* ජනවාරි පළවෙනිදා සිට වැටුප් විෂමතාව ඉවත් කරමින් වැටුප් වැඩිකිරීම කරන බවට අපි දෙන සහතිකය හැකිනම් අනික් පාර්ශ්වවල අයට අනිත් කෙනෙක් දෙන්න කියලා අභියෝග කරනවා.
* 2025 නව පාසල් වාරය ආරම්භ ජනවාරි 20.
* වැටුප් විෂමතාවය ඉවත් කරන්න ගුරුවරුන්ට කොළඹට එන්න කිව්ව අයගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ වැටුප් විෂමතාවය ඉවත් කිරීමට විසඳුම නැහැ.
* 1,6,10 වසර වලට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ජනවාරි 20 අලුත් පාසල් වාරය සමග අරඹනවා. දරුවන්ගේ පෙළපොත් සියල්ල සූදානම්.
* සමහර අපේක්ෂකයෝ පස්දෙනෙකුගෙන් විතර කැබිනට් එකකුත් හදලා. මේක ලේසි පාසු වැඩක් නෙවෙයි කවදාවත් හරියට ඇමතිකමක් නොකරපු කණ්ඩායමකට මේ රට මෙතනින් එහාට ගෙනියන්න පුළුවන්ද.
* අපි රැකියා ලක්ෂයක් ලබාදීමේ වැඩපිළිවෙල සැලසුම් කරලා තියෙන්නේ.
* රාජ්‍යතාන්ත්‍රික භාවය පිළිබඳව විපක්ෂයේ අපේක්ෂකයින්ට තියෙන පලපුරුද්ද මොකක්ද? ලංකාව අද ජීවත් වෙන්නේ ලෝකයත් එක්කයි.
* ජනාධිපති ධූරයේ ඉල්ලන ප්‍රමුඛ පෙළේ අපේක්ෂකයින්ට තනිවම, අයි.එම්.එෆ්. එක, ලෝක බැංකුව, මූල්‍ය ආයතන එක්ක කතා කරන්න පුලුවන්ද?
* ජනප්‍රිය වචන, බොළඳ කතා, බොරු සමීක්ෂණ වාර්තාවලට රැවටෙන්න එපා.
* දරුවෝ දේශපාලනයට යොදාගන්නවා නම් ඒක සම්පූර්ණ වරදක්.
අසවල් ලාංඡනයට කතිරය ගසන්නැයි යන පණිවුඩය දරුවෝ අතේ ගෙවල්වලට යවන ගුරුවරු සිටින බව පුවත්පත්වල පළ වී ඇති බවට වාර්තා වී ඇතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පැවසී ය.
අමාත්‍යවරයා මෙම හෙළිදරව්ව කළේ ඊයේ (12) පැවති මාධ්‍ය හමුවක දී ය.
දේශපාලන පක්ෂ සම්බන්ධ වෘත්තීය සමිති වලට මේ පිළිබඳ චෝදනා එල්ල වන අතර දරුවන් දේශපාලනයට යොදාගැනීමෙන් වළකින ලෙස ඉල්ලා සිටින බවත් පාසල් ළමුන් දේශපාලනයට යොදා ගැනීම සපුරා ම වැරැදි බැවින් ඒ පිළිබඳ අමාත්‍යංශයට වාර්තා වුවහොත් සඳහා සුදුසු ඉදිරි පියවර ගන්නා බව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේ ය.
එම මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා...
