theleaderlk 01

දේශපාලන වේදිකාවේ ආගම් පිළිබඳව සාකච්ඡා නොකළ යුතු යැයි ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක (AKD) පැවසී ය.


හෙතෙම එලස පැවසුවේ පෙරේදා (11) මහනුවර පැවති ජන රැලිය අමතමිනි.

ආගම පිළිබඳ NPP මතය

‘‘මම හිතන්නේ හොඳට හෝ නරකට දේශපාලන වේදිකාවේ ආගම් පිළිබඳව සාකච්ඡාවට ගත යුතු නැහැ. නමුත් මේ පාලක කණ්ඩායම්වල ප්‍රයත්නය වී තිබෙන්නේ නැවත නැවත වේදිකාවට ආගම් පිළිබඳ ප්‍රශ්නය ඇදගෙන එන එක. ඒ නිසා අපි උත්තර දෙනවා මිසක් අපි බුදුදහම හෝ ක්‍රිස්තියානි දහම හෝ ඉස්ලාම් දහම හෝ හින්දු දහම හෝ මේ කිසිවක් අපේ වේදිකාවේ ඡන්ද එකතු කර ගැනීම සඳහා හෝ අනෙකාට විවේචන එල්ල කිරීම සඳහා හෝ අපි කතාබහට ලක් කරන්නේ නැහැ. ඒ ආගම්වලට නිසි ගෞරවය තිබෙන්නේ ඒවා දේශපාලන වේදිකාවට නොගෙන ඉන්න ප්‍රමාණයටයි; දේශපාලනය හා පටලවා නොගන්නා ප්‍රමාණයටයි. ඒ ආගම්වලට නිසි ගෞරවය තිබෙන්නේ දේශපාලන වේදිකාවේ එය සටන් පාඨයක් ලෙස අලෙවි නොකරන තාක්කල්. නමුත් අද බෞද්ධාගමටත් සෙසු ආගම්වලටත් කරන්න පුළුවන් නිගරුව තමයි දේශපාලන වේදිකාවල නැවත පටන් අරන් තිබෙන මේ දහම පිළිබඳ කතිකාව. අපි භාවිතයෙනුත්, අධ්‍යයනයෙනුත් ආගම් පිළිබඳව අපේ ස්ථාවරයන් අපි ඉතා හොඳින් පැහැදිලි කර තිබෙනවා.

22න් පස්සෙ...

තිස්ස අත්තනායක කිවුවා අපි නුවර පෙරහැර නතර කරනවා කියලා. මතක තබා ගන්න තිස්ස අත්තනායක දෙදහස් පහළවේ දි කූට ලේඛන හදලා, මාස හත අටක් හිරේ ලැග්ග කෙනෙක්. අනිවාර්යයෙන් අපි දානවා නඩු. ඔයා අධිකරණයේදී හමුවෙන්න ඕනෑ. ඒ වගේ දේවල් දේශපාලන වේදිකාවට ගේන එක වැරදියි. ඒ වගේම චරිත හේරත් කුරුණෑගල දි කිවුවා අපි ඇත්කඳ විහාරයේ පෙරහැර නතර කරනවා කියලා. මොකක්ද මේ කරමින් ඉන්නේ. කිසිදු දේශපාලන විවේචනයක් තර්කානුකූලව ගේන්න නොමැති වූ විට ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයට තිබෙන එකම දේ තමයි අවලාද, අසත්‍ය තොරතුරු පතුරුවාලීම. දැන් ගෙනැවිත් තිබෙන අලුත්ම සාකච්ඡාව මොකක්ද? ඡන්ද ව්‍යාපරය පටන් ගන්න කොට ඒ ගොල්ලෝ අපි ගැන කිවුවේ අපිට තියෙන්නේ සියයට තුනයි. කතාව පටන් ගත්තේ එතැනින්. කොහොමද සියයට තුන සියයට පනහ වෙන්නේ කියලා. ඒක මහා හාස්කමක්නෙ. වෙන්න බැරි වැඩක්නේ කියලා. දැන් ඒ ගොල්ලෝ දන්නවා හාස්කම වෙලා ඉවරයි කියලා. දැන් කියනවා දිනුවොත් මෙහෙම වෙයි කියලා. තව අය කියනවා දිනුවොත් මාස හයක්වත් ඉන්නේ නැති වෙයි කියලා. ඒ ගොල්ලන්ටවිසි එක්වැනිදා වෙනකල් දිනුවොත් කිය කියා ඉන්න පුළුවන්. විසි දෙකෙන් පස්සේ අපි දිනුවා. එච්චරයි.

