ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය ඔක්තෝබර් 26 වෙනිදා පැවැත්වීමට දින නියම කර තිබේ.
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළ ව නාමයෝජනා භාරගැනීම ඉකුත් 09 වනදා ආරම්භවූ අතර එය අද (12) මධ්‍යහ්න 12න් අවසන් කෙරුණි.
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා “ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය“ සහ ස්වාධීන කණ්ඩායමක් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වූ බව ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී, දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ. ධර්මසිරි පැවැසීය.
නාමයෝජනා පත්‍රයේ සාමදාන විනිශ්චයකරුවකු අත්සන්කර නොතිබීම, තරුණ අපේක්ෂකයන් සංඛ්‍යාව ප්‍රමාණවත් පරිදි ඇතුළත් කර නොතිබීම යන කාරණය මත ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වී තිබේ.
නියමිත අපේක්ෂකයන් සංඛ්‍යාව ඇතුළත්කර නොතිබීම, නාමයෝජනා පත්‍රයේ නම් සඳහන් ඇතැම් අපේක්ෂකයන්ගේ අත්සන් යොදා නොතිබීම, සාමදාන විනිශ්චකාරවරයකුගේ අත්සන යොදා නොතිබීම, තරුණ හා කාන්තා නියෝජනය ප්‍රමාණවත් පරිදි ඇතුළත් කර නොතිබීම නිසා ස්වාධීන කණ්ඩායමේ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කෙරුණු බවද තේරීම්භාර නිලධාරිවරයා පැවැසීය.
මේ අනුව, ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා තරග කිරීමට අදාළව දේශපාලන පක්ෂ අටක සහ ස්වාධීන කණ්ඩායමක නාමයෝජනා පත්‍ර පිළිගත් බවද තේරීම්භාර නිලධාරිවරයා කීවේය.
මෙම ප්‍රාදේශීය සභාව සඳහා තරග කිරීම දේශපාලන පක්ෂ දහයක් සහ ස්වාධීන කණ්ඩායම් දෙකක් ඇප තැන්පත් කළද නාමයෝජනා බාරදීමට පැමිණියේ දේශපාලන පක්ෂ නවයක් සහ ස්වාධීන කණ්ඩායම් දෙක පමණක් බවද ඔහු පැවැසීය.
ප්රජාතන්ත්රවාදී ජනතා කොංග්‍රසය නාමයෝජනා පත්‍ර බාරදීමට නොපැමිණි බවද තේරීම්භාර නිලධාරිවරයා පැවසුවේය.
මේ අනුව,
1- ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව)
2- ජාතික ජන බලවේගය (මාලිමාව)
3- ජනසෙත පෙරමුණ (කොඩිය)
4- සමගි ජන බලවේගය (දුරකථනය)
5- පොදුජන එක්සත් පෙරමුණ (පුටුව)
6- පොදුජන එක්සත් නිදහස් සන්ධානය (කුසලානය)
7- දෙවන පරපුර (හිරු)
8- ජාතික ජනතා පක්ෂය (විදුලි බුබුල) සහ
9- ස්වාධීන කණ්ඩායමක් ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට තරග කිරීමට නියමිතය.