මෙරට දූෂණයෙන් මුදවා ගැනීමේ ප්‍රධාන පෙරමග ගමන්කරුවන් බවට රණවිරුවන් පත් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
හෙතෙම මෙලෙස පැවසුවේ සමගි ජන බලවේගයේ 'දිවිදෙන රණවිරු බලවේගය' විසින් සුගතදාස ක්‍රීඩාංගනයේ සංවිධානය කරනු ලැබ තිබූ සමුළුව අමතමිනි.
එම සමුළුවේ දී විපක්ෂ නායකවරයා පැවසිය.
පැය හතළිස් අටක් ඇතුළත විශේෂ කටයුත්තක්
‘‘සමගි ජන බලවේගයේ දූෂණ විරෝධී වැඩසටහනේ කොටස්කරුවන් ලෙස රණවිරුවන් පත් කරලා මෙරට දූෂණයෙන් මුදවා ගැනීමේ ප්‍රධාන පෙරමග ගමන්කරුවන් බවට රණවිරුවන් පත් කරනවා. පාස්කු ප්‍රහාරයෙන් නිර්මාණය වී ඇති ව්‍යාකූලත්වය, මේ ත්‍රස්ත ප්‍රහාරයට මුල් වූ කණ්ඩායම් හා මහමොළකරුවන් කවුද යන ක්‍රියාදාමය විනිවිදභාවයෙන් යුක්තව ක්‍රියාත්මක කරනවා. අප රටට කොඩිවිනයක් වී ඇති කුඩු ජාවාරම මුලින් උපුටා දමන්නට, විනාශ කිරීමේ කර්තව්‍යයට රණවිරුවන්ගේ දායකත්වය ලබා ගන්නත් බලාපොරොත්තු වෙනවා.
මෙරට ආරක්ෂාව රැකවරණය සෛරීත්වය භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් දිවි පරදුවට තබා සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ ත්‍රිවිධ හමුදාව පොලිසිය, සිවිල් ආරක්ෂක බලකාය සහ ආරක්ෂක අංශ යනාදී රණවිරු ප්‍රජාව දේශපාලන සමයේ දේශපාලන පාපන්දුවක් කර ගෙන තියෙනවා. ඡන්දය උදෙසා බොහෝ අවස්ථාවල දී ඔවුන් අනාථ කරලා. පාර්ලිමේන්තුවේ සහ ඉන් පිටත ත්‍රිවිධ හමුදාව, පොලිසිය හා ආරක්ෂක අංශවල අයිතිය වෙනුවෙන් හඬ නැගුවේ අයිතීන් සුරක්ෂා කිරීමට සිටියේ සමගි ජන බලවේගය විතරයි. විපක්ෂයේ රාජකාරිය වන්නේ රජයෙන් ප්‍රශ්න කිරීම බවත් විසි එක්වැනිදාට එම බාරදූර කර්වත්ය ලක්ෂ දෙසිය විස්සක ආශිර්වාදයෙන් විසඳුම් සහ උත්තර සපයන කාලය ආරම්භ කරලා පැය හතළිස් අටක් ඇතුළත ත්‍රිවිධ හමුදාව, පොලිසිය සිවිල් ආරක්ෂක ක්ෂේත්රයේ ගැටලු විසඳන්න ජනාධිපති කාර්ය සාධන බලකායක් පිහිටුවනවා. ඒ තුළ කාලවකවානු සහිත ව මුහුණ දෙන ගැටලුවලට විසඳුම් ලබා දෙනවා.
උතුරු නැගෙනහිර දමිළ දරුවන් වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක්
'වන් රෑන්ක් වන් පෙන්ෂන් 'වැඩසටහන ක්‍රියාත්මක කර රණවිරු සුබසාධනය වෙනුවෙන් ඇති රණවිරු අධිකාරියේ නෛතික බලය ප්‍රමාණවත් නොමැති නිසා රණවිරුවන් වෙනුවෙන් වෙනම ම දෙපාර්තමේන්තුවක් ඇති කරනවා. මේ පිරිසට සමාජයේ තවත් ආදායම් ලබන අවස්ථා බිහි කර ව්‍යාපාර ආරම්භ කර ව්‍යවසායකයන් වීමට අවශ්‍ය මූලික ප්රාග්ධනය ලබා දෙනවා. සමකළ නොහැකි දිවි දෙන රණවිරු වැඩසටහන තුළ නිරන්තරයෙන්ම ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ මෙන්ම සිවිල් ආරක්ෂක ක්ෂේත්රයේ ප්‍රශ්න ගැටලු සොයා බැලුවා; ඒවාට විසඳුම් දෙන්න උත්තර නිර්මාණය කරා. හමුදා ක්ෂේත්රයේ යම් යම් අඩුපාඩු පවතින නිසා ඒවා ද සකස් කරනවා.
අග්‍රාහාර රක්ෂණාවරණය මෙන්ම විශ්‍රාම වැටුප් ද නිසි පරිදි ලබා දිලා ස්ථාවර තැන්පතු සඳහා සියයට පහළවක පොලියක් ලබා දෙන්න කටයුතු කරනවා. එම පොලිය එලෙස ම ක්‍රියාත්මක කරනවා සේම ආබාධිත රණවිරු සුබසාධනය වෙනුවෙන් ද කැපවෙනවා. ඇස් ඉස් මස් ලේ දන් දී අප රැකගත් රණවිරුවන් අප විසින් රැකගත යුතුයි; ඔවුන්ට හිමි සියලුම වරප්‍රසාද ද ලබා දෙනවා.
රණවිරු කැපකිරිම් කළ පවුල්වල දරුවන් මෙන්ම උතුරු නැගෙනහිර දමිළ පවුල්වල දුදරුවන් වෙනුවෙන් ද වැඩපිළිවෙළක් සකස් කරනවා. පශ්චාත් යුද සමයේ ජාති ආගම් භේද පසෙකලා හැමෝම එකතු විය යුතුයි. උතුරු නැගෙනහිර දකුණු බස්නාහිර ඇතුළු පළාත් නමය ම; සියලු දෙනාම එකට එකතු වී මේ යුතුකම ඉටු කළ යුතු යි.
සමගි ජන බලවේගයේ 'දිවිදෙන රණවිරු බලවේගය' ප්‍රධානි හිටපු යුධ හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක විසින් සංවිධානය කර තිබු මෙම සමුළුවට ආරක්ෂා හමුදාවල සේවයකළ 4000කට ආසන්න පිරිසක් එක්ව සිටිබව වාර්තාවේ.