මෙවර ජනාධිපතිවරණයේ දී විශ්වවිද්‍යාල ආචාර්යවරුන් බලාපොරොත්තු වන්නේ එක්තරා ආකාරයකට ජරාජීර්ණ වී තිබෙන සමාජය ශුද්ධ කිරීමක යැයි
විවෘත විශ්වවිද්‍යාලයේ ආචාර්ය දිලීප විතාරණ පැවසී ය.
හෙතෙම මෙලෙස පැවසුවේ මාලිමාවේ ජයග්‍රහණය වෙනුවෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විසින් ඊයේ (10) පවත්වන ලද මාධ්‍ය හමුවේ දී ය.
මෙම මාධ්‍ය හමුවේ දී: කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි, මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කිත්සිරි දිසානායක, කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රියන්ත ප්‍රනාන්දු, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනී සකුරා බෝගොඩ යන අය අදහස් දැක්වූහ.
මතු දැක්වෙන්නේ එම අදහස පෙළ ය.
මාලිමාව වෙනුවෙන් රටේ ලොකු පිබිදීමක්
‘‘ලාංකේය සමාජය ඓතිහාසික පරිවර්තනයක් අභියස සිටිනවා. මේක දේශපාලනය, ආර්ථිකය, සංස්කෘතිය, නීතියේ ආධිපත්‍යය සහ සමාජය වශයෙන් වැටෙන්න පුළුවන් පතුලටම වැටී තිබෙන මොහොතක්. ජනතාව රවටමින් පැමිණි යුගයක් නිමාවට පත් කරන්න අපි ජාතික ජන බලවේගය වටා නව බලාපොරොත්තුවක් සමගින් එකතු වී සිටිනවා. ජනාධිපතිවරණයෙන් අපි බලාපොරොත්තු වන්නේ එක්තරා ආකාරයකට ජරාජීර්ණ වී තිබෙන සමාජය ශුද්ධ කිරීමක්. ඒ වාගේම සංවර්ධිත ලංකාවක් ගැන තිබෙන බලාපොරොත්තුව ඉෂ්ට කර ගැනීමේ මුල් පියවර ලෙසත් හඳුන්වන්න පුළුවන්. මාලිමාව වෙනුවෙන් රටේ ලොකු පිබිදීමක් තිබෙනවා. නිදර්ශනයක් කීවොත්, සරසවි ආචාර්යවරුන්ගෙන් අති බහුතරයක් මාලිමාව වෙනුවෙන් ක්‍රියා කිරීමට තීරණය කර අවසන්. ප්‍රතිපත්ති සැකැසීමේ සිට කැන්වසින් යාම දක්වා විවිධ ආකාරයෙන් ඉතිහාසයේ නොවූ විරූ ආකාරයට මහා පරිමාණයෙන් අපි ක්‍රියාත්මක වෙමින් සිටිනවා.
අපි පසුගිය දිනක විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ලෙස කැන්වසින් ගියාම අපට ලැබුණු ප්‍රතිචාරය තමයි ජනතාව විශාල උනන්දුවකින් අපව කැන්වස් කරන්න ඉදිරිපත් වෙනවා. කෙතරම් තීරණාත්මක පරිවර්තනයකට රට සූදානම්ද කියන දේ එයින් පැහැදිලි වෙනවා. එක්තරා ආකාරයකට කොළඹ නගරය පැවැතුණේ කොළ පාටට අයිති බලකොටුවක් හැටියට. නමුත්, මෙවර කොළඹ නගරය පවා ඛණ්ඩනයකට ලක් වී තිබෙනවා. විශේෂයෙන් මුස්ලිම් ප්‍රජාව මාලිමාව වෙනුවෙන් අපට හිතාගන්නවත් බැරි තරම් ප්‍රතිචාර දැක්වූවා.
ප්‍රභූ කල්ලිය අත තිබූ බලය සාමාන්‍ය ජනයා අතට
මාලිමාවේ ජයග්‍රහණය තුළින් පොදුවේ සිදු වන පරිවර්තනය පිළිබඳව කෙටියෙන් පැහැදිලි කරන්නම්. අපි එළැඹෙන්නේ මුළු සමාජයම පරිවර්තනය කරවමින් යන පුනරුද යුගයකටයි. සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ, අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ, ගමනාගමන ක්‍ෂේත්‍රයේ, සංස්කෘතික ජීවිතයේ සහ තිරසර සංවර්ධනයක් ආදී වශයෙන් සියලු ම ක්‍ෂේත්‍ර ආවරණය කරමින්, පොදු ජනයාගේ පාලනයක් මෙම මැතිවරණයෙන් පසුව බිහි වෙනවා. නිදහසින් පසුව එක්තරා ප්‍රභූ කල්ලි ටිකක් ගෙන ගිය පාලනයෙන් නිදහස් වී සාමාන්‍ය ජනයා අතට බලය මාරු වෙනවා. අපි අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ නිසා සහ පුනරුදයේ තීරණාත්මක කාර්යභාරයක් අධ්‍යාපන ක්‍ෂේත්‍රයට පැවරී තිබෙන නිසා
කෙටියෙන් අධ්‍යාපනය පිළිබඳව අදහස් දක්වන්නම්. මෙපමණ කලක් අධ්‍යාපනය වෙනුවෙන් රාජ්‍ය අංශයෙන් යෙදවූ මුදල් ක්‍රමානුකූලව කප්පාදු කරගෙන ගියා. ඇත්තටම ගත්තොත්, සම්පූර්ණයෙන් ම ඉවත් වූ මට්ටමකට පැමිණ තිබෙනවා. මුදල්මය වශයෙන් පමණක් නොවෙයි, දෙමවුපියන්ගේ කාලය සහ ශ්‍රමය පැත්තෙන් ගත්තත්, දරුවන්ගේ අධ්‍යාපනය මුළුමනින්ම ඔවුන් මත පටවා තිබෙනවා. විශේෂයෙන්ම පාසල් පද්ධතියේදී මේ බව දකින්න පුළුවන්.
