theleaderlk 01

ලංකා දේශපාලනයේ කීර්තිමත්ම යුගය වූයේ මහින්ද රාජපක්ෂ යුගය යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්

රාජපක්ෂ අවධාරණය කළේ ය.

හෙතෙම මෙලෙස අවධාරණය කළේ කඩවත නගරයේ දී පසුගිය (07) දා පස්වරුවේ පැවැති ජනහමුවට එක්වෙමිනි.

ජනතාව ඉදිරියේ දී තමා ප්‍රකාශ කරන්නේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළහැකි ප්‍රතිපත්ති පමණක් බවත්, තම පක්ෂය අනෙක් අයට නොදෙවෙනි දේශපාලන පොරොන්දු දී නැතැයි පෙන්වාදෙන හෙතෙම ප්‍රායෝගිකව කරන්න පුළුවන් දේ පුළුවන් කියා පවසන බව ද තමාගේ දැක්ම ප්‍රායෝගික බව ද පැවසී ය.

එහි දී වැඩිදුරටත් අදහස් පළකළ පාර්ලිමේන්ත්‍ර මන්ත්‍රී නාමල් රාජපක්ෂ...

මහින්දගෙ කාලෙ වැඩ

‘‘අපි රට ගොඩ නගන්න, රට රකින්න වගේම, අනාගත පරම්පරාව වෙනුවෙන් මේ රට හදන්න ආපු දේශපාලන බලවේගයක්. අපි සෑම විටම මේ රටේ ජනතාව දිහා බලලා ජනතාවගේ අවශ්‍යතාවයන් ඉටු කරන්න, ජනතාව ආරක්ෂා කරන්න, ජනතාව ගොඩ නගන්න දේශපාලන තීන්දු ගත්ත බලවේගයක්. මහින්ද රාජපක්ෂ යුගය තමයි ලංකාවේ දේශපාලනයේ කීර්තිමත්ම යුගය වුණේ. බැංකු පොලී අනුපාතය ඒ වගේම විරැකියා අනුපාතය තනි ඉලක්කමකට ගෙනාවේ මහින්ද රාජපක්ෂ යුගයයි. ගම්පහ දිස්ත්‍රික්කය ගත්තත්, මහර ආසනය ගත්තත් සියයට අනූ නමයක් වැඩ සිදු වුණේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලයේයි. යහපාලන ආණ්ඩුව ගෙනාවා. එදා වෙනසක් ඕනෙ කියලා ගෙනාවෙ. අවසානයේ ගෝඨාභය රාජපක්ෂ මහතාට භාර ගන්න සිදු වුණේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා භාර දීපු තැනින් නෙමෙයි. වේගයෙන්ම සංවර්ධිත රට කඩන් වැටුණ රටක් විදියට තමයි ගෝඨාභය මහතාට භාර ගන්න වුණේ. භාර ගත්තා විතරක් නෙමෙයි ඒ වෙලාවේ කොවිඩ් 19 අභියෝගයත් ආවා. ඒකට මුහුණ දුන්නා.

අපි මුදල් ආයෝජනය කළ විදිය

ලෝකයේ දැවැන්ත රටවල් කඩාගෙන වැටෙනකොට, මිනිස්සු මැරෙනකොට අපි මිනිස් ජීවිත බේරා ගන්න කටයුතු කෙරුවා. මට මතකයි මම එන්නත් ලබාදීමේ වැඩසටහනට මහර ආසනයටත් ආවා. තරුණ අමාත්‍යාංශය විදියට අපි ඇඳන් දහදාහක් හැදුවා. ඒ තරුණ තරුණියන් මෙතැන ඉන්නවා. අපි එදා තරුණ සේවා සභාව භාවිත කළේ මේ රටේ තරුණයන් ගොඩ නගන්න. තරුණ සේවා සභාවේ මුදල් අපි භාවිත කළේ තරුණයන් වෙනුවෙන් ආයෝජනය කරන්න. කොවිඩ් වෙලාවේ රටේ සුබසිද්ධිය සඳහා ජනතාව ජීවත් කරවන්න ඒ මුදල් අපි ආයෝජනය කළා. අපි කවදාවත් තරුණ සේවා සභාවේ මුදල්වලින් සංගීත සංදර්ශන පවත්වා නැහැ. අපි විශ්වාස කළේ මේ රටේ දරුවන් වෙනුවෙන් ඒ මුදල් ආයෝජනය වෙන්න ඕනෙ කියන කාරණයයි. අපිට පැහැදිලිව මේ රටේ අනාගත පරම්පරාවේ රැකියා උත්පාදනය කිරීම සඳහා වැඩපිළිවෙළක් තිබෙනවා.