අසත්‍ය තොරතුරු නැවත නැවතත්

‘‘අද දේශපාලන පොරපිටිය වේගයෙන් තීව්‍ර වෙමින් තිබෙනවා. දිනපතා ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය ස්ථිර වෙමින් තිබෙනවා. ඊට ප්‍රතිපක්ෂව පාලක කණ්ඩායම් අපිට විරුද්ධව අවලාද, අසත්‍ය තොරතුරු හා විකෘති කරන ලද තොරතුරු වපුරමින් ඉන්නවා. ඉන් කියවෙන්නේ සජිත්ගේ කඳවුර, රනිල්ගේ කඳවුර විශාල ලෙස කලබලයට පත්වී ඇති බවයි. වියවුලට පත්වී තිබෙනවා. ඔවුන්ගේ එකම මෙවලම බවට පත්වී තිබෙන්නේ අසත්‍ය තොරතුරු නැවත නැවත කියන එකයි. දැන් නැවත බුදු දහම පිළිබඳව කතාවක් ඇදලා අරගෙන අවලාද නගමින් ඉන්නවා. අපි ඉතා පැහැදිලිවම බුදු දහම මේ දක්වා ඉෂ්ට කරන ලද කාර්යභාරය පිළිබඳවත්, අපේ ශිෂ්ටාචාරය ගොඩනැගීමේදී එය මූලික පදනම දැමූ බවත් ඉතා නිරවුල්ව හා පැහැදිලිව විශ්වාසය කරන ව්‍යාපාරයක්. නමුත් අද මොකද අපේ විරුද්ධ පාර්ශ්ව කරන්නේ. හාමුදුරුවන් වහන්සේලා කණ්ඩායමක් එකතුකරගෙන අපිට විරුද්ධව අසත්‍ය තොරතුරු සහ අවලාද පතුරු වන්නට පටන්ගෙන තිබෙනවා.

රට වැසියනි... බිය නොවන්න

දැන් ඊළඟට සමාජ ඇතුළෙ බියක් හදන්න උත්සාහ ගන්නවා. අපි දිනුවහම විසි දෙවෙනිදා කලබල ඇතිවෙයිලු; ගැටුම් ඇතිවෙයිලු; අපි එහෙම කුමන්ත්‍රණයක ඉන්නවාලු. නැහැ. අපේ රටේ දේශපාලනයේ වෙනසක් ඕනෑ. හැමදේකම වෙනස්කමක් අවශ්‍යයි. අපේ රටේ මෙතෙක් කල් දේශපාලනයේ තිබුණේ මොකක්ද? ජයග්‍රහණය කළාම පරාජිතයට පහර දෙනවා. පරාජිතයාට වෙඩි තියනවා. පරාජිතයව හිංසාවලට ලක්කරන ඉතිහාසයක්. ඒක ඇති තරම අපි අත්විඳ තිබෙනවා. අපේ රටට වෙනස් වෙන්න ඕන කියන්නේ මොනවාද? මේ දේවල්වල ඉඳන් වෙනසක් වෙන්න ඕනෑ. ඒ නිසා ජාතික ජන බලවේගයේ ආණ්ඩුව සැප්තැම්බර් විසි දෙක ඔප්පු කරන්නම් අනෙකාට රිදවන්නේ නැතිව, ජයග්‍රහණය සමරන්නෙ කොහොමද, කියලා. ඔබට කුඩා හෝ ප්‍රමාණයකින් බියක් සැකක් ඇතිවී තිබෙනවා නම්, අපි සහතිකයක් දෙනවා. ඔබට ජාතික ජන බලවේගයේ ජයග්‍රහණයෙන් පසුව කිසිදු පුරවැසියෙකුට, අපිට ඡන්ද නොදුන් අයට පවා නිය තුඩකින්වත් හානියක් වෙන්න ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ඉඩ දෙන්නේ නැහැ. හැමදෙනාම අපි ආරක්ෂා කරනවා, අපි ආරම්භයේදී ම අලුත් දේශපාලන සංස්කෘතියක් මේරට තුළ නිර්මාණය කරනවා. ඉන්පසු පියවරෙන් පියවර මේ රට ගොඩනැගීමේ වැඩපිළිවෙළට අපි අවතීර්ණ වෙනවා.