පදිංචි ස්ථානයේ සිට කිලෝමීටර් තුනක් ඇතුළත අංගසම්පූර්ණ පාසලක්
මාලිමාවේ පාලනයක් යටතේ ඉතාමත්ම තීරණාත්මක ලෙස බලයට පත්වන මුල් වර්ෂයේදී ම අධ්‍යාපනය වෙනුවෙන් විශාල මුදලක් වෙන් කරන්න තීරණය කර තිබෙනවා. මේ තුළින් පාසල් මෙන්ම විශ්වවිද්‍යාලවල පවා තිබෙන විෂමතා ඉවත් කෙරෙනවා. විශේෂයෙන්ම පාසල් අධ්‍යාපනයේ දී දෙමවුපියන්ගේ නිවසේ සිට හෝ පදිංචි ස්ථානයේ සිට කිලෝමීටර් තුනක් ඇතුළත දරුවන්ට අංගසම්පූර්ණ පාසලක් ලබා දීම ප්‍රධානම ඉලක්කයක්. තව පැත්තකින් දහවන ශ්‍රේණියේ සිට වෘත්තීය පුහුණු අධ්‍යාපනයක් හඳුන්වා දීමත් තිබෙනවා. නිෂ්පාදන ආර්ථිකයක් වෙනුවෙන් එය ඉතාමත් අත්‍යවශ්‍යයි. ඒ වාගේම සමාජ ක්‍රියාකාරීත්වය වෙනුවෙනුත් එම වෘත්තීය පුහුණුව අත්‍යවශ්‍යයි. පළමුවැනි වසරට ඇතුළත් වන සිසු දරුවන් සියලු දෙනාට ම තමන්ගේ කැමැත්ත අනුව ඉහළට ම අධ්‍යාපනයේ යෙදීමේ අවස්ථාව හඳුන්වා දෙනවා. මම මේ පැහැදිලි කළේ අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ මාලිමාවේ පාලනයක් යටතේ ඇති කරන පුනරුදය ගැනයි. අනෙකුත් ක්‍ෂේත්‍රත් මේ වාගේම සමස්ත පරිවර්තනයකට ලක් කරනවා.’’
අනුර ජනාධිපතිවරණ ව්‍යාපාරයේ ඉදිරියෙන් ම - මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි
‘‘ජාතික ජන බලවේගය වෙනුවෙන් පෙනීසිටීමේ සහ ක්‍රියා කිරීමේ වැදගත්කම කුමක්ද යන්න මේ ජනාධිපතිවරණය අභියස සලකා බැලීම වැදගත්. අපේක්‍ෂකයන් තිස්අටක් සිටියත්, ජනාධිපතිවරණ ව්‍යාපාරය තුළ ඉදිරියෙන් සිටින බව පෙනෙන්නේ අපේක්‍ෂකයන් තුන්දෙනයි. අනුර කුමාර දිසානායක, සජිත් ප්‍රේමදාස සහ රනිල් වික්‍රමසිංහ යන තිදෙනා මේ අතර සිටියත්, රනිල් වික්‍රමසිංහට ඉදිරි පෙළ පෙනීමක් තිබෙන්නේ ඔහු දැනටත් ඉන්න ජනාධිපතිවරයා වන නිසයි. මේ අපේක්‍ෂකයන් තිදෙනෙක් බව පෙනුණත්, පැහැදිලිවම පාර්ශ්ව දෙකයි තිබෙන්නේ. ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ මාලිමාව සහ එයට විරුද්ධ පාර්ශ්ව වශයෙන් මේ බෙදීම පවතිනවා. ප්‍රධාන මාධ්‍යවල ප්‍රවෘත්ති, විවාදවල වාගේම සමාජ මාධ්‍ය අවකාශයේත් පවතින්නේ ඒ ආකාරයෙන්මයි. මාලිමා විරෝධීන් රනිල්ගේ පාර්ශ්වය, සජිත්ගේ පාර්ශ්වය, නාමල්ගේ පාර්ශ්වය, දිලිත්ගේ පාර්ශ්වය විතරක් නොවෙයි, ජන අරගල ව්‍යාපාරය කියන නුවන් බෝපගේගේ පාර්ශ්වය යන සියලු දෙනාගේ ප්‍රචාරක ව්‍යාපාරය යොමු වී තිබෙන්නේ මාලිමා විරෝධයකටයි. මාලිමාව සහ සෙසු පිරිස් අතර ජනාධිපතිවරණ තරගය පවතින බව මූලික ලක්‍ෂණයක්. අපේ පක්‍ෂපාතීත්වය නිසා කියනවා නොවෙයි, සැබැවින්ම ජනාධිපතිවරණ ව්‍යාපාරයේ ඉදිරියෙන්ම සිටින්නේ අනුර කුමාර දිසානායක සහෝදරයායි. ඔහුට ආසන්න තරගයක් තිබෙන්නේ සජිත් ප්‍රේමදාස සමඟ බව පේනවා.