වසර 10ක්; රැකියා ලක්ෂ 20ක්

අපි, පැහැදිලිව ම සෑම ප්‍රාදේශීය කොට්ඨාසයකට ම අලුත් කර්මාන්තයක් ගෙන්න පුළුවන් වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා. තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය කේන්ද්‍ර කරගත් රැකියා උත්පාදනය අපි ආරම්භ කරනවා. වරාය නගරය, නෙළුම් කුලුණ, තාක්ෂණ ගම්මාන කේන්ද්‍ර කරගෙන අවශ්‍ය ආයෝජකයින් ලංකාවට ගෙනවා විතරක් නෙමෙයි. සාමාන්‍ය පෙළ විභාගයෙන් පස්සෙ දරුවා උසස් පෙළ හෝ උපාධිය කරා ගමන් කරනවා ද, කාර්මික සහ වෘත්තීය පුහුණුවලින් ගමන් කරනවා ද කියන තීන්දුව ගන්න පුළුවන් නිදහස අපි දෙනවා. අපි කොතරම් ආයෝජකයින් ලංකාවට ගෙනාවාත් වැඩක් වෙන්නෙ නැහැ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළින් ආයෝජකයන්ගේ රැකී රක්ෂාවලට අපි තරුණයන් බිහි කරන්නෙ නැත්නම්. අපේ ඉලක්කය තමයි ඊළඟ අවුරුදු දහය ඇතුළත රැකියා ලක්ෂ විස්සක් දේශීය විදේශීය වෙළඳපොළ තුළට අපේ රටේ ශ්‍රම බලකාය පුහුණු කළා. නිදහස් සෞඛ්‍ය අපි ආරක්ෂා කළා.

පුද්ගලයා මාරු කළා ම ලැබෙන විසඳුම

සෞඛ්‍ය පද්ධතිය නවීකරණය කරනවා වගේම ප්‍රසම්පාදන ක්‍රමවේදය, ටෙන්ඩර් ක්‍රමවේදය තාක්ෂණයත් අපි සමග බද්ධ කරනවා. සියලුම රෝහල් ජාලගත කිරීම තුළ ඖෂධ හිඟය සහ රෝගීන්ගේ සත්කාර කිරීම සහ සේවාව සැපයීම කාර්යක්ෂමව කරන්න පුළුවන්. වෛද්‍ය සහ කාර්යය මණ්ඩලයේ  හිඟයක් තිබෙනවා නම් ඒ පිළිබඳව අවබෝධයක් ලබා ගෙන ඒ හිඟය නැති කරන්න අපිට කටයුතු කරන්න පුළුවන්. නාස්තිය අවම කර ගන්න පුළුවන්. අපි හිතනවා පුද්ගලයා මාරු කළාම විසඳුම ලැබෙයි කියලා. පැහැදිලිව ම ප්‍රසම්පාදන ක්‍රමවේදයකට පරිවර්තනය කරනවා. ඒ තුළ මිල සහ ගුණාත්මකභාවය කේන්ද්‍ර කර ගත් ඖෂධ මිලදී ගැනීමේ ක්‍රමවේදය අනුගමනය කරනවා. ඒ සඳහා තාක්ෂණය අපි භාවිත කරනවා. පුද්ගලයො නෙමෙයි. ඇමැති මාරු වුවත්, ජනාධිපති මාරු වුවත්, ආණ්ඩුව මාරු වුවත් ජනතාවට හොඳ සෞඛ්‍ය සේවාවක් වගේ ම නිදහස් සෞඛ්‍ය ආරක්ෂා කරන ගමන් ගුණාත්මක ඖෂධ ලබා දෙන්න පුළුවන් වපසරියක් අපි හදනවා. රෝහලකට අපි ආයෝජනය කරනවා නම් වෛද්‍ය සංගම් සමග සාකච්ඡා කරලා ජන අනුපාතයට අනුව අවශ්‍යතාවය හඳුනා ගෙන රෝහල්වල පහසුකම් හදන්නත් අපි කටයුතු කරනවා.

