ජන අරගල සන්ධානයේ ප්‍රතිපත්තිය ඔස්සේ දැනුම් දෙන්නේ IMF වැඩපිළිවෙළට එරෙහිව විරෝධය යැයි ජන අරගල සන්ධානයේ ආචාර්ය කල්ප රාජපක්ෂ පැවසී ය.
ඔහු මෙලෙස පැවසුවේ ඊයේ (09) කොළඹ එම්. ඩී. ගුණසේන ශ්‍රවණාගාරයේදී පැවැති ජන අරගල සන්ධානයේ නීතිඥ සමුළුව අමතමිනි.
එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ කල්ප රාජපක්ෂ...
අපි, IMF වැඩපිළිවෙළට විරුද්ධ ඇයි?
‘‘පහුගිය කාලේ ලංකාව ඇතුළෙ ඇතිවුණු අර්බුදය ජනතාවගේ ජීවිතවලට විශාල බලපෑමක් කරා. ඒ තත්ත්වය ඇතුළෙ අයි එම් එෆ් වැඩපිළිවෙළට එරෙහිව අපේ විරෝධය තමයි ජන අරගල සන්ධානයේ ප්‍රතිපත්තිය ඔස්සේ අපි දැනුම් දෙන්නේ. පහුගිය කාලේ අපි දැක්කා මාධ්‍යය හමුවකදී බන්දුල ගුණවර්ධන කියනවා අපි අයි එම් එෆ් එකට එකඟ නීති පද්ධතියක් අරගෙන ආවා, ඒ නිසා ඒ නීති පද්ධතිය කඩන්න කාටවත් බෑ කියලා. මේ කියන්නෙ පහුගිය කාලේ මේගොල්ලො ගෙනාව සමාජ මාධ්‍ය වාරණ පනත, ආර්ථික පරිවර්තන පනත, වගේ ජනතා ද්‍රෝහී පනත් ගැන. ඇයි අපි කියන්නෙ අයි එම් එෆ් එකෙන් ඉවත් වෙන්න ඕන කියල? අපි දන්නවා ලංකාවේ සමස්ත ණය ප්‍රමාණය ඩොලර් බිලියන සියය ඉක්මවලා. හැබැයි අයි එම් එෆ් ගිවිසුම් අරහා මේ ණය බර බින්දුවක්වත් අඩු වෙන්නෙ නෑ. දැන් අයි එම් එෆ් එක කියලා තියෙන්නෙ සියයට විසි අටක ණය කප්පාදුවක් ලබා දෙනවා හැබැයි ආර්ථික තත්ත්වය සාමාන්‍ය අතට හැරුනොත් ඒක සියයට පහළව දක්වා අඩු කරනවා කියලා. එහෙම තමයි දැන් ණය ගෙවීම් කල් දාලා තියෙන්නෙ. හැබැයි මේ කාලයට අදාළ පොලිය අපිට අනිවාරෙන් ගෙවන්න වෙනවා. ඒක නිසා තමයි අපි කියන්නෙ අයි එම් එෆ් එක අපිට ඇත්තටම උත්තරයක් දීලා නෑ කියලා.
නොගෙවිය යුතු ණය
ලංකාවේ ණය ප්‍රමාණයෙන් අනීතික ණය විශාල ප්‍රමාණයක් තියනවා, විලෝපික ණය සහා අසාධාරණ ලෙස ගත්ත ණය. මේ ණය අපි ගෙවිය යුතු නෑ. මොකද මේ ණයවලින් කරපු කිසිම සංවර්ධන ව්‍යාපෘතියක ප්‍රතිලාභයක් ජනතාවට ලැබෙන්නෙ නෑ. අදටත් ලෝකෙ රටවල් පනහකටට වඩා තියනවා මේ වගේම ණය අර්බුදයක ගිලිලා ඉන්න රටවල්. ඒ රටවල් එක්ක සහයෝගයක් ගොඩනගාන්න අපිට පුළුවන් වුනොත් මේ ණය අර්බුදය විසඳගන්න අවශ්‍ය බලපෑම් කරන්න අපිට පුළුවන් වෙනවා. අපි ඉදිරිපත් කරන්නෙ මේ ආණ්ඩුවල වැඩපිළිවෙළට එරෙහිව විකල්ප වැඩපිළිවෙළක්. ඒ විකල්පය ඇතුළෙ තියෙන්නෙ මේ රටේ ජනතාවගේ ජීවිතය සුරක්ෂිත කිරීම, අපනයන ආර්ථිකය වර්ධනය කිරීම, මේ ව්‍යාපාරිකයන් නොගෙවා පැහැර හැරපු බදු මුදල් නැවත අය කිරීම, විදෙස් ගිණුම්වල හොරෙන් තියාගෙන ඉන්න බිලියන ගාණක මුදල් නැවත ජනතාවට අත්පත්කර දීම යනාදිය යි. ඒ නිසා තමයි අපි කියන්නෙ මේ මැතිවරණය ඇතුළෙ ඇත්ත විකල්පය නියෝජනය කරන එකම අපේක්ෂකයා ජන අරගල සන්ධානයේ නුවන් බෝපගේ කියලා.’’