හර්ෂ ද සිල්වා සහ මාලිමාව
සජිත් ප්‍රේමදාස පාර්ශ්වය ගැන සැලකිල්ලෙන් බැලුවාම මාලිමාව නියෝජනය කරන ප්‍රතිසංස්කරණවාදී ඉලක්ක සහිත අපේක්‍ෂකයෙක් ලෙස සමාජයේ පහළම තීරුවේ ජනතාව සම්බන්ධයෙන් පෙනීසිටින්න උත්සාහ කරනවා. නමුත්, සජිත්ගේ පාර්ශ්වය සහ මාලිමාව අතර වෙනස තේරුම් ගන්න නම්, සංසන්දනය කළ යුත්තේ, හර්ෂ ද සිල්වා සහ මාලිමාවයි. ඒ කියන්නේ හර්ෂ ද සිල්වාගේ පෙනීසිටීම සහ සජිත් ප්‍රේමදාසගේ පෙනීසිටීම අතර මූලික වෙනසක් තිබෙනවා. සජිත් පාර්ශ්වයේ ප්‍රධාන ආර්ථික චින්තකයා හර්ෂ ද සිල්වා. ඔහුගේ ප්‍රතිපත්තිමය නැඹුරුව රනිල් වික්‍රමසිංහයි. පදනමින් ගත්තාම වෙනසක් නැහැ. ඔහු ප්‍රකාශ කරන්නේ, “මාලිමාව ආවොත්, අයි.එම්.එෆ්. ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම කඩාකප්පල් වෙනවා” කියලා. ඔහු පුන පුනා කියන්නේ අයි.එම්.එෆ්. ප්‍රවේශය නියෝජනය කරන්නේ සමගි ජන බලවේගය බවයි. රනිල් වික්‍රමසිංහගේ පාර්ශ්වයෙන් කියන්නෙත් ඒකයි. ඒ අනුව මාලිමාවේ ආර්ථික චින්තනය සහ හර්ෂ ද සිල්වාගේ ආර්ථික චින්තනය අතර වෙනසක් මිස එළිපිට පෙනෙන ආකාරයෙන් සජිත් සහ අනුර අතර තරගයක් නැහැ. මෙතෙක් කල් ලංකාව අනුගමනය කළ ආර්ථික සහ දේශපාලන ක්‍රමය අධිපති ක්‍රමය බව අපි දන්නවා. එහි දිගුවක් රනිල් වික්‍රමසිංහ පැහැදිලිව නියෝජනය කරන අතර, විකල්පයක් ලෙස පෙනීසිටින්න උත්සාහ කළත්, සජිත් ප්‍රේමදාස පාර්ශ්වය නියෝජනය කරන්නෙත් එයමයි. පසුගිය කාලයේ අන්ත දූෂිත දේශපාලනය නියෝජනය කළ පිරිස රනිල් සහ සජිත් අතර බෙදී ගොස් සිටිනවා.
ජනතාවගේ බලාපොරොත්තු
මේ තත්ත්වය තුළ ජනතා කේන්ද්‍රීයව සලකා බැලුවාම දෙදහස් විසි දෙකේ අරගලයෙන් ඉල්ලා සිටි ක්‍රම වෙනස නියෝජනය කළ විශාල ජනතාවක් ඉන්නවා. ක්‍රම වෙනස කියන්නේ මූලික වශයෙන් ගත්තාම ජනතාව බලාපොරොත්තු වන්නේ දූෂිත ක්‍රමය අවසන් කර දූෂිත දේශපාලනයෙන් බැහැර වීමයි. ඒ ක්‍රම වෙනස සාක්‍ෂාත් කර ගැනීම සඳහා තෝරාගෙන තිබෙන දේශපාලන බලවේගය වී තිබෙන්නේ ජාතික ජන බලවේගයයි. ජනයාගේ අභිලාෂය නියෝජනය කරනවා නම්, අපට තිබෙන එකම විකල්පය වන ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක සහෝදරයාගේ අපේක්‍ෂකත්වය වෙනුවෙන් පෙනීසිටිය යුතු බව සෘජුවම ප්‍රකාශ කරනවා. එයින් නියෝජනය කරන්නේ මාලිමාවේ සමස්ත බහුජන ව්‍යාපාරයයි. මම ඒ මතය නියෝජනය කරන සහ ක්‍රියාකාරීව මැදිහත් වන පුද්ගලයෙක්.