පිරිසිදු කළ යුතු ම ය

මේ රටේ ජනතාවට අවශ්‍ය වෙලා තිබුණේ ජනාධිපති ධුරය වෙනස් කිරීම පමණක් නොවෙයි. මේ පාර්ලිමේන්තුව පිරිසිදු තැනක් කරන්න ඕනෑ කියලා, ඔවුන් දීර්ඝ කාලයක් තිස්සේ ඉල්ලා සිටියා. ජනතාවට දීපු බෙහෙත්වලින් හොරා කාපු අය මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා. හිරකරුවන්ට වෙඩි තබන්න උත්සාහ දරපු රත්වත්තෙලා වගේ අය මේකෙ ඉන්නවා. මිරිස් කුඩු ගෙනාපු අය ඉන්නවා. පිහි ගෙනාපු අය ඉන්නවා. පාර්ලිමේන්තුවේ  මැද, පුටුවලින් සටන් කරලා ගහගත්ත අය ඉන්නවා. මහින්දානන්දලා වගේ වංචනිකයන්, දූෂිතයන් ඉන්නවා. රෝහිතලා වගේ කප්පම්කරුවෝ ඉන්නවා. ප්‍රසන්නලා වගේ කප්පම්කරුවෝ ඉන්නවා. ඒ නිසා මේ රට ගොඩනගන්න,මේ පාර්ලිමේන්තුව පිරිසිදු කරන්න ඕනෑ. ජනාධිපතිවරණය දිනුව ගමන් අපිට ඒක තාවකාලිකව කරන්න පුළුවන්. මහා මැතිවරණය දිනවලා ඒක සම්පූර්ණයෙන් කරන්න ඔයගොල්ලෝ අපිට සහාය දෙන්න.

ජාත්‍යන්තර සබඳතා

අපේ රටේ ජනතාවට ආදර්ශමත් දේශපාලන භාවිතයක් අවශ්‍යයි. දැනට තිබෙනවා වගේ කැත, පිළිකුල් සහගත දේශපාලනය මේ රටෙන් තුරන්කර දැමීම ඔවුන්ගේ ඒකායන බලාපොරොත්තුවයි. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව අනිවාර්යයෙන්ම ඒ දේ කරනවා. ආර්ථිකය පියවරෙන් පියවර වර්ධනය කරන්න ඕනෑ. සෑම දෙනා ම නීතිය ඉදිරියේ සමානයි කියන වැකියට පණ දෙන්න ඕනෑ. හැම දෙනා ම නීතිය ඉදිරියේ සමාන වන රටක් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකින් අපි හදනවා. ඒ වගේම අපිට අහිමි වී තිබෙන ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා අපි ගොඩනගා ගන්න ඕනෑ. අපිට අවස්ථා ගණනාවක දී ම චීනය, ජපානය, ඉන්දියාව යනාදි රටවල රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් මුණගැසීමේ අවස්ථා ලැබුණා. අපි ඔවුන් සමග, අපේ විදෙස් ප්‍රතිපත්තිය ගැන, විදෙස් සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳව, ක්‍රියාත්මක කරන ආකාරය දීර්ඝ ලෙස සාකච්ඡා කළා. ලෝකයේ හුදකලා වුණු රාජ්‍යයක් ලෙස අපිට ඉදිරියට යන්න බැහැ.