බදු නැතිව වැඩි පඩි

විශේෂයෙන්ම අපි බදු ප්‍රතිපත්තිය සරල කරනවා. පැහැදිලිවම මේ රටේ සරල බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වෙන්න ඕනෙ. අසීමිත් බදු ක්‍රමයක් තුළ ආණ්ඩුවටවත් ජනතාවටවත් සාධාරණයක් වෙන්නෙ නැහැ. අපි පසුගිය කාලයේ ඒක දැක්කා. එදා පඩි වැඩි කරන්න විදියක් නැහැ කිවුවා බදු වැඩි කරන්නෙ නැතිව. නමුත් දැන් බදු නැතිව පඩි වැඩි කරන්න පුළුවන්ලු. අපි ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කරලා තිබෙනවා. දැක්මක් ඉදිරිපත් කරලා තිබෙනවා. සියලු දෙනාටම මෙය ලැබෙන්න සලස්වනවා. මේ රටට හිතකර, ගැළපෙන දේශපාලන ප්‍රතිපත්ති තිබෙන්නේ කා ළඟ ද කියලා. මගේ දැක්ම ප්‍රායෝගිකයි. දෙමාපියන්ට ගරු කරන සමාජයක්, වැඩිහිටියන්ට සලකන සමාජයක් බිහි කරන්න පුළුවන් සංස්කෘතිය කේන්ද්‍ර කරගත් දේශපාලන නායකත්වයක් ලබා දෙන්නයි අපි විසි එක්වැනිදාට ඔබගෙන් ආදරයෙන් ඉල්ලන්නෙ.’’

තෙල් හිඟයට හේතුව


458478503 1067792601383143 6496338388550256435 nරාවණා බලය සංවිධානයේ මහලේකම් ඉත්තෑකන්දේ සද්ධාතිස්ස නාහිමි

මේ රටේ තිබුණු අරගලයේ ප්‍රධාන හවුල්කරු රනිල් වික්‍රමසිංහ වෙනවා. ගෝඨාභය රාජපක්ෂට එරෙහිව අවි අමෝරාගෙන හිටියේ රනිල් වික්‍රමසිංහගේ කණ්ඩායමයි. පිහිය දික්කර බලය දෙන්න කියල අපේ කට්ටියට කිවුවා. එයින් පසුව අපේ කට්ටිය එකතු වෙලා බලය දුන්න පුද්ගලයා තමයි රනිල් වික්‍රමසිංහ. ගෝඨාභය රාජපක්ෂ මහතා දාලා යන්න පැය දෙක තුනකට පෙර අපි සාකච්ඡා කළා. පොලීසියේ, හමුදාවේ සහාය තිබෙනවා නම් මම මේක දාලා යන්නේ නැහැ කිවුවා. ඒ නිසා එදා ආරක්ෂක අංශවල සහාය ලැබුණේ නැහැ. එදා ගෝඨාභය රාජපක්ෂ මහතා එදා තෙල් නැව් ගණන් මේ රටට ගෙන්වා. නමුත් ඒ තෙල් නිවාසවලට රැගෙන ගොස් හිඟයක් පෙන්නලා රට ගිනිතබන්න උත්සාහ කළා. එහෙව් ‘මේ පෝලිම් නැති කළේ මමයි’ කියලා රනිල් කියනවා. නමුත් ඔහු මේ රටේ හතර වරක් අගමැති වෙලා තිබෙනවා. මේ රටට කළ දෙයක් නැහැ. නමුත් තවත් වසර පහකට දෙන්න බයයි. මේ ඒකීයත්වය තිබෙන රාජ්‍යයට කුමක් වෙයි ද කියා සැකයක් තිබෙනවා. ඔහුට අවුරුදු පහක් දෙන්නේ නැහැ. මේ රටේ ජනාධිපති කරන්නේ නාමල් රාජපක්ෂයි.’’