පුනර්ජනනීය විදුලි උත්පාදනයට ප්‍රමුඛත්වයක් - මහාචාර්ය කිත්සිරි දිසානායක
‘‘මම විශේෂයෙන්ම අපේ ආර්ථිකය පිළිබඳව කෙටි පැහැදිලි කිරීමක් කරන්නම්. වසරක අපේ ආර්ථිකයේ සමස්ත වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන අසූ හතරක් පමණ වෙනවා. මහ බැංකු වාර්තා අනුව එහි වෙනස්කමක් තිබෙන්නත් පුළුවන්. මේ ආර්ථිකයෙන් සාමාන්‍යයෙන් ඩොලර් බිලියන විස්සක පමණ ආනයනයක් පවතින අතර, ඩොලර් බිලියන දෙළහක පමණ අපනයනයක් පවතිනවා. විදේශ වෙළෙඳාමේ හිඟය ඩොලර් බිලියන අටක් වීමේ වෙනස පියවා ගන්න විදේශ ශ්‍රමික ප්‍රජාවගෙන් ලැබෙන ආදායම ප්‍රධාන වශයෙන් යොදා ගන්නවා. අපේ අනෙකුත් අපනයනවල ආදායම් ඒ හිඟය පියවා ගන්න ප්‍රමාණවත් නැහැ. මොරටුව විශ්වවිද්‍යාලය තාක්‍ෂණ ක්‍ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටිමින්, ඉංජිනේරු විෂය ක්‍ෂේත්‍ර දොළහක පමණ උපාධි පාඨමාලා පවත්වාගෙන යනවා. ආර්ථිකය ගොඩනැගීමට මෙයින් ලබා දෙන දායකත්වය පිළිබඳව පුළුල් අවධානයක් යොමු කළ යුතුයි.
අපේ ආනයන වියදමෙන් සියයට විසි පහක් පමණ වැය වන්නේ පොසිල ඉන්ධන ආනයනය කිරීමට. අපේ විදුලිය නිෂ්පාදනයෙන් සියයට හැටක් පමණ ආනයනික තෙල් සහ ගල්අඟුරු මත පදනම් වෙනවා. වාර්ෂිකව විදුලිය ගිගා වොට් පැය දහසය දාහක් පමණ පාවිච්චි කරනවා. එයින් සියයට හැටක් පමණ ගල්අඟුරුවලින් සහ තෙල්වලින් නිෂ්පාදනය වන අතර, ඒ වෙනුවෙන් ඩොලර් බිලියන හ.යි දශම පහක් පමණ වැය වෙනවා. මේ වියදම ඉතිරි කර ගැනීමේ ක්‍රමවේද තිබෙනවා. සුළඟ සහ සූර්යාලෝකය යොදා ගනිමින්, විශාල විදුලි ජනනයක් සිදු කළ හැකියි. සාමාන්‍ය ජනතාවට වුවත්, පුනර්ජනනීය බලශක්තියට යොමු වී කටයුතු කරන්න පුළුවන්. අනුර කුමාර සහෝදරයාගේ නව රජය යටතේ මේ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර රජයෙන් සහන ලබා දී පුනර්ජනනීය විදුලි උත්පාදනයට ප්‍රමුඛත්වයක් ලබා දෙනවා.
අනාගතයේ පැහැදිලි ආර්ථික වර්ධනයක්
ඊට අමතරව රට තුළ විශාල ඛනිජ සම්පත් ප්‍රමාණයක් පවතිනවා. මුහුදට අපි තවම අත තියලාවත් නැහැ. පුල්මුඩෙයි ඛනිජවැලි, පරන්තන් රසායනික ද්‍රව්‍ය කම්හල යනාදි ප්‍රභව මුල් කරගෙන අපේ ආර්ථිකයට තවත් සියයට දහයක පමණ දායකත්වයක් ලබාගත හැකියි. ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති මාලාවේ මේ සම්බන්ධයෙන් කරුණු දැක්වෙනවා. අනාගතයේ ඉතාමත් පැහැදිලි ආර්ථික වර්ධනයකට යාමේ හැකියාව තිබෙනවා. පසුගිය ආණ්ඩු යටතේ මම ආයතන ගණනාවක සේවය කර තිබෙනවා. පෙර සිටි ජනාධිපතිවරුන් දෙදෙනකුට මේ සම්බන්ධයෙන් මම පැහැදිලි කිරීම් කළත්, අදාළ කිසිම ක්‍රියාමාර්ගයකට යොමු වුණේ නැහැ. විශ්වවිද්‍යාල ප්‍රජාව විදියට අපේ ආර්ථිකය ගොඩනඟා ගැනීම සඳහා විශාල වගකීමක් තියෙනවා. ඒ අතුරින් මොරටුව විශ්වවිද්‍යාලය හැටියට අපි අනුර කුමාර සහෝදරයාගේ රජයට ඇප-කැප වී සහයෝගය ලබා දීමට, ක්‍රියාකාරී දායකත්වය ලබා දීමට සූදානම් බව ප්‍රකාශ කරනවා.’’
අපේ මැදිහත් වීමට හේතු
අපි මේ අවස්ථාවේ සූදානම් වන්නේ දේශපාලන වශයෙන් රට ගෙන යන්න නායකයෙක් තෝරා ගන්න. එවැනි නායකයකුගේ තිබිය යුතු ගුණාංග, දක්‍ෂතා සහ හැකියා, කුසලතා, උපායශීලී කළමනාකාරීත්වය, පෞරුෂය වාගේ ගුණාංග මේ නායකයන්ගේ තිබෙන්නේ කොහොම ද කියලා සලකා බැලීම ඉතාම අවශ්‍යයි. මෙතැනට රැස් වී ඉන්නේ අවුරුදු ගණනක් විශ්වවිද්‍යාලවල ඉගෙනගෙන, උපාධිය ලබාගෙන ඉන්පසුව ආචාර්යවරුන් ලෙස දැනුම සොයා ගැනීමට සහ බෙදාහැරීමට විවිධ රට රටවලට පවා ගොස් තිබෙන අයයි. එවැනි රටක් බවට මේ රට පරිවර්තනය කරමින්, ජීවත් වීමේ අපේක්‍ෂාවක් අපට තිබෙනවා. අපේ විෂයය පැත්තෙන් අපි ඉහළට ගියත්, මේ රට ඉහළට ගෙන යන්න දේශපාලනඥයන් ක්‍රියා කර නැහැ. ඒ නිසාම අපටත් මේ දේශපාලනය වෙනුවෙන් ක්‍රියාකාරීව මැදිහත් වන්න සිදු වී තිබෙනවා.