ඇමතිගෙ ලාබ අලාබ

පැවති හැම ආණ්ඩුවකටම වඩා ලෝකයේ පිළිගැනීමට ලක්වෙන, කීර්තිමත් ආණ්ඩුවක් අපි මේ රට තුළ ගොඩනගනවා. නව ශ්‍රී ලංකාවක් අපි ලෝකය ඉදිරියේ ගොඩනගනවා. අපේ පාසල් දරුවන් සඳහා නිල ඇඳුම්වලට අවශ්‍ය රෙදි ගෙන්වන්නේත් විදෙස්වලින්. ඒකෙනුත් කොමිස් ගහනවා. ඉතිං රටක් බාල්දු නොවී තියේවිද? පොල්තෙල් ගෙන්වන්නේත් පිටරටින්. කොළඹ වරායේ පොල්තෙල් ගබඩාකරන ටැංකි පවා හදලා තිබෙනවා. මේ රටේ බීසීසී වගේ සමාගම් පොල්තෙල් නිෂ්පාදනය කරලා පිටරටත් පැටෙව්වා. එදා පොල්තෙල් පිටරට යවන්න පාවිච්චි කරපු ටැංකිවල අද පිටරටින් පොල්තෙල් ගෙනැත් ගබඩා කරනවා. පොල්තෙල් ගේන තරමට මේ රටේ ජාවාරම්කාර දේශපාලුවන්ට ලාබයි. බද්ද පොඩ්ඩක් එහෙට මෙහෙට කරලා පොල්තෙල්වලිනුත් කොමිස් ගහනවා. මෙහෙ හැදුවොත් ජනතාවට හොඳයි. රටට හොඳයි. හැබැයි ඇමතියට පාඩුයි. පාසල් නිල ඇඳුම් මෙහෙ නිෂ්පාදනය කළොත් ඇමතිට පාඩුයි. චීනයෙන් ගේන කොට ඇමතිට ලාභයි.

‘බයිං ඇන්ඩ් සෙලිං’ ආර්ථිකය

ටයිල් ගේන එක නතර කළහම මම දන්න ව්‍යාපාරිකයෙක් රුපියල් කෝටි 1000ක් යොදවලා ටයිල් කර්මාන්ත ශාලාවක් පටන් ගත්තා. සමහර දේශීය කර්මාන්ත ශාලා කෝටි සිය ගණන් වියදම් කරලා අලුත් වැඩියා කළා. අලුතින් නිෂ්පාදනය පටන් ගන්න. ඊට පස්සේ සීමාවකින් තොරව නැවත පිටරටින් ටයිල් ගේනන පටන් ගත්තා. අර කර්මාන්ත ශාලා වැහුණා. දේශීය කර්මාන්තකරුවෝ ඇදගෙන වැටුණා. ඇමතිලාට ඕන ‘බයිං ඇන්ඩ් සෙලිං’ ආර්ථිකයක්. එතකොට තමයි කොමිස්වලින් ඒ ගොල්ලන්ගේ මඩි තරවෙන්නේ. නිෂ්පාදනය ඒ අයට වැඩක් නැහැ. අපේ රටේ සමහර තරුණ ව්‍යාපාරිකයෝ අපේ රටට අවශ්‍ය සමහර බෙහෙත් වර්ග, සෞඛ්‍ය මෙවලම් නිෂ්පාදනය කරනවා. ඒවා අප්‍රිකානු රටවලටත් දැනට යවනවා.