වැටුප් විෂමතාවයක් ඉවත් කරන කැබිනට් පත්‍රිකාව අනුමත වුණේ නාම යෝජනාවලට පෙර
‘‘ජනාධිපතිවරයා සහ අමාත්‍ය මණ්ඩලය විසින් 2024 මැයි මාසෙ පත්කළ උදය සෙනෙවිරත්නගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුව මගින් සමස්ත රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාවය ඉවත් කිරීමේ යෝජනාවලිය සකස් කර තිබෙනවා. වැටුප් විෂමතාවයක් ඉවත් කරනකොට අනිවාර්යෙන්ම වැටුප් වැඩි කරන්න වෙනවා. 24% සිට 50%, 60% දක්වා පරාසයක වැටුප් වැඩිවීමක් සිද්ධ වෙනවා. එතනදි පදනම හැටියට අරගෙන තිබෙන්නේ එස්. එල්.කිව්. එෆ් ශ්‍රී ලංකා කොලිෆිකේෂන් ෆ්රේම් වර්ක් එකේ එන්. වී.කියු සහ අධ්‍යාපන සුදුසුකම් කියන එක. මේ පිළිබඳව කැබිනට් පත්‍රිකාව නාමයෝජනා දීමටත් පෙර අගෝස්තු මාසය දොළොස්වැනිදා අනුමත කළා. දහතුන් වෙනිදා ඒ සම්බන්ධයෙන් ප්‍රවෘත්ති නිකුත් වුණා.
කවුරු හරි කියනවනම් කැබිනට් පත්‍රිකාවක් අනුමත වෙලා නැහැයි කියලා කැබිනට් පත්‍රිකාවේ අංකය 228 අ. ම. ප./24/1609/601027 දරන අමාත්‍ය මණ්ඩල සංදේශය මගින් අමාත්‍ය මණ්ඩලය අතුරු වාර්තාව තහවුරු කළා. ඒ අනුව භාණ්ඩාගාරය විසින් 2025ට අදාළ අයවැය ලේඛනයේ ප්‍රතිපාදන වෙන් කිරීමේදී පදනම හැටියට ගත්තේ මෙයයි.
IMF කොන්දේසිවලට අනුව රාජ්‍ය සේවක වැටුප සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් 3.7ක් පමණයි
අයවැයක් සකස් කිරීමේදී ඕනෑම ආණ්ඩුවක් මුලින්ම අමාත්‍යංශය එක්ක සාකච්ඡා කරලා, අතිරේක පඩි වැඩිවීම් වෙනවනම් ඒ සියල්ල අමාත්‍ය මණ්ඩලයෙන් අනුමත කරලා ඒක පදනම් කරගෙන අයවැය හදනවා. ඒ ක්‍රමවේදයන් අනුගමනය කරලා තමයි රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම පිළිබඳව ජනතාව දැනුවත් කළේ. විපක්ෂයේ සමහර අපේක්ෂකයින් ඒ ගැන කිසි දෙයක් සඳහන් කළේ නෑ. ඒ ගැන සදහන් කළ අය කළේ අපි අවම වැටුප 55,000 කිව්වහම 2,500ක් එකතු කරලා 57,500ක් කියපු එකයි.
මේ මේ වැටුප් වැඩිවීම කරනකොට රුපියල් බිලියන 250ක අතිරේක ප්‍රතිපාදනයක් අවශ්‍යයි. දැනට රාජ්‍ය සේවක වැටුප් ගෙවීමට රුපියල් බිලියන 1,200ක් වර්ෂයකට අවශ්‍යයි. විශ්‍රාමිකයින්ට රුපියල් බිලියන 400 ක් අවශ්‍යයි. මේ දෙක එකතු කළාම බිලියන 1,600 ක් වෙනවා. අලුතෙන් වැටුප් වැඩිවීම එකතු වුනාම බිලියන 1,850ක් අවශ්‍ය වෙනවා. අයි.එම්.එෆ් කොන්දේසි අනුව රාජ්‍ය සේවක වැටුප සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් 3.7 ඉක්මවන්න බැහැ. මේ පිළිබඳ විපක්ෂයෙක් කිසිදු අපේක්ෂකයෙක් තර්කානුකූලව, විද්‍යාණූකූලව පැහැදිලි කරලා නැහැ. පැහැදිලි කරලා නැහැ.