රනිල් නායකයෙක් ද?
ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්‍ෂකයන් පසුගිය කාලය පුරා කතා කළ සහ ක්‍රියා කර ඇති ආකාරය සම්බන්ධයෙන් විමසා බැලුවාම මේ රටේ සමස්ත ජනතාවගේ සිහිනය සැබෑ කිරීමේ හැකියාව සම්බන්ධයෙන් විශ්ලේෂණාත්මකව තක්සේරු කිරීම අවශ්‍යයි. ඒ අතුරින් රනිල් වික්‍රමසිංහ කතා කරන දේවල් බැලුවාම මට නම් හිතෙන්නේ ඔහු තවමත් අතීතයේ ඉන්න බවයි. පෝලිම් යුගයක් තිබුණු එක්දහස් නමසිය හැත්තෑ හතේ කාලයට පෙර තිබුණු තත්වය නැති කර ඇට රාත්තල් අටක් දෙන බව කියලා ජේ. ආර්. ජයවර්ධන හයෙන් පහක බලයක් ගත්තා. ඉන් පසුව ජේ. ආර්. ජයවර්ධන විධායක ජනාධිපති වී රනිල් වික්‍රමසිංහ එදා ඉඳලා ම අවුරුදු හතළිස් හතක් පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඔහු අද කියන්නේ රටක් ගොඩනඟනවා කියලා නොවෙයි. පෝලිම් යුගය නැති කරනවා; ගෑස් දෙනවා; තෙල් දෙනවා කියන කතාවයි. එහෙම නම්, ඔහු නායකයෙක් නොවෙයි.
පිය උරුමයේ අරුමය
තව දෙන්නෙක් තමන්ගේ පිය උරුමයෙන් අපේක්ෂකත්වයට ඇවිත් ඉන්නවා. තමන්ගේ හැකියාව, දක්‍ෂතාව, කුසලතාව පෙන්වා නැහැ. ඔවුන්ගේ අධ්‍යාපනය පිළිබඳවත් ගැටලු තිබෙනවා. ඔවුන් කියන්නේ තමන්ගේ පියවරුන් ගෙන ආ දේවල් ඉදිරියට ගෙන යන බවයි. මෙවැනි පසුබිමක තමයි, ජාතික ජන බලවේගයේ නායක, අනුර කුමාර දිසානායක සහෝදරයා ගැන අපි කතා කරන්නේ. ඔහු ඈත ගමක ඉපදී, දුෂ්කරතා විඳගනිමින්, දක්‍ෂතාව සහ කුසලතාව නිසාම කැලණිය විශ්වවිද්‍යාලයට පැමිණ ශිෂ්‍ය සංගමයට නායකත්වය දී ජනතා විමුක්ති පෙරමුණේ ශිෂ්‍ය අංශයේ නායකයා ලෙස පත් වෙනවා. ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයට පත් වෙනවා ය කියන්නේ දක්‍ෂතාව සහ කුසලතාව කොපමණ තිබෙන්න ඕනෑද යන්න පැහැදිලියි. පාර්ලිමේන්තු මැතිවරණයේදී ලැබුණු ඡන්ද ප්‍රමාණය සියයට තුන දක්වා පහත වැටුණත්, ඔහුගේ කළමනාකාරීත්වය තුළින් අධිෂ්ඨානශීලීව ගමන් කළ යුත්තේ කෙසේදැයි පෙන්වා දී තිබෙනවා.
සංවිධාන ගොඩනැංවීමෙන් ඉක්බිති
වෙනම බලවේගයක් නිර්මාණය කර ගනිමින්, මේ මහා ජනතා ප්‍රසාදය ලබාගෙන තිබෙන්නේ මුලින්ම ජාතික විද්වත් සංවිධානය ගොඩනගා, එයින් ආරම්භ කළ ගමනින්. ලංකාවේ විවිධ ක්‍ෂේත්‍රවල පිරිස් සංවිධානය කරමින්, විදේශගත ශ්‍රී ලාංකිකයන් පවා දහස් ගණන් එකතු කර තිබෙනවා. ‘අදිටන’ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකය ගොඩනැගුවා. ‘ගැහැනු එකමිටට’ සංවිධානය ගොඩනැගුවා. මේ විදියට විවිධ ක්‍ෂේත්‍රවල සංවිධාන පිහිටුවා, සාමුහික සංවිධාන සහ ක්‍රියාකාරකම් දේශපාලනයට ඇතුළත් කර ගත්තා. එහි අවසානය ලෙස ‘පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්’ කියන ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදක්වා සාමුහිකව රට ගොඩනඟන ආකාරය පෙන්වා දී තිබෙනවා. මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව රට ගොඩනඟන්න සියලු දෙනා එක් වන ලෙස අපි ජනතාවට ආරාධනා කරනවා.’’
විශ්වවිද්‍යාලය යනු කුමක් ද...?