 
 දැන් මොකද වෙලා තිබෙන්නේ. කැබිනට් මණ්ඩලයෙන් තීරණයක් ගන්නවා බාල බෙහෙත් රටට ගෙන්වන්න. ඇයි ඇමතිලාට ලාභයි. කෙහෙලිය රඹුක්වැල්ල හිරේ යන්නේ ලාභය නිසා. ලාභ වැඩිවෙලා. ලෝකයේ දියුණු වුණු හැම රටක්ම එහෙම වුණේ හදන දේවල් ගැන කල්පනා කරලා. අපේ රටේ පාලකයෝ ඒකේ අනෙක් පැත්ත. අපි ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ මේ රටේ මහා කර්මාන්ත පුනර්ජීවනයක්, මනා අධ්‍යාපන පිබිදීමක්, මහා ගොවිබිම් අස්වැද්දීමක්, නිෂ්පාදන ආර්ථිකයේ දේශපාලන සංස්කෘතියේ, සමාජයේ නව පිබිදීමක්, නවෝදයක් ඇති කරනවා. අන්න ඒ විදිහට තමයි ජාතික ජන බලවේගයේ පාලනයක් මේ රට ගොඩනගන්නේ.’’


 


මඩ, අවලාද සහ අසත්‍ය තොරතුරු


ප්‍රවීණ රංගන ශිල්පී ජගත් මනුවර්ණ

‘‘පිට්ටනියත් පිරිලා, මහාමාර්ගයත් මහජනතාවගෙන් පිරී තිබෙනවා. ඔබ අපිට කියන පණිවිඩයක් තිබෙනවා. ඒ තමයි අනුර සහෝදරයාව මේ විසි එක්වැනිදාට නියත වශයෙන්ම මේ රටේ ජනාධිපතිවරයා කරන බවයි. විසි දෙවැනිදාට අපි අවදිවන්නේ අලුත් රටකට, අලුත් ලොවකට දොරටු විවෘත කරගෙන කියන පණිවිඩය තමයි ගම්දනව් පුරා, රට පුරා ජනතාව එක මිටකට රොද බැඳගෙන දෙන්නේ. විසි දෙවෙනිදායින් පස්සේ මේ රට පාලනය කරන්නේ අනුර කුමාර දිසානායක සහෝදරයාගේ නායකත්වයෙන් යුතු ආණ්ඩුවක්.  අපේ රටේ ජනතාව විඳින වේදනාව, දුක පිළිබඳව කිසිදු කැක්කුමක් නැති නාලිකා කිහිපයක් තිබෙනවා. ඒවායෙන් නිතර ප්‍රචාරය වන්නේ ජාතික ජන බලවේගය ඉලක්ක කර ගත් මඩ, අවලාද සහ අසත්‍ය තොරතුරුයි. නමුත් අපි ඒ ගොල්ලන්ට කියනවා ඒ මඩ, අවලාද සහ ඒ ගොල්ලන්ගේ උප්පරවැට්ටිවලට මේ රටේ ජනතාව තවදුරටත් අහුවෙන්න තරම් අඳබාල නැහැ කියලා.

නන් දෙඩවීම

අද ජාතික ජන බලවේගය වටා රොද බඳින ලක්ෂ සංඛ්‍යාත ජනතාව විසින් එය ඔප්පු කර තිබෙනවා. අපි බලයට පත් වුණොත් ලේ වැගිරීමක් වෙයි කියලා. අපේ විරුද්ධවාදියෝ අනිත බියක් මවනවා. පන්සල්, පල්ලි කඩා දමයිලු. මේ බේගල් පතුරුවන්නේ වෙන මොකක් නිසාවත් නොවෙයි. ඒ ගොල්ලෝ දැන් බයවෙලා ඉන්නේ. හීනෙනුත් බයවෙනවා. ඒක තමයි මේ නන්දොඩවන්නේ. ඒ ගොල්ලන්ගේ දේශපාලනය පරිච්ඡේදය මේ විසි එක්වැනිදායින් පසු අහෝසි වී යනවා කියලා ඒ ගොල්ලෝ දන්නවා. ඒ සඳහා මාලිමාව දිනවන්න මේ රටේ ජනතාව පුල පුලා බලා සිටින බවත්, ඒ ගොල්ලෝ දන්නවා. අර වගේ පහත් නින්දිත මඩ අවලාද අපට එරෙහිව නගන්න පටන් අරගෙන තිබෙන්නේ ඒකට බියගෙනයි.