වැටුප් වැඩිවීමක් නොවන විෂමතා ඉවත් කිරීමක්
ආර්ථික පසුබෑමත් එක්ක දළ දේශීය නිෂ්පාදිතය බිලියන 85 ඉඳලා 74 ට වැටුණා. මේ අවුරුද්දේ නැවත එය 85ට ආවා. අපි පුරෝකථනය කරනවා ලබන අවුරුද්ද වෙනකොට 90 දක්වා යන්න පුළුවන් වෙයි කියලා. මෙය හුදු වැටුප් වැඩිවීමක් නොව විෂමතා ඉවත් කිරීමක් ලෙසයි අපි පැහැදිළි කළේ. පහුගිය අවුරුදු දෙකයි මාස තුනේ රට ගොඩදාන අතරේ වැටුප් විෂමතාවය පදනම් කරගෙන විවිධ ක්ෂේත්‍රවල වැඩවර්ජන තිබුණා. වෘත්තිය ක්‍රියාමාර්ග තිබුණා. ගුරුවරු දිනක් අසනීප වුණා. දරුවන්ට පාසල් නෑ. දින දෙකක් ලෙඩ නිවාඩු දැම්මා. මේවට මූලික වුණේ සමහර දේශපාලන අපේක්ෂකයින්ගේ පක්ෂවල වෘත්තීය සමිති. ඒගොල්ලෝ තමයි වැටුප් විෂමතාවය ඉවත් කරන්න ගුරුවරුන්ට කොළඹට එන්න කිව්වේ. ඒගොල්ලන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කොහේ හරි තියෙනවා නම් පෙන්වන්න විෂමතාවය ඉවත් කිරීමට විසඳුම මේකයි කියලා. කොහෙවත් නැහැ. සමගි ජන බලවේගයත් විෂමතා ඉවත් කිරීමක් ගැන කියන්නේ නැහැ.
දරුවන් දේශපාලනයට යොදවාගන්න එපා
අපි වැටුප් වැඩි කරන්නේ විෂමතාවය ඉවත් කරමින්. රටේ කාර්මික සාමයක් අවශ්‍යයි. දරුවන්ට පෙළපොත් මුද්‍රණය කරන්න කොළ තිබුණේ නැහැ. හතළිස් දහසක් වන පෞද්ගලික පාසල් ප්‍රවාහනකරුවන්ට ඩීසල් තිබුණේ නැහැ. දරුවන්ට පාඩම් කරන්න පැය දාහතරක් විදුලිය තිබුණේ නැහැ. පේපර් මාර්කින් යන්න විදියක් තිබුනේ නැහැ. ඉන්ධන හිඟය නිසා සති තුනක් එක දිගට පාසල් වහන්න වුනා. ඉස්සෙල්ලා දින තුනක් පාසල් පැවැත්වුවා. ඊට පස්සේ දින පහකට ගෙනාවා. දැන් අවුරුදු දෙකක් යනකොට සම්පූර්ණ යථා තත්ත්වයට ගෙනාවා.
විෂමතාවය ගැන වචනයක් සඳහන් නොකරන අපේක්ෂකයෝ ඉන්න දේශපාලන පක්ෂවල වෘත්තීය සමිති තමයි විෂමතාවයක් මුල්කරගෙන ලෙඩ නිවාඩු දමාගෙන ගුරුවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට ගෙන ගියේ. අහවල් ලාංඡනයට කතිරෙ ගහන්න කියන පණිවුඩය දරුවෝ අතේ ගෙවල්වලට යවන ගුරුවරු ඉන්න බව පුවත්පත්වල පළවෙලා තියෙනවා. දේශපාලන පක්ෂවලට සම්බන්ධ වෘත්තීය සමිති තමයි මේක කරන්නේ. කරුණාකරලා එහෙම කරන්න එපා.