ජවිපෙ කළ විනාශ

අපේ මවුබිමට ආදරේ ඕනෑම කෙනෙක් මහින්ද රාජපක්ෂට ආදරෙයි. අපිට උතුරට යන්න නොහැකි වුණා. තමන්ගේ දරුවන්ට අනතුරක් නොවන්න මවුපියන්ලා බෝධි පූජා පැවැත්වූවා. බස් එකේ අම්මයි තාත්තායි එකට ගියේ නැති රටක් මේක. මේ රටේ පැවැති යුද්ධය ඉවර කරන්න පුළුවන් වුණේ මහින්ද රාජපක්ෂ මහතාටයි. ජනතා විමුක්ති පෙරමුණත් මේ රටට විශාල විනාශයක් කළා. මිනිස් ඝාතන කළා. රටේ සම්පත් විනාශ කළා. මිනිසුන්ට විවිධ හිංසන කළා. රට අඳුරට ඇද දැම්මා. ඕනෑම ආයතනයක් කඩා වැටෙන්න ජනතා විමුක්ති පෙරමුණේ දෙන්නයි ඕන. දැන් ජනතා විමුක්ති පෙරමුණේ තුන් දෙනයි පාර්ලිමේන්තුවේ ඉන්නේ. නමුත් විකුණන්න එපා කියා කියනවා. රට බංකලොත් කරන්නෙත් ඔවුන්මයි. විකුණන්න එපා කියන්නෙත් ඔවුන්මයි. අපි රැක්ක මවුබිම යළි විනාශ කරන්න ඉඩ දෙන්නේ නැහැ. මම කවදාවත් දේශපාලඥයන්ගෙන් කිසිවක් ලබාගෙන නැහැ. වරදාන වරප්‍රසාද ලබාගන්න අවශ්‍ය නම් යන්න ඕන රනිල් වික්‍රමසිංහ ළඟට. නමුත් මම කවදාවත් කිසි දෙයක් ඉල්ලන්න යන්නේ නැහැ. මම රටට, ජාතියට, ආගමට ආදරය කරන නිසා නාමල් රාජපක්ෂට ඡන්දය දෙනවා. මේ රට ආපස්සට අදින්න දෙන්නේ නැහැ.

රණ විරුවන්ගේ ශාපය

මේ රටට මොනවා හරි වුනොත් මියගිය රණවිරුවන් තිස් දහසක් අපිට ශාප කරනවා. ඒ නිසා අපි අපේ වගකීම තේරුම් ගතයුතු වෙනවා. අපි හැම වෙලාවෙම රට වෙනුවෙන් පෙනී සිටිය යුතු වෙනවා. මම යුද්ධ කාලයේ එක් දවසක් කුරුණෑගලට ගියා. එදා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය මේ රටට විශාල වැඩකොටසක් කළා. දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කළා. නමුත් අද අපි ජනාධිපතිවරණයක් අභියස ඉන්නවා. කෙසේ වුණත් මෙවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජය ගන්නවා. අපෙන් ගිය කට්ටිය පසුගිය දා සන්ධානයක් අටවා ගත්තා. නමුත් දිනන්නේ නැහැ.’’

ප්‍රබල ම අපේක්ෂකයා

WhatsApp Image 2024 09 08 at 21.49.22රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර

‘‘ගම්පහ දිස්ත්‍රික්කයේ විශාල පිරිසක් ගියත් අපේ කඳවුර තවමත් ශක්තිමත්. ශක්තිමත් කණ්ඩායමක් සෑම ආසනයක්ම නියෝජනය කරනවා. තව දින දහතුනකින් මේ රටේ නමවැනි විධායක ජනාධිපතිවරයා තෝරනවා. මේ රටේ අනාගතය තීන්දු කරන මැතිවරණයක් වෙනවා. මෙවර අපේක්ෂකයන් තිස් නමදෙනෙක් ඉන්නවා. ප්‍රබල අපේක්ෂකයන් සිවුදෙනෙක් මෙවර ඡන්ද සටනේ ඉන්න්වා. එයින් ප්‍රබලම අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ මහතා අපේ පක්ෂයෙන් ඉදිරිපත් කර තිබෙනවා. අපි තවමත් පක්ෂයේ ප්‍රතිපත්ති සමග ඉන්නවා. අපි තවමත් රාජපක්ෂ කඳවුර නියෝජනය කරනවා. අපි විවිධාකාරයේ සිදුවීම් අත්දැක තිබෙනවා. දෙදස් පහේ මහින්ද මහත්තයා එනවිට ඉල්ලුවේ යුද්ධය අවසන් කරන්න කියලයි. මහින්ද මහත්තයාගෙන් අපි පොරොන්දු දේශපාලනයක් ඉල්ලුවේ නැහැ. සාමයෙන් ජීවත් වෙන්න පරිසරය නිර්මාණය කරන්න කියා ඉල්ලුවා. රාජ්‍ය නායකයන් කිහිපදෙනෙකුට බැහැයි කියූ යුද්ධය අවුරුදු තුනෙන් අවසන් කරන්න මහින්ද රාජපක්ෂ මහතා පියවර ගත්තා.