සමාන පුරවැසියෝ

මේ රටේ ලේ වැගිරීම් කළේ, ජනතාව මහමග මරා දැම්මේ, ජනතාවගේ ජීවිත මේ නරාවළට ඇදලා දැම්මේ මේ නරුම පාලකයන් බව මේ රටේ මිනිස්සු දන්නවා. දකුණේ විතරක් නොවෙයි, උතුරේ ජනතාවට කරපු ලොකුම විනාශයන්ගෙන් බරපතළ කොටසක් හිමි වන්නේ ජේආර්ලාගේ, රනිල්ලාගේ, ප්‍රේමදාසලාගේ ආණ්ඩුවලටයි. දකුණු ආසියාවේ ලොකු ම සහ සම්භාවනීය ම පුස්තකාලය වූ යාපනයේ පුස්තකාලය ගිනි තියන්නේත් ඔය රනිල් වික්‍රමසිංහලා. කළු ජූලිය නිර්මාණය කරලා ම්ලේච්ඡ ඝාතන කළේත් ඒ ගොල්ලන්ගේ ආණ්ඩු. මේ රටේ තවමත් සුළුතරයක් ඉන්නවා. සජිත් ප්‍රේමදාසලාව විශ්වාසය කරන. ඒ ගොල්ලන්ටත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තිබෙනවා දේශපාලනය කරන්න. නාමල් රාජපක්ෂව විශ්වාස කරන අයත් අතළොස්සක් ඉන්නවා. රනිල් විශ්වාස කරන සුළුතරයකුත් ඉන්නවා. ඒක ඒ අයගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය. අපි මොකුත් කියන්නේ නැහැ. හැබැයි අද රටේ සාතිශය බහුතරය ඉන්නේ මාලිමාවත් එක්ක.  ජාතික ජන බලවේගයත් එක්ක. 
 
අපි ඒ සුළුතරයට කියනවා බය වෙන්න එපා පැරදුනාට. ඔයගොල්ලන්ට නියපිටින්වත් හානියක් වෙන්න මාලිමාවේ බහුතරය කිසිම ඉඩක් තියන්නේ නැහැ. විසි එකෙන් පස්සේ දිනන පරදින ඔබ සියලු දෙනා මේ රටේ සමාන පුරවැසියෝ. මාලිමාවේ පාලනයක් යටතේ ඒ සියලු දෙනාටම සලකන්නේ මේ රටේ සමාන පුරවැසියෝ හැටියට මිසක් හතුරන් හැටියට නොවෙයි.’’

ඔක්කොම ලස්සනයි...

b0574133 f65c 4b26 a1ce 60036980e360ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික කේ.ඩී. ලාල්කාන්ත

මෙච්චර ලස්සන විචිත්‍රවත් වේදිකාවක් ලංකාවේ තවත් නැහැ. ඒ තරම්ම මේ වේදිකාව සහ රැලියයි ලස්සනයි. වේදිකාවේ අපි මෙතනට රැස්වෙලා පැමිණි දස දහස් සංඛ්‍යාත ඔබගේ ලස්සන බලන් ඉන්නවා. ඔබලා මේ වේදිකාවේ ලස්සන බලන් ඉන්නවා. මේ බලා සිටින කිසිම සහෝදරියක්, සහෝදරයෙක් මේ රටට ලස්සන අනාගතයක් දැකීම හැර වෙන කිසිදු පෞද්ගලික අපේක්ෂාවක් නැති පිවිතුරු හදවත්වලින් යුක්ත අයයි. මම මේ මහනුවර දිස්ත්‍රික්කයේ සෑහෙන කාලයක ඉඳන් රැස්වීම් අමතනවා, සාකච්ඡා  පවත්වනවා, සංවිධාන වැඩවල යෙදෙනවා. මේ ජයග්‍රහණය පෙනි පෙනී තිබියදීත් “සහෝදරයා මට රස්සවක් ඕනැ” කියලා කියපු කිසි කෙනෙක් මට තාම හමුවුණේ නැහැ. පුද්ගලික ප්‍රතිලාභයක් ඉල්ලාගෙන අපි සමග වැඩ කරන්නේ  නැහැ. එහෙම අහපු කිසිවෙකු මට තවම හමුවෙලා නැහැ. ඒක තමයි මම කිවුවේ මේ ඔක්කෝම ලස්සනයි කියලා. ඒ වගේම ඊළඟ පාර්ලිමේන්තු ඡන්දෙදි මට අපේක්ෂකකම ඕන කියලා කියපු, කිසිම කෙනෙක් මේ වේදිකාවේ නැහැ.

