ඉන්දියානු රජයේ වුවමනාවට ලංකාවේ බලශක්ති ස්වාධිපත්‍යය අදානිට පාවාදීම සඳහා ලංකාවේ ආණ්ඩුව ගිවිසුම් ගතවෙමින් සිටින බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පැවසී ය.
එම පක්ෂය මෙසේ ප්‍රකාශ කළේ පෙරේදා (11) දින සිය කාර්යාලයේ දී පැවැත්වූ විශේෂ මාධ්‍යය හමුවක දී ය.
එම මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්රචාරක ලේකම් දුමින්ද නාගමුව...
වසර 25කට අදාළ ගිවිසුමක්
‘‘බංග්ලාදේශය මේ වෙද්දි ඉන්නෙ දැවැන්ත ආර්ථික අර්බුදයක. ඒ ආර්ථික අර්බුදය තමයි හසීනාගේ පාලනය පන්නා දැමීමට අදාළ අරගලයට හේතුවුනෙත්. දැන් බංග්ලාදේශය මුහුණ දීලා ඉන්න බලශක්ති අරබුදයත් මේ ආර්ථික අර්බුදයේ ම එක් පැතිකඩක් විදිහට තමයි පෙන්වන්න වෙන්නෙ. බංග්ලාදේශයේ සමස්ත බලශක්ති අවශ්‍යතාවයෙන් සියයට එකොළහක් පමණ ලබාගන්නේ විදෙස් රටවලින් ආනයනය කිරීම හරහා. ඉන්දියාවේ අදානි සමාගම තමයි මෙයින් වැඩි ප්‍රමාණයක් අත්පත්කරගෙන ඉන්නෙ. අදානි සමාගම එක්ක ඉන්දියාව දෙදහස් දාහත අවුරුද්දේ ගිවිසුමක් අත්සනක් කරා. මේ ගිවිසුම අනුව වසර විසි පහක් වෙනකල් බංග්ලාදේශය මේ සමාගමෙන් බලශක්තිය මිලදී ගත යුතුයි. මෙහෙම ගිවිසුම් අත්සන් කරාම ඇතිවන ප්රශ්නය තමයි රටේ බලශක්ති අවශ්‍යතාවය සම්පූර්ණ වුනත් නැතත් එම ගිවිසුම්ගත බලශක්ති ප්‍රමාණය අදාළ කාලය තුළ මිලදී ගත යුතු වීම. මේ ගිවිසුම අත්සන් කරද්දි පවා බංග්ලාදේශයේ ආර්ථික විශේෂඥයන් මේකට විරුද්ධ වුණා.
බංග්ලාදේශයේ ණය බර
ඔන්න දැන් ඩොලර් බිලියනයකට ආසන්න ප්‍රමාණයක බිල් බංග්ලාදේශය විසින් මේ රටවලට ගෙවන්න තියනවා. මේ අතරින් මිලියන හාරසිය අනූ දෙකක බිලක් ඉන්දියාවේ අදානි සමාගම වෙත ගෙවිය යුතුයි. මේ ගිවිසුමට අනුව බංග්ලාදේශය විසින් අදානි සමාගමට මිලියන අනුවක් අනූ පහක් අතර ප්‍රමාණයක් මාසිකව ගෙවන්න ඕන. එහෙත් ආර්ථික අර්බුදය එක්ක මේ ගෙවීම් වෙලා තියෙන්නෙ මාසිකව මිලියන හතළිහක් හතළිස් පහක් අතර ප්‍රමාණවලින්. මේ හිරවීම තමයි දැන් ඉන්දියාවේ අදානි බංග්ලාදේශයේ බලශක්ති ස්විච් එක ඕනෑම මොහොතක ඕෆ් කරන්න පුළුවන් තැනට ගෙනල්ලා තියෙන්නෙ. දැන් මෙතන තියන ප්‍රශ්නෙ තමයි ගිය අවුරුද්දේ බංග්ලාදේශයේ සියලු බලාගාර උපරිම ධාරිතාවයෙන් ක්‍රියාත්මක කරා නං ඔවුන්ට මෙගාවෝට් විසි හතර දහස් නමසිය එකොළහක ප්‍රමාණයක් ලැබෙනවා. හැබැයි දෙදහස් විසිතුනේ අවුරුද්දේ මෙගාවෝට් දොළොස් දහස්අටසිය අසූ හතක ධාරිතාවයක් තමයි ක්‍රියාත්මක වෙලා තියෙන්නෙ. තෙල්, ගෑස් සහ ගල් අඟුරු ආශ්‍රිතව තමයි බංග්ලාදේශයේ බලශක්ති නිෂ්පාදනය සිදු වෙන්නේ.