2/3කටත් වඩා වැඩි වැටුප් වැඩි වීමක්
පෞද්ගලික අංශයේ අවම වැටුප රුපියල් විසිඑක් දහසකට ගෙන ඒමට අදාළ පනත පාර්ලිමේන්තුවේ සම්මත කරා; කතානායකතුමා ඒක සහතික කරා. රාජ්‍ය සේවක වැටුප් විෂමතාවය විසඳනවා වගේම පෞද්ගලික අංශයේත් අවම වැටුප තීන්දු කරලා තියෙන්නේ. වතු සේවක වැටුප් ප්‍රශ්නය විසදුවා. 2022, 2023 උසස්පෙළ පදනම් කර ගෙන විද්‍යාපීඨ ගුරුවරුන් ගන්න අවශ්‍ය කටයුතු සම්පූර්ණ කරලා ගැසට් නිවේදනය නිකුත් කරන්න කටයුතු කරලා තියෙනව. ඔන් ලයින් ක්‍රමයට තෝරා ගැනීම හරහා කාලය ගතවීම අඩුකරලා තියෙනවා. ඒ නිසා ඇරියස් වෙලා තියෙන සියලු කරුණු අවුරුදු දෙකයි මාස තුනකදී යාවත් කාලීන කරලා තියෙනවා..
1995 ඉඳලා තිබුණ ගුරු විදුහල්පති වැටුප් විෂමතාවයට මේ තුළ විසඳුම දීල තියෙනවා. මූලික වැටුප වෙනස් වෙනවා. පළවෙනි ශ්‍රේණියේ ගුරුවරයෙක්ගේ වැටුප වැඩිවීම රුපියල් 38,026ක්. එතකොට තුනෙන් දෙකට වඩා වැඩියි.තුනෙන් දෙක කිව්වට සමහරු දන්නෙ නැහැ තුනෙන් දෙක මොකක්ද කියලා. එක තියෙන්නේ සුබෝධනී වාර්තාවේ. ඒවා දැන් නැහැ. ඊට වඩා වැඩි ප්‍රමාණයකින් මේකෙන් වැඩිවෙලා තියෙනවා.ප්‍රධාන ගුරු වෘත්තිය සමිතිචක්‍ර ලේඛනය නිකුත් කරන්න කිව්වා. ඒ කියන්නේ ඒ අය එකඟයි. චක්‍ර ලේඛනය නිකුත් වෙන්නේ අයවැය ලේඛනයට වැටුප් පිළිබඳව මුදල් වෙන් කළ විට. හැබැයි අයවැයක් ඉදිරිපත් වෙන්නේ කවුරු බලයට ආවොත්ද?
අමාත්‍යවරයාගෙන් අභියෝගයක්
අනුර කුමාර දිසානායක ආව ගමන් විසුරනවාලු. නිත්‍යාණූකූලව එහෙම කරන්න පුළුවන්. සජිත් ප්‍රේමදාස මොකක්ද කරන්නේ කියලා අපි දන්නේ නෑ. මොකක්ද කරන්නේ කියලා කියන්නේ නැහැ. අපිට එහෙම ප්‍රශ්නයක් නැහැ. අපි ජයග්‍රහණය කරනවා. අපි ඉදිරිපත් කරන අයවැය ලේඛනය සූදානම් කරගෙන යනවා. නියමිත කාලයේ දී වාර්ෂිකව අයවැය ඉදිරිපත් කරලා සම්මත කරලා ජනවාරි පළවෙනිදා සිට රාජ්‍ය සේවක වැටුප් විෂමතාවය ඉවත් කර, වැටුප් වැඩිවීම කරනවා. ජනවාරි පළවෙනිදා සිට වැටුප් විෂමතාව ඉවත් කරමින් වැටුප් වැඩිකිරීම කරන බවට අපි දෙන සහතිකය හැකිනම් අනික් පාර්ශ්වවල දෙන්න කියලා අභියෝග කරනවා.
