දෙනෙක් ඉදිරිපත් වී සිටිති. ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් මොනවා දැයි දැන ගැනීම ඡන්ද දායකයෙකුට සිය තීන්දුව ගැනීම සඳහා සහයක් විය හැකි ය.

මෙම ලිපිය මගින් ඉදිරි පෙළේ සිටින ප්‍රධාන අපේක්ෂකයින් 4 දෙනෙකුගේ අධ්‍යාපන සුදුසුකම් මොනවා ද යන්න විමසා බැලෙයි.


රනිල් වික්‍රමසිංහ

 

81702ad0 4712 11ef 8851 4153cca52747.jpg

1949 මාර්තු මස 24 වන දා උපත ලැබූ රනිල් වික්‍රමසිංහ ප්‍රාථමික හා ද්විතීක අධ්‍යාපනය ලැබුවේ, කොළඹ රාජකීය විද්‍යාලයෙනි.

පසුව, කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයට ඇතුළත්ව නීති උපාධියක් හිමි කර ගත් ඔහු, නීති විද්‍යාලයට පිවිස නීතිඥ පුහුණුව ලැබී ය.

1972 වසරේදී ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අධිනීතිඥවරයකු ලෙස ලියාපදිංචි විය. ඉන්පසු ඔහු වසර පහක් නීතිඥවරයෙකු ලෙස සේවය කළේ ය.

2014 වසරේදී රනිල් වික්‍රමසිංහ ඇමෙරිකාවේ මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනයේ (MIT) ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේ රොබට් ඊ. විල්හෙල්ම් ශිෂ්‍යත්වලාභියෙකු විය.

2017 වසරේදී, ඔස්ට්‍රේලියාවේ ඩීකින් විශ්වවිද්‍යාලය ඔහුට සම්මාන ආචාර්ය උපාධියක් පිරිනැමීය.


සජිත් ප්‍රේමදාස

 

363cd5afa03db4a4c7d100f0e24b87e8 XL


1967 ජනවාරි මස 12 වන දා උපත ලැබූ සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකාවේ දෙවන විධායක ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ පුත්‍රයා ය.

ඔහු මූලික අධ්‍යාපනය ලැබුවේ, කොළඹ කොල්ලුපිටියේ පිහිටි ශාන්ත තෝමස් ප්‍රෙපරේටරි පාසලෙනි. (S. Thomas' Preparatory School)
පසුව, ද්විතීක අධ්‍යාපනය සඳහා කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් විය.

සජිත් ප්‍රේමදාස ලන්ඩන් සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගවලට පෙනී සිට තිබේ.

පසුව, ලන්ඩන් ස්කූල් ඔෆ් ඉකොනොමික්ස් ආයතනයෙන් ආර්ථික හා දේශපාලන විද්‍යාව පිළිබඳ උපාධියක් හිමි කර ගත් බව ඔහුගේ තොරතුරු ඇතුළත් වෙබ් අඩවියේ සඳහන් වෙයි.

ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව පසුගිය මැතිවරණ කාල සීමාවේ දැඩි කතාබහක් ද ඇති විය.


අනුර කුමාර දිසානායක

 

anura 240906

අනුර කුමාර දිසානායක 1968 නොවැම්බර් මස 24 වන දා උපත ලැබී ය.

ඔහු සාමාන්‍ය පෙළ විභාගය දක්වා අධ්‍යාපනය ලැබුවේ, තඹුත්තේගම ප්‍රාථමික විද්‍යාලයෙනි. (ඊට පෙර තඹුත්තේගම ගාමිණී මහා විද්‍යාලය ලෙස හැඳින්විණි)
අ.පො.ස. උසස් පෙළ සඳහා ඔහු තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් විය.

උසස් පෙළ විභාගය සඳහා ගණිත අංශයෙන් පෙනී සිටි ඔහු 1992 වසරේදී භෞතික විද්‍යා උපාධිය සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයට ඇතුළු විය.

අනුර කුමාර දිසානායක භෞතික විද්‍යාව හදාරා 1995 වසරේදී විද්‍යාවේදී උපාධිය හිමි කර ගත්තේ ය.


නාමල් රාජපක්ෂ

 

namal d

1986 අප්‍රේල් මස 10 වන දා උපත ලබා ඇති නාමල් රාජපක්ෂ යනු ශ්‍රී ලංකාවේ දෙවරක් විධායක ජනාධිපති ධූරය දැරූ මහින්ද රාජපක්ෂගේ වැඩිමල් පුත්‍රයා ය.

ඔහු, ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලේ ආදි ශිෂ්‍යයෙකු වන අතර පාසල් වියේ සිට ම ඔහු රග්බි ක්‍රීඩාවේ නිරත වූ අයෙකු විය.

වෘත්තියෙන් නීතිඥවරයෙකු වන නාමල් රාජපක්ෂ City University Londonහි උසස් අධ්‍යාපනය ලබා තිබේ.

ඔහු නීතිඥවරයෙකු ලෙස සුදුසුකම් ලැබීමට මෙරට නීති විද්‍යාලයට බැඳුණු අතර එහිදී ඔහු අවසන් විභාගයට පෙනී සිටි ආකාරය පිළිබඳව විවිධ පාර්ශව වෙතින් චෝදනා එල්ල විය.

ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ (SLLC) බලධාරීන් විසින් තෝරාගත් සිසුන්ට විභාග ප්‍රශ්න පත්‍ර කලින් ලබා දීමට සලස්වා ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් නාමල් රාජපක්ෂට විශේෂ වරප්‍රසාද පිරිනැමුණු බවට එවකට නීති විද්‍යාලයේ අවසන් වසරේ ශිෂ්‍යයෙකු වූ ඩී.එම්. තුෂාර ජයරත්න චෝදනා කළේ ය.

ඒ සම්බන්ධයෙන්, නීතීඥ උදිත ඉගලහේවාගේ ප්‍රධානත්වයෙන් නීති විද්‍යාල පරිශ්‍රයේදී පරීක්ෂණයක් පැවැත්වෙන බවට ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ එවකට සිටි විදුහල්පතිවරයා පෙත්සම්කරු තුෂාර ජයරත්නට දැනුම් දී තිබිණි.


(කුමුදු ජයවර්ධන)
BBC සිංහල සේවය

සබැඳි ලිපි :


රනිල්, සජිත්, අනුර සහ නාමල්ගේ ප්‍රධාන ප්‍රතිපත්ති ගැන ඔබ දැනුවත් ද?

රනිල්, සජිත්, අනුර, නාමල් රටට සල්ලි ගේන්නේ කොහොමද?

මෙවර ජනපතිවරණයේ ප්‍රතිඵල 'උඩු රැවුල, දරුවන්, සාටක' ආදී බාහිර ප්‍රතිරූප මත තීරණය වෙයි ද?

ජනාධිපතිවරණය 2024: රනිල්, සජිත්, අනුර, නාමල්ට අයත් වත්කම් මොනවා ද?

pe2024 2

worky sin

නවතම පුවත්