‘‘අපි නිදහස ගත් කාලයේ ඉඳලා මේ දක්වා ගත කළ දුර්දාන්ත යුගය නිමා කර නව පුනරුද යුගයක් කරා පියමනින්න එළැඹෙන ජනාධිපතිවරණයෙන් පසුව සූදානමින් සිටිනවා. රටක ජීවනාලිය අධ්‍යාපනය වුවත්, රට පාලනය කළ ආණ්ඩු ඒ වෙනුවෙන් වෙන් කළ මුදල් දිගින් දිගටම කප්පාදු කර තිබෙනවා. පාසල් අධ්‍යාපනයෙන් තේරීපත් වී විශ්වවිද්‍යාලවලට එන සියයට අටක් පමණ පිරිසට ලබා දෙන අධ්‍යාපන පාඨමාලා ලෝකය හා සම්බන්ධ වනවා වාගේම අපේ රටට ගැළපෙනවාද කියන ප්‍රශ්නය පවතිනවා. රැකියා විරහිත උපාධිධාරීන් ලෙස විරෝධතා ව්‍යාපාරවල නියැළී සිටින්න ඔවුන්ට සිදු වී තිබෙනවා. විශ්වවිද්‍යාලය කියන්නේ අධ්‍යාපනය ලබා දෙන තැනක් පමණක් නොවෙයි, ආර්ථිකය හා සම්බන්ධ ආයතනයක්. මේ ගුණාංගය ගැන පාලකයන් කිසිම අවධානයක් යොමු කර නැහැ. පර්යේෂණ සහ සංවර්ධනය ගැන අවධානයක් විශ්වවිද්‍යාල තුළ යොමු කර ඇත්තේම නැහැ. රටේ අවශ්‍යතාව සම්බන්ධයෙන් කිසිම අවධානයක් යොමු කර නොතිබුණත්, ජාතික ජන බලවේගය විශ්වවිද්‍යාල තුළින් රටේ අවශ්‍යතා සම්බන්ධව පර්යේෂණ සිදු කිරීම, සම්පත් කළමනාකරණය, සම්පත්වල තිරසර පැවැත්ම යන අංශ සියල්ල සලකා බලනවා.
වසර හැත්තෑහයකට පසු...
පාසලේ ඉඳලාම අනාගතය ගැන හීන දකින දරුවන් තරගකාරී අධ්‍යාපනය නිසා සාමාන්‍යපෙළ සහ උසස්පෙළ විභාගවල දී හීනයක්වත් නැති කර එළියට ඇද දැමෙනවා. අධ්‍යාපනය කියන්නේ රටක අවශ්‍යතාව අනුව ශ්‍රම බළකායක් නිර්මාණය කිරීම නම්, මේ දක්වා ඒ සම්බන්ධයෙන් කිසිදු දැක්මක් සහිත ක්‍රියාමාර්ගයක් අනුගමනය කර නැහැ. පවතින පාසල් සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනයත් ප්‍රායෝගික ක්‍රියාකාරකම්වලට ඉඩක් ලබා දී නැහැ. අද ලෝකය න්‍යායික සහ ප්‍රායෝගික යන දෙඅංශයේ ම සමබරතාවෙන් යුතුව නවීන අධ්‍යාපනයක් ඉල්ලා සිටිනවා. ජාතික ජන බලවේගය නවය වසරේදී දරුවාගේ හැකියාව සහ දක්‍ෂතාව අනුව අධ්‍යාපනය වෙනුවෙන් දරුවන් යොමු කිරීමේ කඩඉමක් ලෙස යොදා ගන්නවා. ප්‍රායෝගික අංශයෙන් ඉදිරියට ගිය දරුවකුට වුවත්, උසස්පෙළ සමත් වී විශ්වවිද්‍යාලයකට යනවාද, නැත්නම්, ශ්‍රම බළකායට එක් වනවාද යන්න තෝරා ගන්න පුළුවන්. අද වන විට ලංකා ඉතිහාසයේ කවරදාකවත් නොදැක්ක තරම් බුද්ධි ගලනයක් සිදු වෙනවා. අවුරුදු හැත්තෑහයකට පස්සේ අපි අත්දකින්නේ මෙවැනි දෙයක් නම්, රට වැටී තිබෙන අගාධයෙන් ගොඩගෙන දරුවන්ට අනාගතයක් ගොඩනැගිය යුතුයි. ඒ වෙනුවෙන් ජාතික ජන බලවේගය කෙරෙහි විශ්වාසය තබා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ලෙස මේ ආකාරයෙන් ඒකරාශී වී සිටිනවා.
මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු
විශ්වවිද්‍යාල ආචාර්යවරු මේ ආකාරයෙන් ඒකරාශී වී ජාතික ජන බලවේගය සම්බන්ධයෙන් කතා කළත්, අපි විශ්වාසයක් තබා ගන්නේ කොහොමද?
‘‘ජාතික ජන බලවේගයට ඉතිහාසයක් තිබෙනවා. ඒ ඉතිහාසය තුළ ක්‍රියා කර ඇත්තේ, කවර ආකාරයෙන්ද යන්න අධ්‍යයනය කිරීමෙන් ඒ විශ්වාසය ඇති කරගත හැකියි. ඒ වාගේම ජාතික ජන බලවේගය ඉදිරිපත් කර තිබෙන ප්‍රතිපත්ති ප්‍රකාශනය අධ්‍යයනය කරන්න පුළුවන්. අපි සහ ජනතාව දෙගොල්ලො ම එක් වී මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කර තිබෙන්නේ මේ සමාජය දැවැන්ත පරිවර්තනයකට ලක් කිරීම සඳහායි. ජනාධිපති අපේක්‍ෂක අනුර කුමාර සහෝදරයා ක්‍රියා කර තිබෙන ආකාරයත් මෙහිද වැදගත් වෙනවා. පවතින ජරාජීර්ණ වූ දේශපාලනය සමඟ සංසන්දනය කළාම ජාතික ජන බලවේගය හැර වෙනත් දේශපාලන ව්‍යාපාරයක් අපට නැහැ.’’