දෙදහස් දහය වසරේ දී අපි  කිවුවේ අපේ රට සංවර්ධනය කර දෙන්න කියලයි. එදා දෙදහස් පහළව වසරේ දී කුමන්ත්‍රණකාරීව මහින්ද රාජපක්ෂ මහතා පරාජය කරන්න කටයුතු කළා. හොරා හොරා කියමින් සමාජ මතයක් නිර්මාණය කළා. එහෙම කරනවිට අපේ පක්ෂයේ හිටපු ලේකම් ඒ පැත්තට අරගෙන අපිව පරාජයට පත්කළා. පසුව අපි ශ්‍රී ලංකා පොාදුජන පෙරමුණ නිර්මාණය කළා. දෙදහස් දහනමය වසරේ පැවැ.ති ජනාධිපතිවරණය අපි දින්නා. එම මැතිවරණයෙන් බලයට පත් ගෝඨාභය රාජපක්ෂ මහතා රට සංවර්ධනය කරන්න උත්සාහ කරන විට අවාසනාවට කොවිඩ් 19 වසංගතය පැමිණියා. අද වනවිට රටේ තිබෙන තත්ත්වය අපි දන්නවා. ඇතැමුන් යළිත් මිනී මරන්න උත්සාහ කරනවා. ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කරන දේ අපි දන්නවා. රාජ්‍ය බලය සහ ආණ්ඩු බලය දෙකම පාවිච්චි කරනවා කියනවා. නමුත් ජනතාව ඒවාට රැවටෙන්නේ නැහැ. කෙසේ නමුත් මෙවර මැතිවරණයෙන් අපි ජයග්‍රහණය කරනවා. මහින්ද රාජපක්ෂ මහතාගෙන් අත්දැකීම් රැසක් ලබාගන්න නාමල් රාජපක්ෂට හැකියාව ලැබුණා.

දෙකයි පනහේ වැඩ

WhatsApp Image 2024 09 08 at 21.49.21බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි

‘‘මෙවර ජනාධිපතිවරණයේ දී ප්‍රාදේශීය සභා සභාපතිවරුන් විකිණුනේ රුපියල් ලක්ෂ පනහටයි. මුලින්ම අත්තිකාරම ලෙස රුපියල් ලක්ෂ දහයක් දුන්නා. ඉතිරිය රුපියල් ලක්ෂ විස්ස බැගින් අවස්ථා දෙකක දී දෙනවා. ලක්ෂ දහයට තමයි මන්ත්‍රීවරු විකිණුණේ. මහින්ද රාජපක්ෂ මහතා විසින් හැම කෙනෙකුටම හයිය දුන්නා. නමුත් එහෙම හයිය දුන්න මහින්ද රාජපක්ෂ මහතා දාලා යන්න විශාල පිරිසක් තීරණය කළා. සහන් ප්‍රදීප් කියන්නේ මගේ මිත්‍රයෙක්. මහින්ද රාජපක්ෂ මහතා නිසා තමයි සහන් කියලා කෙනෙක් නිර්මාණය වුණේ. බැසිල් රාජපක්ෂ මහතා තමයි හයිය දුන්නේ. එහෙව් සහන් ප්‍රදීප් දෙකයි පනහේ වැඩක් කරයි කියා මම කිසිදා සිතුවේ නැහැ. මේ ස්ථානයේ අද විශාල පිරිසක් ඉන්නවා. ඒ අය පොහොට්ටුවට ඡන්දය දෙන්න් තීරණය කර අවසන්. අපිට පසුගිය ජනාධිපතිවරණයේ දී ලක්ෂ හැටනමයක් ඡන්දය දුන්නා. එදා රාජ්‍ය නායකයන් කිහිපදෙනෙකුට යුද්ධය අවසන් කරන්න නොහැකි වුණා. අද අපිට යුද්ධය අමතකයි. නමුත් එදා ප්‍රවෘත්ති යනකොට මුලින්ම යන්නේ යුද්ධය ගැනයි. නමුත් ඒ යුද්ධය නතර කළේ මහින්ද රාජපක්ෂයි. ඒ නිසාම එතුමාට නූතන දුටුගැමුණු කියා නම පටබැදුනා. අපි නොදුටු වරායන්, ගුවන් තොටුපළවල්, අධිවේගී මාර්ග නිර්මාණය කරන්න මහින්ද රාජපක්ෂ මහතා පියවර ගත්තා. ලේක්හවුස් ආයතනයේ පින්ඩපාතයට වැඩි හාමුදුරුවරුන්ට එදා පහර දුන්නා.

