භාවපූර්ණ වින්දනයක් සහිත ජීවිතයක් ගොඩනගා ගැනීමට මිනිසුන්ට අවස්ථාව ලැබිය යුතු යැයි මහාචාර්ය ලියනගේ අමරකීර්ති පැවසී ය.
හෙතෙම මෙලෙස පැවසුවේ ඊයේ (09) කාසල් වීදිය තැප්‍රොබේන් උත්සව ශාලාවේ පැවති ජාතික ජන බලවේගයේ කලාකරුවන්ගේ ජාතික සමුළුව අමතමිනි.
ඒ අවස්ථාවේ වැඩි දුරටත් කරුණු දැක්වූ මහාචාර්ය ලියනගේ අමරකීර්ති...
පරිපූර්ණ මනුෂ්‍ය ජිවිතයක් යනු කුමක් ද...?
‘‘අපි අද ඉදිරිපත් කරන අපේ සංස්කෘතික කලා ප්‍රතිපත්තිය පිටුපස විශාල සාමූහික ශ්‍රමයක් තිබෙනවා. මෙය සැකසීමේ දී ක්ෂේත්‍රය පිළිබඳ අත්දැකීම් තිබෙන ප්‍රවීණයන් රැසක් ඊට දායක වුණා. අපේ සංස්කෘතික කලා ප්‍රතිපත්තිය අනෙකුත් ක්ෂේත්‍ර සියල්ල සමග එකිනෙක බැඳුණු සමස්තයක එක කොටසක්. අපේ ප්‍රතිපත්ති මාලාව අනෙකුත් සියලු ම ක්ෂේත්‍ර සමග ස්නායුගත සම්බන්ධතාවක් පවත්වනවා. අපි මෙහිදී එක ප්‍රධාන තේමාවක් පිළිබඳව කල්පනා කළා. එය තමයි පූර්ණ මනුෂ්‍ය ජීවිතයක් යනු කුමක්ද කියන එක. එතනදී අපි විශ්වාස කරනවා පරිපූර්ණ මනුෂ්‍ය ජීවිතයක් කියන්නේ මොනව හරි සෑදීම, විකිණීම හෝ යම්කිසි දෙයක් සැපයීම පමණක් නොවෙයි.
මහාචාර්ය සරත්චන්ද්‍රයන් ඔහුගේ ‘ධර්මිෂ්ඨ සමාජය’ නම් කෘතියේදී එක් තැනක මෙසේ සඳහන් කරනවා. ඔහු කිවුවා මනුෂ්‍ය ජීවිතය කියන්නෙ ‘ක්‍රය’ සහ ‘වික්‍රය’ පමණක් නොවෙයි කියල. එනම් මිලට ගැනීම සහ විකිණීම පමණක් නොවෙයි මනුෂ්‍ය ජීවිතය කියල. මනුෂ්‍ය ජීවිතය ඊට වඩා විශිෂ්ට දෙයක්. යම් ආර්ථිකයක උපකරණයක් වීම පූර්ණ මනුෂ්‍ය ජීවිතයක් නොවෙයි. භාවපූර්ණ වින්දනයක් සහිත ජීවිතයක් ගොඩනගා ගැනීමට මිනිසුන් ලෙස අපට අවස්ථාව ලැබිය යුතුයි.
සාරවත් පුරවැසි ජීවිතයක්
මනුෂ්‍යයන් යම් පද්ධතියක නිර්නාමික කොටසක් වීම ඉවසන්නේ නැහැ. මනුෂ්‍යයා තමාගේ ජීවිතය ඵල දරන දෙයක් බවට පත්කර ගැනීමට උත්සාහ ගන්නවා. අපේ සංස්කෘතික ප්‍රතිපත්තිය සැකසී තිබෙන්නේ අපේ සමාජීය මිනිසා යම් නිෂ්පාදන ආර්ථිකයක හෝ යම් වෙළඳපොළ ක්‍රමයක කොටසක් කිරීමට හෝ යම් පාලනයක සුවච කීකරු යටත්වැසියෙකු කිරීමට නොවෙයි. අප ඉදිරිපත් කර තිබෙන එම වැඩපිළිවෙළ ඒ ඒ පුද්ගලයාගේ හැකියාව අනුව ජීවිතය පූර්ණත්වයට පත් කර ගත හැකි ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළක්. අපි පරිකල්පනය කරන්නේ සාරවත් පුරවැසි ජීවිතයක්. ඒක තනි තනි පුද්ගලයාට වෙන් වෙන්ව සාක්ෂාත් කර ගත නොහැකියි. එයට සාමූහික ප්‍රයත්නයක් අවශ්‍යයි. ඊට පාලන තන්ත්‍රය උදව් කළ යුතුයි; පරිසරය සකසා දිය යුතුයි.
සංස්කෘතිය සහ කලාව යනු...
සංස්කෘතිය හා කලාව කියන්නේ අපි සමාජයට, ස්වභාව ධර්මයට, ප්‍රජාතන්ත්‍රවාදයට මුහුණ දෙන ආකාරය පිළිබඳව පරීක්ෂා කරන උපකරණයක්. ප්ලේටෝ කියා තිබෙනවා, පරීක්ෂා නොකරන ලද ජීවිතය ජීවත්වීමට තරම් නොවේ කියලා. මේ කියමන බොහෝ කලාකරුවො උරුම කරගෙන තිබෙනවා. අපේ කාර්යය ඒ පරීක්ෂාවට දිරි දීම. එය අපේ අභ්‍යන්තරික ආත්ම පරික්ෂා;. එය අපේ සාමූහික ආත්ම පරික්ෂාව; එය පාලකයන් අපිව පාලනය කරන අන්දම පිළිබඳ පරීක්ෂාව; එය අපි ආදරය කරන අන්දම පිළිබඳ පරික්ෂාව; එය අපි අඹුසැමියන් හැටියට ජීවත්වන අන්දම පිළිබඳ පරීක්ෂාව.
අපේ කලා සංස්කෘතික ප්‍රතිපත්තිය
සංස්කෘතිය කියන්නෙ උරුමය කියන එක නොවෙයි අපේ සම්ප්‍රදායන් එලෙසම භාරගන්න එක නොවෙයි. පෙරළීම, වෙනස්කිරීම, යළි සැකසීම මේ සියල්ල සංස්කෘතියට අයිතියි. ගිබ්සන්ගේ නාට්‍යයක් වන ‘සෙල්ලම් ගෙදර’ නාට්‍යයේ ඔහු එක තැනක අහනවා බිරිඳක් ගෙදරක ගෘහනියක් වුවහොතින් ඇය සැබෑ මනුෂ්‍ය ජීවිතයක් ගතකරනවා ද කියලා. අපේ කලා සංස්කෘතික ප්‍රතිපත්තිය සැකසී තිබෙන්නේ පූර්ණ මනුෂ්‍යයෙකු ලෙස ලාංකේය පුරවැසියා ලෝකයට දායාද කිරීම අරමුණු කරගෙනයි.’’