මෝදිගේ මැදිහත් වීම
මේකට ආසන්න අත්දැකීමක් තියනවා නේපාලේ. අපි දන්නවා පහුගිය කාලේ නේපාලේ විශාල විදුලිබල නිශ්පාදනයක් වුනත් ඉන්දියානු ගිවිසුම් නිසා ඔවුන්ට ඉන්දියාවෙන් විදුලිය මිලදී ගන්න වුණා. දැන් ඒ තත්ත්වයම තමයි බංග්ලාදේශයට වෙලා තියෙන්නෙ. අදානිට අයිති බලාගාර ඉදිවෙලා තියෙන්නෙ ඉන්දියාව ඇතුළෙ. හැබැයි නීතියට අනුව මේ බලාගරවලින් ලැබෙන බලශක්තිය ඉන්දියාව ඇතුලෙ බෙදාහරින්න බෑ. ඒත් දැන් බංග්ලාදේශය විසින් අදානිට මේ බිල ගෙවාගන්න බැරුව ඉන්න තත්වයක් ඇතුලේ පසුගිය තිස්වෙනිදා ඉන්දියාවේ පනතක් සම්මත වුණා. මේ බලාගාරවලින් ලැබෙන විදුලිය ඉන්දියාව ඇතුළෙ බෙදාහරින්න අවශය පසුබිම තමයි මේ නීතිය හරහා සකස් කරල තියෙන්නෙ. මේකෙන් තේරෙනවා ඉන්දියානු පාලනය අදානිලගෙ අම්බානිලගේ සමාගම් ආරක්ෂා කරන්න කටයුතු කරනව ද කියල. මේ දූෂිත සමාගම්වලට ඔවුන්ගේ වෙළෙඳපොළ අහිමි වෙන තත්ත්වයක් ඇතුළෙ මෝදි මැදිහත් වෙනවා ඔවුන්ගේ වෙළෙඳපොළ ආරක්ෂා කරන්න. දැන් මෙතන තියන භයානක කාරණය තමයි යම් නිශ්චිත මොහොතක අදානිට පුළුවන් බංග්ලාදේශයට විදුලි සැපයුම නවත්තන්න. ප්ල්ග් එක ගලවලා ඉන්දියාවට ගහන්න විතරයි තියෙන්නෙ.
අදානිට අනුව ලංකාවේ අනාගතය
ලංකාව මෙවැනි ගිවිසුම්වලට ඇතුළත් කරන්න බලාගෙන ඉන්න පාලන තන්ත්රය වගේ ම ඉස්සරහට බලය ලබාගන්න දතකට මැදගෙන ඉන්න විපක්ෂයත් මේ ප්රශ්නය සම්බන්ධයෙන් නිහඬයි. විශේෂයෙන් සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය කිසිම දෙයක් මේ ගැන කියන්නෑ. දැන් ලංකාවට ප්ලග් එක ගහන්න දෙන්න ඕන කියන අයට කියන්න තියෙන්නෙ මේ බංග්ලාදේශයේ ඇතිවෙලා තියන තත්ත්වය බලන්න කියලා. ඒකම තමයි මේගොල්ලො ලංකාවටත් ඉදිරියේදී කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ. දැන් ලංකාවට යෝජනා කරල තියෙන්නෙ මෙගාවෝට් විසි දහසක පමණ දැවැන්ත විදුලි ව්‍යාපෘතියක්. හැබැයි ලංකාවේ බලශක්ති අවශ්‍යතාවය පවා තියෙන්නෙ මෙගාවෝට් දෙදහසක් පමණ. එහෙම තියෙද්දි තමයි මෙච්චර ලොකු ව්‍යාපෘතියක් ඉන්දියාවට පවරන්න බලාගෙන ඉන්නෙ.