ආර්ථිකය කඩාවැටෙන කොටත් ඔබලා මේ රටේ ජීවත් වුණා. දැන් රට ගොඩනගන බව කියන්නේ කොහොම ද?
‘‘රට කඩාවැටෙන කොටත්, ජනතාව වාගේම අපටත් මේ රටේ ජීවත් වීම හැර වෙනත් ජීවත් වෙන්න තැනක් අපට නැහැ. දේශපාලන පරිවර්තනයක් සිදු කරනවා කියන්නේ පිටින් පිරිසක් ඇවිල්ලා කරන දෙයක් නොවෙයි. පවතින අයහපත් තත්වය අභ්‍යන්තරයෙන්ම ඇවිත් සිදු කරන දෙයක්. අවුරුදු හතළිස් අටක් නොවෙයි, හැත්තෑ හයක් පුරා හෝ අපේ ජීවිත කාලය තුළ අපි මේ රටේ සිටි අය. අපි හැමෝම අත්දැකීම් ලබලා, තේරුම් ගනිමින්, සාකච්ඡා කරමින්, යම් ක්‍රියාවලියක් තුළ යෙදී සිටියා. මේ රටේ ගැඹුරු දේශපාලන පරිවර්තනයක් සිදු කළ යුතුයි කියන සාකච්ඡාව දිගු කාලයක් පැවැතුණා. ඒ වාගේම විවිධ ආකාරයේ අත්හදා බැලීම්, ප්‍රවේශයන් ගෙන තිබුණා.
නමුත්, පසුගිය කාලයේ අපේ රට තීරණාත්මක සන්ධිස්ථානයකට ආවා. ස්වේච්ඡා ජනතා නැගිටීමක් සිදු වුණා. විශාල බලයක් සහිතව පත් කර ගත් ජනාධිපතිවරයකුට බලය අත්හැර යන්න සිදු වුණා. ඒ වාගේම ප්‍රධාන දේශපාලන බලකඳවුරු බිඳවැටී තිබෙනවා. ප්‍රධාන දේශපාලන පක්‍ෂවල ආධිපත්‍යය ජනතාව විසින් ප්‍රතික්‍ෂේප කර තිබෙනවා. මේ සියල්ල අප කාටත් දැනෙන ප්‍රවණතා. නව දේශපාලන පරිවර්තනයක් පිළිබඳ අදහස සමාජයේ ගැඹුරින් මතු වනවා මිස ජාතික ජන බලවේගය හෝ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පිරිසක් එකතු වී කියන දෙයක් නොවෙයි. සමාජයෙන් පැනනඟින දෙයක්. විධිමත් සමීක්‍ෂණ දෙස බැලුවාම, පැහැදිලි වන දෙයක්. තවමත් ඡන්දය දෙන්නේ කාට ද කියලා මතය ප්‍රකාශ නොකළ අය වුණත්, පවතින සමාජය පිළිබඳව දැඩි ප්‍රතික්‍ෂේප කිරීමක් සහ කලකිරීමක් ප්‍රකාශ කර තිබෙනවා. ජාතික ජන බලවේගයට සහයෝගය නොදෙන හිටපු ජනාධිපතිවරිය පවා ප්‍රකාශ කර තිබුණේ, ඉදිරියේදී ඡන්දය දීමේ දී පසුගිය ජනතා අරගලයෙන් මතු වූ අදහස් පිළිබඳව සැලකිලිමත් වන ලෙසයි. එයින් කියවෙන්නෙත්, පවතින ක්‍රමයේ වෙනස් කිරීමක් පිළිබඳ මූලික අවශ්‍යතාවයි. සමාජයෙන් ලැබෙන මේ සංඥාව පිළිබඳව අර්ථකථනය කර ගැනීමේ හැකියාවක් තිබිය යුතුයි. අපි මතු කරන ප්‍රධාන අදහස ඒකයි.’’
වංචා, දූෂණ පිළිබඳව ෆයිල් පෙන්වමින්, කරුණු හෙළි කළත්, මේ වන තුරුත් ඒ සම්බන්ධයෙන් කිසිවකුත් අධිකරණයට ඉදිරිපත් කර දඬුවම් ලබා දී නැහැ. ඉතින්, කොහොම ද දැන් කියන දේවල් විශ්වාස කරන්නේ ?