අරගලයේ නිර්මාතෘ

එදා නතර කරන්න නොහැකි කියූ යුද්ධය අවසන් කරන්න මහින්ද රාජපක්ෂ මහතා පියවර ගත්තා. නමුත් පසුව දෙදහස් පහළව වසරේ දී ඒ මහතා පරාජය කරන්න විවිධ ක්‍රමන්ත්‍රණ ක්‍රියාත්මක වුණා. ඒ කුමන්ත්‍රණ ක්‍රියාත්මක වුණේ මහින්ද රාජපක්ෂ මහතා විදුලි පුටුවට ගෙන යන්නයි. අරගලයේ කූඩාරම් දාහතක් ගහගත්ත ආශු මාරසිංහ අද රනිල් වික්‍රමසිංහ ළඟ ඉන්නවා. රනිල් වික්‍රමසිංහ මහතා නිර්මාණය කළ අරගලයෙන් පාඩුවට පත්වුණේ පොදුජන එක්සත් පෙරමුණට පමණයි. ඒ සියලු කුමන්ත්‍රණවල ඉහළින්ම සිටියේ රනිල් වික්‍රමසිංහයි. එදා පෝලිම් ඇති කළේ පොහොට්ටුව කිවුවට ඒක අපි කරපු දෙයක් නොවෙයි. ඒ කුමක් කිවුවත් අපේ කඳවුර පාවා දෙන්න සූදානම් නැහැ. මෙවර ඡන්දය දිනන හැම කෙනාම කියන්නේ පොහොට්ටුවේ හැටනම ලක්ෂයෙන් වැඩිම ප්‍රමාණයක් අපි ළඟ තිබෙනවා කියලා. මෙවර ඡන්දයෙන් දිනන්න ලක්ෂ හැත්තෑවක් පමණ ගන්න වෙනවා. මෙවර දිනන්න නම් සජිත් ප්‍රේමදාස තවත් ලක්ෂ විසිහතක් ඡන්දය ගතයුතු වෙනවා. යම්කිසි විදියකින් අපේ කඳවුරේ සිටි අය ඡන්දය දෙන්න සිතුවා නම් මැතිවරණයේ දී දැන් ඡන්දය දෙන්න කිසිම හේතුවක් නැහැ. නමුත් අපේ ජනතාව තවමත් නිහඬයි. මහින්ද රාජපක්ෂ මහතාට ජාජත්‍යන්තර සබඳතා ඉහළම මට්ටමකින් තිබෙනවා. ඒ සම්බන්ධතා නාමාල් රාජපක්ෂටත් හොඳින්ම තිබෙනවා. නවීන තාක්ෂණය ඔස්සේ රට දියුණු කරන්න නාමල් රාජපක්ෂට සැලසුම් තිබෙනවා.

මහර ජනතාව පොහොට්ටුවට

453772813 1572763660286281 3539751195757406425 nහිටපු නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන

මහර කියන්නේ ඵෙතිහාසික මැතිවරණ කොට්ඨාසයක්. ලක්ෂ දෙකකට ආසන්න ඡන්ද ප්‍රමාණයක් තිබෙනවා. කවුරු ගියත් මහර ජනතාව ඉන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්කයි. නායකයන් ගියාම ඡන්ද දායකයන් යයි කියා බොහෝ අය හිතනවා. දෙදහස් විස්සෙ ජනාධිපතිවරණයේ වලංගු ඡන්ද එක්කෝටි පනස් එක් ලක්ෂයක් තිබුණා. එදා විදේශයන්ගෙන් පැමිණ ඡන්දය දීලත් අපිට ඡන්ද ගන්න පුළුවන් වුණේ ඡන්ද ලක්ෂ හැටනමයක්. මෙවර මැතිවරණය පැවැත්වෙනවා. මෙවර ලක්ෂ විසි එකක් පමණ ඡන්ද පාවිච්චි කරන්නේ නැහැ. මේ රටේ අවුරුදු තිහක් පමණ පැවැති යුද්ධය අවසන් කරන්නත් රට සංවර්ධනය කරන්නත් එදා මහින්ද රාජපක්ෂ මහතා පියවර ගත්තා.’’  

මහර ආසනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායිකා සුධීමා චාන්දනී, ජාඇල ආසනයේ ප්‍රධාන සංවිධායක මෙරිල් පෙරේරා, ගම්පහ දිස්ත්‍රික්කයේ සහ මහර ආසනයේ පළාත් සභා හිටපු මැති ඇමැතිවරු සහ ප්‍රාදේශීය දේශපාලඥයන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.



mahara
mahara 2mahara 4

pe2024 2

worky sin

නවතම පුවත්