මම දන්නවා ඒගොල්ලන්ට වැඩ පිළිවෙලක් නැහැ. පාර්ලිමේන්තුව විසිරෙව්වොත් කොහෙත්ම දෙන්න බැහැ. අපි ඒක සූදානම් කරලා තියෙන්නේ. අපි කියන්නේ හිතලුවක් නෙවෙයි යථාර්ථයක් බවට පත් කරලා තියෙන්නේ. ලක්ෂ දාහතරක් වන රාජ්‍ය සේවකයින් මේ ගැන කල්පනා කර බලන්න කියලා මම ඉල්ලනවා.
ගුරුවරු දෙලක්ෂ හතළිස් දහසක් ඉන්නවා. විදුහල්පතිවරු දාහසය දහසක් ඉන්නවා. ගුරු අධ්‍යාපනඥ සේවයේ අවසාන කණ්ඩායම විදියට අටසීයක් බඳවගන්න සියලු කටයුතු අවසාන කරලා තියෙනවා. මැතිවරණය නිසා කල් ගියා. පරිපාලන සේවය, ගුරු උපදේශන සේවයක් එහෙමයි. අලුතෙන් ගුරුවරු විසිපන්දහස් අටසීයක් මේ අවුරුද්දේ ගියා. පරිපාලන සේවය, ගුරු උපදේශන සේවයත් එහෙමයි. අලුතෙන් ගුරුවරු විසිපන්දහස් අටසීයක් මේ අවුරුද්දේ අපි බඳවාගෙන තියෙනවා. ගුරු හිඟයට පිළියම අපි දීලා තියෙනවා.
විපක්ෂයට නොපෙනෙන, නොදන්නා සාධක
මේ රටේ දෙමව්පියන් ලක්ෂ 80ක් පමණ ඉන්නවා. සමස්ත අධ්‍යාපන ක්ෂේත්‍රයේ අනධ්‍යන පිරිස එක්ක ලක්ෂ තුනක් විතර පිරිසක් ඉන්නවා. මේ අවුරුදු දෙකයි මාස තුන තුළ අධ්‍යාපන ඇමතිවරයා හැටියට චීනයෙන් පරිත්‍යාග විදියට 100% නිල ඇදුම් ටික ලැබෙනවා. ඒකෙන් රුපියල් බිලියන 6.5 ක් ඉතුරු කරල දීල තියෙනවා. පෙළපොත් මුද්‍රණය 2023 වර්ෂයට බිලියන 19ක් ගියා. විනිමය අනුපාතය අඩුවීම නිසා බිලියන 12ට අඩු වුණා. එතන බිලියන 7 අපිට ඉතුරු වුණා. මේවා නොපෙනෙන සාධක. දරුවෝ ලක්ෂ 17ට අද දිවා ආහාරය දෙනවා. රුපියල් බිලියන 26 යනවා. දිවා ආහාරය දීමේ වැඩසටහනට තවත් දරුවෝ ලක්ෂ දහයකින් වැඩි කරන්න අපි අයවැයට යෝජනා කරලා තියෙන්නේ. දුෂ්කර ප්‍රදේශවල දරුවෝ 750,000 පාවහන් දුන්නා. ගැහැණු දරුවෝ හත් ලක්ෂ විසිතුන් දහසකට කිව්. ආර්.කෝඩ් එකක් එකක් හා වව්චර් දුන්නා ඒ අයගේ සෞඛ්‍ය අවශ්‍යතාවය පිරිමසා ගන්න. සමහරු යෝජනා කරන දේවල් අපි ක්‍රියාත්මක කරලා ඉවරයි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණය 1, 6, 10 වසර වලට පටන් ගන්නවා. ජනවාරි 20 අලුත් පාසල් වාරය පටන් ගන්නවා. දරුවන්ගේ පෙළපොත් සියල්ල සූදානම්. නොවැම්බර් අග වෙනකොට නිල ඇදුම් ලැබෙනවා. සමස්ත ගුරු විදුහල්පති සේවයේ විෂමතාවය ඉවත් කළාට පස්සේ දැනට අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෙනත් ගැටලුවක් දැනට නැහැ.අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ඉදිරියටගෙන ගිහින්, දරුවෝ ජාත්‍යන්තර මට්ටමට ගෙන ඒමයි දැන් කරන්න තියෙන්නේ.
