හිසරදයත් නොමිලේ දෙන්න යන සජිත්ගෙන් රටට අනාගතයක් උදා කරගත නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසී ය.
රටේ මීළඟ ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීමේ දී ජනතාව බුද්ධිමත්ව කටයුතු කළ යුතු බව පැවසු ජනාධිපතිවරයා, ජනතාව නිවැරදි තීරණයක් නොගතහොත් රට තුළ යළිත් ආර්ථික අර්බුදයක් හටගනු ඇති බව ද අවධාරණය කළේය.
ජනාධිපතිවරයා මෙලෙස පැවසුවේ ඊයේ (11) අම්පාර, සායින්දමරදු හි පැවති ජන රැලියේ දී ය.
එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා...
මම ඉදිරිපත් වෙන්නෙ ආර්ථිකය ශක්තිමත් කරන්න
'' මම මේ ජනපතිවරණයට ඉදිරිපත් වන්නේ ජාතිය හෝ ආගම මුල් කර ගනිමින් දේශපාලනය කරන්නට නෙවෙයි. මම ඉදිරිපත් වෙන්නෙ රටේ ආර්ථික ප්රශ්නය විසඳන්න; වෙළඳාම සහ ගොවිතැන ආරක්ෂා කරමින් ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරන්න. හිසරදයත් නොමිලේ දෙන්නම් කියන සජිත් වැනි නායකයන්ගෙන් රටට අනාගතයක් නෑ. මම රට ගොඩනගන්නේ විද්‍යානුකූල සැලසුම් අනුවයි. ඒ කට්ටිය මුලින් බය වෙලා දුවලා දැන් ඒ අයගේ අනාගතය ගැන සිතමින් ජනාධිපති වෙන්න හදනවා. මගේ ගෙදර ගිනි තබද්දි පවා මම ඔබේ අනාගතය ගැන සිතා ක්‍රියා කළා.
මහ පාරේ වසා දමා තිබූ කඩ සියල්ල මේ ආර්ථිකය සමග විවෘත කර තිබෙනවා. එය තාවකාලිකව තත්ත්වයක් වුණත් ජනපතිවරණයෙන් ලබන වරමින් පසු ස්ථාවර ආර්ථිකයක් අප ගොඩ නගනවා.
''වෙළෙඳාමයි, ගොවිතැනයි නැති වුණොත් මුස්ලිම් ජනතාව ඉවරයි''
මුස්ලිම් ජනතාවට තිබුන ප්‍රධාන ප්රශ්නය මම විසඳලා දුන්නා. ඔවුන්ට භූමදාන කිරීමේ අයිතිය නීතියෙන් අරන් දෙනවා. අනෙක් අය මේවා ගැන කතා කරන්නේ ඡන්ද සමයේ. මම කතා කරන්නේ ඡන්දෙ කාලෙ නෙවෙයි. මම මෙහාට ඇවිත් තියෙන්නේ වැඩේ ඉවර කරලා. ආගම ගැන කතා කරද්දි එය එක කාරණයක් විතරයි. මුස්ලිම් ජනතාව වෙළඳාම් කරනවා; ගොවිතැන් කරනවා. වෙළඳාම සහ ගොවිතැන නැති උනොත් මුස්ලිම් ජනතාව ඉවරයි. වෙළඳාම ගොවිතැන දියුණු කරන්න පුළුවන් කාටද කියල මුස්ලිම් කොංග්‍රසයෙන් අහන්න. තමන්ගේ අනාගතය ගැන හිතන්න. ඒ ගැන හිතල ඡන්දය දෙන්න.
ජීවන බර වැඩියි කියනවා. හරි මමත් පිළිගන්නවා. රුපියල තව ශක්තිමත් කරලා ඊළඟ අවුරුද්දේ ජීවන බර තවත් සැහැල්ලු කරනවා. ජීවන බර වැඩියි කියන සජිත්ගෙනුයි, අනුරගෙනුයි අහනවා ඇයි මේක භාරගෙන ජීවන බර අඩුකළේ නැත්තේ? ඔයාලා දුවලා ගියා. මට භාරදුන්නා. දැන් මම භාරගත්ත රට ගෙනියන්නේ. ඉතින් ඔයාලට ද ආපහු ආර්ථිකය භාරදෙන්නේ.
කොච්චර අමාරු වුණත් 2022, 2023 යල කන්නයේ, 2023 මහ කන්නයේ, 2023 - 2024 යල කන්නයේ, 24 මහ කන්නයේ ඔක්කෝගෙන්ම සල්ලි හම්බවුණා. ඊළඟ යල කන්නයටත් සල්ලි හම්බවෙනවා. මම ලෝක බැංකුවට කතා කරලා, සමන්තා පවර්ට කතා කරලා වැඳලා මේ ගත්ත පොහොරවලින් ඒක දීලා තිබුණේ. ඒ වෙලාවේ කොහේ ද සජිත් හිටියේ, කොහේද මුස්ලිම් කොංග්‍රසය හිටියේ. ඔයගොල්ලන්ට ද ඡන්දේ දෙන්නේ. ඉල්ලෙයි...ඉල්ලෙයි...එහෙම නම් අනාගතය දිහා බලලා සැප්තැම්බර් 21 ගෑස් සිලින්ඩරය ළඟින් කතිරේ ගහන්න. නැත්නම් ගෑසුත් නෑ, අනගතයත් නෑ."
(සටහන - ජයසිරි අලවත්ත)