අනුර සහෝදරයා දිනපු ගමන් ඉතිරි වැඩ ටික පටන් ගන්න අර පට්ටහොරු, තක්කඩියෝ ටික ඔක්කෝම ගෙදර යවලා ඉන්න ඕනෑ. ඒක අත්‍යවශ්‍යයි. දැන් ගොඩක් අය දන්නවා අනුර සහෝදරයා ජනාධිපති වෙලා දින හතළිස් පහකට පස්සේ පාර්ලිමේන්තු ඡන්දයක් එනවා කියලා. අපිත් එක්ක වේදිකාවේ ඉන්න, ඉන්  පිට ඉන්න අපි සමග වැඩකරන මේ සියලු මිනිසුන්ගේ ගැහැනුන්ගේ එකම ආශාව වුණේ මේ රට ලස්සන රටක් කිරීමේ ආශාව විතරයි. අපේ නායකයා ඇවිත් මේ වේදිකාවේ දැන් වාඩිවුණා. මේ වේදිකාව දැන් කලින්ට වඩා සිය දහස් ගුණයක් ලස්සනයි. දැන් මම කතාව නවත්තලා පොඩි පණිවුඩයක් කියන්නම්.

අස්ගිරියෙන් පණිවුඩයක්

අද උදේම අස්ගිරියෙ මහානායක හාමුදුරුවෝ සමග වැඩ වසන එක හාමුදුරුනමක් මට දුරකතනයෙන් කතා කළා. කතා කරලා ඕගොල්ලන්ට පණිවුඩයක් කියන්න කියලා කිවුවා. රටේ ඉන්නවා සුළු පිරිසක් හාමුදුරුවරු අපට මඩ ගහන. අවලාද ගහන. මට කතා කරපු හාමුදුරුවෝ කිවුවා මේ වේදිකාවේ ඉඳන් ඒ අයට අස්ගිරි විහාරයට එන්න කියලා, ආරාධනාවක් කරන්න කියලා. ඒ අයට මාලිමාව ගැන හොඳ බණක් කියලා දෙන්න. ජාතික ජන බලවේගය ගැන. අනුර කුමාර සහෝදරයා ගැන බොරු කියන, අවලාද නගන අයට, අනුර කුමාර සහෝදරයා ඇතුළු අපි බුදුදහමත් සමග තිබෙන සම්බන්ධය ගැන කරුණු පැහැදිලි කරලා දෙන්න. උන්වහන්සේලාට අස්ගිරි විහාරයට වඩින්න කියලා කිවුවා. ඕක තමයි ආරාධනාව. ඒ හාමුදුරුවරු වඩින්න. හොඳ බණක් අහලා යන්න එච්චරයි. අපේ වේදිකාවේ ලස්සනත් බලන්න. ඔය ගොල්ලන්ගේ ලස්සනත් අපිට පෙනෙනවා. ඒ වගේම අපේ අනුර කුමාර දිසානායක සහෝදරයාගේ මේ රට ගොඩනගන වටිනා, අර්ථවත් කතාවට ඉඩලබාදෙමින් මගේ කතාව අවසන් කරනවා.’’

(සටහන - ජයසිරි අලවත්ත)

 
 
kandy
 

pe2024 2

worky sin

නවතම පුවත්