බෑග් බර අඩුවෙන සැලසුම
1, 6, 10 වසරවල දරුවන්ගේ බෑග් එකේ බර තුනෙන් එකකට අඩු වෙනවා. අවුරුදු පහක් ගතවෙන කොට සියලු දරුවන්ගේ බෑග් බර අඩු වෙන සැලසුමක් තියෙන්නේ. දරුවන්ගේ විභාග බර අපි අඩු කරනවා., ජාත්‍යන්තර ප්‍රමිතීන් අනුව තක්සේරු කරනවා.ගුරුවරු යාවත්කාලීන කිරීමට ආසියානු සංවර්ධන බැංකුවෙන් මුදල් වෙන් කරගෙන තියෙනවා. ලෝක බැංකු ආධාර වැඩසටහනට අපි සාකච්ඡා කරලා ඉවරයි. සබරගමු විශ්වවිද්‍යාලය, රුහුණු විශ්වවිද්‍යාලය,මොරටු විශ්වවිද්‍යාලයේ නතර වුණු ඉදිකිරීම් ඇරඹිලා. සාගර විශ්වවිද්‍යාලයට කොරියාවේ කොයිකා එකෙන් ලැබෙන ඩොලර් මිලියන 82 නැවත ගන්න පුළුවන් වුණා. මේ හැම දෙයක්ම අවුරුදු දෙකක දෙකයි මාස තුනකදී අපි කරපු දේවල්. විශ්වවිද්‍යාලවල ඇකඩමික් ස්ටාෆ් එකේ සියයට 25ක් වැඩි කලහම අවසානයේ සියයට තිස්තුනක් ක් වැඩි වුණා. වැටුප් විෂමතාවය ඉවත් කිරීම හරහා අනධ්‍යයන සේවකයින්ගේ වැටුප් ප්‍රශ්නයත් විසඳුණා.මෙයින් විශ්වවිද්‍යාලවල සාමය ඇති වෙනවා. විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ගේ ශිෂ්‍යාධාර සහ මහපොළ ලබන අවුරුද්දේ සිට 2,500 කින් වැඩි කරන්න තීන්දුව ගත්තා. මහපොළ අරමුදලේ මුදල් නැහැ.ඒ නිසා භාණ්ඩාගාරයෙන් අතිරේක මුදල් ලබා දෙනවා.
මේවා පොරොන්දුවක් හැටියට හෝ දීල තියෙන්නෙ මොන අපේක්ෂකයද. යම් යම් කරුණු අල්ලගෙන විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් පාරට ගන්නවා විතරයි. ඒගොල්ලන්ගේ අධ්‍යාපනය දියුණු කරන්න, පාඨමාලා නවීකරණය කරන්න, ලෝකයේ රැකියා වෙළඳපලට ගැලපෙනවා උපාධි පාඨමාලා ඉදිරිපත් කරන්න වැඩ පිළිවෙලක් ඉදිරිපත් කරලා තියෙන්නේ කවුද?