ලංකාවේ බලශක්ති ස්වාධීනත්වය ඉන්දියාවට
මේකට අමතරව අපි දැක්කා පහුගිය කාලේ ඉන්දියාවෙ ඉඳලා ලංකාවට තෙල් නළයක් දාන්න කතාකරනවා. දැනටමත් ලංකාවේ පිරවුම්හල් විශාල ප්‍රමාණයක් IOC සමාගමට ලබාදීලා තියෙන්නෙ. ඒ අතරේ ත්‍රීකුණාමලේ තෙල් ටැංකි සියල්ල ඉන්දියාවට පවරන්න යෝජනා වෙලා තියනවා. ලංකාවේ ආණ්ඩුබලය ගන්න බලාගෙන ඉන්න සජිත්, අනුර දෙන්නමත් තමන්ගේ ප්‍රතිපත්ති ඇතුළෙ පිළිඅරගෙන තියෙන්නෙ මේ තෙල් ටැංකි ටික ඉන්දියාවට දෙනවා කියලා. එතකොට පැහැදිලියි මේගොල්ලො මේ ලෑස්ති වෙන්නෙ ලංකාවේ බලශක්ති ස්වාධීනත්වය සම්පූර්ණයෙන් ඉන්දියාවට පාවා දෙන්න.
මේ තත්වය මෙහෙම තියෙද්දි තමයි මන්නාරමේ මෙගාවෝට් පන්සීයක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්න කිසිඳු ටෙන්ඩර් කැඳවීමකින් තොරව ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව අවසර දුන්නෙ. අධිකරණය විසින් මේ ගිවිසුම අත් හිටවල තියෙන්නෙ. හැබැයි මෙතන අපි හොයල බලන්න ඕන කාරණයක් තියනවා. ලංකාවේ විදුලිබල මණ්ඩලය විසින් කරපු සමීක්ෂණයක් තිබුණා ලංකාවේ සුළං විදුලි බලාගාර ඉදිකිරීමට යෝග්‍ය ස්ථාන ගැන. ඒ සමීක්ෂණය මගින් යෝජනා වෙලා තිබුණෙ යාල සහ අම්පාර. ඒ තියෙද්දි තමයි මේ ව්‍යාපෘතිය මන්නාරමේ කරන්න අවසර දුන්නෙ. මේක භූ දේශපාලන අවශ්‍යතාවයේ ම කොටසක් ද කියන සැකය ඇති වෙනවා. ඒ සැකය එන්නෙ මේ නිසා.
භූමිය අත්පත්කරගැනීමේ මෙහෙයුම
පහුගිය කාලෙ යාපනය අර්ධද්වීපයේ තියන නයිනතිව්, අනනතිව් සහ ඩෙල්ෆ් දූපත්වල සුළං විදුලි බලාගාර ඉඳිකරන්න විදුලිබල මණ්ඩලය විසින් ටෙන්ඩර් කැඳෙව්වා. ඒ වෙලාවෙ අඩුම ලංසුවට ටෙන්ඩර් ඉදිරිපත් කරල තිබුණෙ චීන සමාගමක්. ඔවුන් විසින් අදාළ ටෙන්ඩර් මිලදීගෙන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න යනකොටම ලංකාවේ රජය මැදිහත් වෙලා මේ ගිවිසුම අහෝසි කරා. ඔන්න දැන් ඉන්දියාවට අවසර දෙනව මේ දූපත්වල ම අදාළ ව්‍යාපෘතිය කරන්න. හැබැයි චීනේට ගෙවන්න වෙන ප්‍රමාණයට වැඩියෙන් ඉන්දියාවට ගෙවන්න වෙනවා. එතකොට පැහැදිලියි මේ තියෙන්නෙ භූමිය අත්පත්කරගැනීමේ මෙහෙයුමක්. ලංකාවේ ආණ්ඩුව මේ කුමන්ත්රණයේ ප්‍රධාන කොටස් කරුවෙක්.
ඉන්දියාවේ බුද්ධි ප්‍රධානියා අජිත් දොවාල් ලංකාවට ඇවිල්ලා ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් වන රනිල්, සජිත්, අනුර හමු වුණා. මේ එක්කෙනෙක්වත් ජනතාවට කිව්වෙ නෑ මේ සාකච්ඡාවල දි කතා කරේ මොනවද කියලා. අපිට එතකොට පැහැදිලියි මේ අපේක්ෂකයො හැමෝම යන්නෙ ඉන්දියානු බලහත්කාරය අනුමත කරන පාරේ. ඉන්දියාවට ලංකාවෙ බලශක්ති ස්වාධීනත්වය පවරණ පාරේ. ඒ නිසා තමයි අපි රටේ ජනතාවට කියන්නෙ ඉන්දියානු මැදිහත්වීම්වලට එරෙහිව හඬ නගන ජන අරගල සන්ධානය වටා එකතු වෙන්න කියලා . කුඩය ලකුණ ඉදිරියෙන් ඡන්දය පාවිච්චි කරන්න කියලා.’’
(සටහන - ජයසිරි අලවත්ත)