අපේ වගකීම:
ජන අරගල සන්ධානයේ ජනාධිපති අපේක්ෂක නීතිඥ නුවන් බෝපගේ
‘‘අපි උසාවියේ කැන්ටිමේ දි පවා කතාකරන්නෙ දේශපාලනය. අපි කරන වෘත්තීයත් දේශපාලනිකයි. දේශපාලනය නීති වෘත්තීයට ලොකු බලපෑමක් කරනවා. අපි දන්නවා ලංකාවේ පළවෙනි ජනාධිපති අපේ වෘතියේ. මහින්ද රාජපක්ෂ නීතිඥයෙක්. හැබැයි ඒ දේශපාලනය අපේ ප්‍රශ්නවලට උත්තර නොදැනෙන තැන තමයි අපිට දේශපාලනය කිරීම තෝරගන්න වුණේ. නීතිඥයන් විදිහට අපිට තමයි මේ සමාජයේ ප්‍රශ්න වැඩියෙන් සම්මුඛ වෙන්නෙ. දුප්පත්කම නිසා, නැතිබැරිකම නිසා හොරකම් කරන්න වුණු මිනිස්සු අපි ළඟට එනවා; ක්ෂුද්‍ර මූල්‍ය ණය නිසා පීඩාවට පත් වුණ අය අපි ළඟට එනවා. මේ හැමෝම එක්ක ගණුදෙනු කරද්දි තමයි අපිට තේරෙන්නෙ මේ සමාජය මොනතරම් අර්බුදයක ද තියෙන්නෙ කියලා. මේ සමාජයේ ජීවත් වෙන පුරවැසියො විදිහට මේ අර්බුදයට උත්තර හොයන වගකීම අපි හැමෝටම තියනවා. නීතිඥ වෘත්තීය කරා කියලා ඒ වගකීමෙන් අතමිදෙන්න අපිට බෑ. අපි දන්නවා නීතිඥයන් විදිහට අපි සාර්ථක නම් මේ රටේ අපරාධ අඩු වෙන්න ඕන. ඒත් අපි දන්නවා එහෙම වෙලා නෑ.
ජනතා අභිලාෂ මායිම් නොකිරීම
අද වෙද්දි ලංකාවේ දරුවෝ ලක්ෂ දහයක් ඉස්කෝලෙ යන්නෙ උදේට නොකා. දරුවන්ගෙන් සියයට විසිහයක් මන්දපෝෂණයට ගොදුරු වෙලා. දුප්පත්කම නැතිබැරිකම වැඩිවෙලා. එතකොට මෙහෙම ප්‍රශ්න ඇතුළෙ තමයි අපි ජීවත් වෙන්නෙ. අන්න ඒ අර්බුදය පෙරළා නීතිඥයන් විදිහට අපිටත් ඍජුව බලපානවා. අපි දන්නවා අපේ සේවාදායකයන්ට අද වෙද්දි අපේ සේවාවන් ලබාගන්න වැයකරන්න වෙන වියදමවත් ගෙවාගන්න බෑ. එතකොට ප්රශ්නය අපේ නෙමෙයි කියලා අපිට බලාගෙන ඉන්න පුළුවන් ද ?
අපි දැක්කා මේ පාලකයෝ ධීවර පනත ගෙනාවා. හැබැයි ධීවරයන්ගෙන් ඇහුව ද? ඉඩම් ආඥා පනත අරගෙන එද්දි ගොවියන්ගෙන් ඇහුව ද ? අපි දන්නවා සමාජ මාධ්‍ය වාරණ පනත ගෙන එද්දි පෙත්සම් පනහක් පමණ ප්‍රමාණයක් ඉදිරිපත් වුණා. අපි නීතිඥයෝ විදිහට උසාවිය ඇතුළෙ මේ පනතේ භායානකකම ගැන, මේකෙන් ජනතා අයිතිවාසිකම් කඩ වෙන විදිහ ගැන රෑ අට විතර වෙනකං තර්ක කරා. හැබැයි පනත ගේන්න කලින් ඒ පනත ගැන ජනතා මතය විමසුවා නම් එහෙම කරන්න ඕන වෙන්නෙ නෑ. ඒක නිසා තමයි අපි කියන්නෙ මේ පාලකයෝ මේ ආණ්ඩු වැඩ කරන්නේ ජනතාවගේ අභිලාෂයන්ට එකඟව නෙමෙයි කියලා.
තීරණ ගැනීමේ බලය ජනතාවට ලැබෙන ක්‍රමය
තවදුරටත් මේ දේශපාලන පක්ෂවලට බලය දීලා බලාගෙන ඉන්න ක්‍රමය ඇතුළෙ ජනතාවගේ ප්‍රශ්නවලට උත්තර ලැබෙන්නෙ නෑ. අපි අපේ ප්‍රතිපත්තිය ඇතුළෙ යෝජනා කරන්නෙ ජනතාව රාජ්‍ය පාලනයට සම්බන්ධ වෙන ක්‍රමයක්; තීරණ ගැනීමේ බලය ජනතාවට ලැබෙන ක්‍රමයක්. ඒක නිසා නීතිඥයන් විදිහට මෙතන ඉන්න ඔබ තමයි ගෝල්ෆේස් අරගලය කාලේ ජනතාව වෙනුවෙන් නීති සහය ලබා දුන්නෙ; සයිටම් අරගලය, මීතොටමුල්ලෙ කුණු කන්දට අදාළ ප්රශ්නය, දෙදහස් දෙළහෙ දෝශාභියෝගය, වගේම ජනතාවිරෝධී වැඩපිළිවෙළවල් කරළියට එන සෑම අවස්ථාවකම ඔබ හිටියෙ ජනතාවගේ පැත්තෙ. ඒ නිසා මේ මැතිවරණය ඇතුළෙත් ඔබ, ජනතාවගේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරිමට බලාපොරොත්තු වෙන ජන අරගල සන්ධානය දිනවන්න මැදිහත් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.’’
(සටහන - ජයසිරි අලවත්ත)