‘එන්. වී. කියු.’ නොතේරෙන අපේක්ෂකයො
සමහර අපේක්ෂකයෝ පස්දෙනෙකුගෙන් විතර කැබිනට් එකකුත් හදලා. මේක ලේසි පාසු වැඩක් නෙවෙයි කවදාවත් හරියට ඇමතිකමක් නොකරපු කෙනෙක් කෙනෙකුට සහ කණ්ඩායමකට මේ රට මෙතනින් එහාට ගෙනියන්න පුළුවන් ද...? සමගි ජන බලවේගය අපේක්ෂකතුමා අවුරුදු පහක ඇමැතිකමක් කළත් කොළඹ නගරයේ නිවාස ප්‍රශ්නය විසඳන්න එක ගෙයක් හරි කොළඹ හැදුවද? ගම්වල භාගයක් සල්ලි දිලා එදා හදපු ගෙවල් කොයිතරම් අතහැරලා දාලා තියෙනවද...? මතකනේ පත්වීම් දුන්න හැටි. අපි රැකියා ලක්ෂයක් ලබාදීමේ වැඩපිළිවෙල සැලසුම් කරලා තියෙන්නේ. උපාධිධාරීන්ගේ රැකියා ප්‍රශ්නය විසඳන්න වැඩපිළිවෙළක් තියෙනවා. එන්. වී. කියු කියන එක තේරෙන්නෙත් නැති අපේක්ෂකයො ඉන්නවා. එන්. වී. කියු 3, සාමාන්‍ය පෙළට සමානයි. එන්. වි. කියු 4 උසස් පෙළට සමානයි. බොහෝ දෙනෙකුට ඔය දෙකවත් තියෙනවද කියලා දන්නේ නැහැ. මේ ඡන්දෙ දෙන්නෙ කණ්ඩායමකට නෙමෙයි. එක්කෙනාටයි. ජනාධිපති අපේක්ෂකයාගේ සුදුසුකම, ජනාධිපති අපේක්ෂකයාගේ පහුගිය ක්‍රියා කලාපය, ජාත්‍යන්තර සමඟ ගනුදෙනු කිරීමේ හැකියාවයි මෙතනදි සලකා බැලෙන්නේ.
රාජ්‍යතාන්ත්‍රික භාවය යනු කුමක් ද?
එදා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය කච්චතිව් දූපත ගත්තා. ඉන්දිරා ගාන්ධි අපිට බය වෙලා නෙවෙයි ඒක දුන්නේ. ඒ රාජ්‍යතාන්ත්‍රිකභාවය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යුද්ධය අවසන් කරන අවසාන සතියේ ඉන්දියාවේ මැතිවරණයක් තිබුණා. ඒ වෙලාවේ අපිට ආවේ සුළුපටු බලපෑම් නොවේ. අපි යුද්දේ නැවැත්තුවේ නැහැ. බය වෙලාද? නැහැ. ඒක තමයි රාජ්‍යතාන්ත්‍රික භාවය. රාජ්‍යතාන්ත්‍රික භාවය පිළිබඳව මේ අයට තියෙන පලපුරුද්ද මොකක්ද? ලංකාව අද ජීවත් වෙන්නේ ලෝකයත් එක්කයි. අනෙක් රටවල් වල ප්‍රතිපත්ති දැනගන්න ඕන. ඒවට ගරු කරන්න ඕනේ. උපක්‍රමශීලීව අපට සිද්ධ වෙනවා රටවල් වල මිත්‍රත්වය තියාගන්න. නොබැදි පිළිවෙත අදට වලංගු ද, ශක්තිමත්ව තිබුණා නොබැඳි සමුළුවට මොකද වුණේ. සාර්ක් එකට මොකද වුනේ. ඒවා දන්නේ වත් නැහැ. පත්වෙන නායකයාට පුළුවන්කම තියෙන්න ඕන ජාත්‍යන්තරය අමතන්න. සිංහලෙන් කතා කරන්න ද ජාත්‍යන්තර සමුළුවක. ක්ෂේස්පියර්ගේ ඉංග්‍රීසි ගැන බලන්න ඔක්ස්ෆර්ඩ් ඩික්සනරියක් අරගෙන යන්න ද? මෙයා කියන ඉංග්‍රීසි තේරෙන්නේ නැහැ කියලා සමුළුවේ අය කියයි. මුළු රටේම ජනතාව ඡන්දෙ දෙන්න විධායක ජනාධිපතිවරයෙක්ට. ඒ විධායක බලය තමයි ඇමතිවරුන්ට විෂයන් හැටියට බෙදෙන්නේ.