‘‘විශ්වාස කරන්න මෙතැන තිබෙන්නේ ආගමික කටයුත්තක් නොවෙයි. ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක්. ප්‍රජාතන්ත්‍රවාදයේ දී සිදු වන්නේ මේ ලබා දී තිබෙන ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව ක්‍රියා කර නැත්නම්, ජනතාවට නැවතත් තීරණයක් ගන්න අවස්ථාව උදා වෙනවා. අපි හැමෝම පිළිගන්න දේ තමයි, මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයක් තිබෙන බව. එම ආණ්ඩුකරණය තීරණය වන්නේ වරින්වර පවත්වන මැතිවරණවලින්. ප්‍රතිපත්ති ප්‍රකාශනයක් කියන්නේ නීතිමය ලියැවිල්ලක් නොවුණත්, එය ජනතාව සමග තිබෙන සම්මුතියක්. ජනතා නියෝජිතයන් වීම සඳහා ඉදිරිපත් වන අපේක්‍ෂකයන් සහ ජනතාව අතර ඇති වන සම්මුතිය තමයි, ප්‍රතිපත්ති ප්‍රකාශනය කියන්නේ. ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මූලික කරුණු ක්‍රියාත්මක කිරීමට බැඳී සිටිනවා. එය විශ්වාසය පිළිබඳ ප්‍රශ්නයක් නොවෙයි. මූලික බැඳීමක්. ඒ බැඳීම ඉෂ්ට කරන්නේ නැත් නම්, එම බැඳීම කඩනවා නම්, ජනතාව එක්කෝ ඊළඟ මැතිවරණයේ දී එහෙමත් නැත්නම්, දෙදහස් විසි දෙකේ දී සිදු වුණා වාගේ ජනතා නැගිටීමකින් ඉවත් කරනවා. එය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක මූලික ලක්‍ෂණයක්.
අපට ඔය ප්‍රශ්නය මතු වන්නේම අවුරුදු හැත්තෑහයක් සිටි පාලක කල්ලි දෙක රට ගෙනැවිත් තිබෙන තැන නිසයි. එය නැවත කියවා ගැනීමට අවශ්‍ය නම්, දෙදහස් විසි දෙකේ අරගලයේ දී මතු වූ සටන් පාඨ පිළිබඳව අවධානය යොමු කරන්න ඕනෑ, රටේ සමස්ත ජනයා නැගීසිටිමින්, ගෙන ආ සටන් පාඨ තිබෙනවා. මේ දෙගොල්ලන්ම එක් පාර්ශ්වයක් බවත්, විනාශයට ඔවුන් වගකිව යුතු බවත්, ඒ සටන් පාඨවල තිබුණා. ඒ වාගේම එම පාර්ශ්ව විසින් ගෙනැවිත් තිබෙන්නේ මේ මොහොතේ ඡන්දය ලබා ගැනීමේ අරමුණ සහිත යම් රැවටිලිකාරී පොරොන්දු මාලාවක්. නමුත්, ජාතික ජන බලවේගයේ තිබෙන්නේ ක්‍රියාත්මක කළ හැකි ප්‍රතිපත්ති මාලාවක්.
සහභාගිත්වය
1. ආචාර්ය දිලීප විතාරණ - ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය
2. මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි - කොළඹ විශ්වවිද්‍යාලය
3. මහාචාර්ය කිත්සිරි දිසානායක - මොරටුව විශ්වවිද්‍යාලය
4. ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජනහා සෙල්වරාජ් මහත්මිය - ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය
5. ආචාර්ය ප්‍රියන්ත ප්‍රනාන්දු - කැළණිය විශ්වවිද්‍යාලය
6. ආචාර්ය සකුරා බෝගොඩ - ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
7. මහාචාර්ය රොහාන් ප්‍රනාන්දු - ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය
8. මහාචාර්ය ජනක් කුමාරසිංහ - ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
9. මහාචාර්ය අනිල් ජයන්ත - ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
10. ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සිතුමිණි රත්නමලල - මොරටුව විශ්වවිද්‍යාලය
11. කථිකාචාර්ය විජිත පණ්ඩිතසේකර - මොරටුව විශ්වවිද්‍යාලය
12. ආචාර්ය චමින්ද සමරසූරිය - මොරටුව විශ්වවිද්‍යාලය
13. ආචාර්ය ආර්. ඩබ්ලිව්. ද මැල් - ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
14. ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පී. සෙනෙවිරත්න - ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය
15. මහාචාර්ය වසන්ති මදුරප්පෙරුම - කැළණිය විශ්වවිද්‍යාලය
16. ආචාර්ය තුෂාර රත්නායක - මොරටුව විශ්වවිද්‍යාලය
17. ආචාර්ය දේශානි හෙට්ටිආරච්චි - ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
18. මහාචාර්ය ලලිත් චන්ද්‍රලාල් - ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
19. මහාචාර්ය චාමර ද අල්විස් - කැළණිය විශ්වවිද්‍යාලය
20. ආචාර්ය කෝසල බණ්ඩාර - ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය
21. කථිකාචාර්ය මනිෂ වරුෂවිතාන - ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය
22. ආචාර්ය උත්පලා ජයවර්ධන - ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය
23. ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නේලක ශ්‍යාමල් හපුආරච්චි - ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය
24. ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රමිදු පෙරේරා - ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය
25. කතිකාචාර්ය ශාන්ත පුහුල්වැල්ල - ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
26. ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඩී. එස්. පී. ජයසූරිය - ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
27. මහාචාර්ය සීතා බණ්ඩාර - කැළණිය විශ්වවිද්‍යාලය
28. මහාචාර්ය උදයංග හේමපාල - මොරටුව විශ්වවිද්‍යාලය
29. මහාචාර්ය කිත්සිරි දිසානායක - මොරටුව විශ්වවිද්‍යාලය
30. මහාචාර්ය ඊ. දයාරත්න - ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
31. ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එච්. එම්. අමින්ද ලක්මාල් - ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
(සටහන - ජයසිරි අලවත්ත)