බ්ලූම්බර්ග් වෙබ් අඩවියේ නිරීක්ෂණය
අද මේ වගේ වෙලාවක අත්හදාබැලීම් කරන්න බැහැ. බ්ලූම්බර්ග් වෙබ් අඩවිය ආර්ථිකය ගැන වරින් වර ප්‍රකාශ කරනවා. අපි වැටිච්ච වෙලාවෙත් පුරෝකථනයන් දුන්නා. අද කියනවා ශ්‍රී ලංකාවේ දේශපාලන වශයෙන් තිබෙන්නා වූ අවදානම වැඩි වෙමින් පවතිනවා කියලා. ණය පිළිබඳ ප්‍රශ්නය ව්‍යාකූල තත්ත්වයට පත්වෙනවා. මේකට හේතුව විදියට කියන්නේ විපක්ෂයේ අපේක්ෂකයෝ අයි.එම්.එෆ් එකත් එක්ක නැවත සාකච්ඡා කිරීම කියලයි පෙන්වා දෙන්නේ. පැරිස් සමුළුව, චීනය, ඉන්දියාව එකඟ වුණා. අයි.එම්.එෆ් එක ඒගොල්ලන්ගේ කාර්යභාරය ඉටු කළා. තව රටවල් දෙක තුනක් විතරයි අවසන් කර ගන්න තියෙන්නේ. ආපහු කතා කරන්න ගියොත් මේ හැම දෙයක්ම ආපස්සට යනවා. විපක්ෂ අපේක්ෂකයින් මේ අවදානම ගැන උත්තර දෙන්න. ජනතාවට බොරු කියන්න එපා.
අපි ආවත් ටිකෙන් ටික පියවරෙන් පියවර තමයි හදන්න වෙන්නේ කියලා සමහර කතිකයෝ අද වේදිකාවේ කියනවා. රනිල් වික්‍රමසිංහ මේක බාර අරගෙන පෝලිම් නැති කරලා, බඩු මිල, තෙල් මිල පාලනය කරගෙන එහෙම තැනකට නොගෙනාව නම් අද මෙහෙම මැතිවරණයක් තියන්න පුළුවන් ද? හිටපු ජනාධිපතිතුමා එදා ආණ්ඩුව දාලා ගියපු වෙලාවේ හිටපු කැබිනට් එකේ අය මාස තුනක් විතර යනකම් මගුලකට මරණයකට දොට්ට බැස්සේ නෑ. දැන් ඡන්ද ඉල්ලන්නත් යනවා. ඒ අර්බුදය මේ තරම් දුරට කළමනාකරණය කරගෙන කොහොමද මේක ගොඩදැම්මෙ කොහොම ද කියලා වාණිජ බැංකු, රාජ්‍ය බැංකු වගේ බැංකු ක්ෂේත්‍රයේ අය දන්නවා. ලංකා බැංකු සේවක සංගමය දේශපාලන මතවලට බෙදිලා යන්න එපා. මේ බැංකු වැටෙන්න නොදී බේරගත්තේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා. නැත්තං අද රැකියාවක් නැහැ. ග්‍රීසිය බංකොලොත් වුණා. බැංකු කඩන් වැටුණා. බැංකු ගාව පෝලිං හැදුණා. අපේ රටේ එහෙම වුනේ නැහැ. එහෙම නොවුණේ නියමිත වෙලාවට ආර්ථිකය කළමණාකරණය කරපු නිසා.
ථෙරවාද ආර්ථිකය යනු කුමක් ද?
ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අංක එක දීලා තියෙන්න ථෙරවාදී ආර්ථික ප්‍රතිපත්තියට. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට එනකොට ගෙනාවේ බෞද්ධ දර්ශනය විතරක් නෙවෙයි, අර්ථ ක්‍රමයක් ගෙනාවා. ඒක පදනම් වෙලා අනුරාධපුර රාජධානිය බිහිවුණා. තායිලන්තයේ අයෝද්‍යාවෙත් ඒක ක්‍රියාත්මක කළා. ජනාධිපතිතුමා නාමයෝජනා දීලා ගියේ දළදා මාලිගාවට. ඊට පහුවදා ශ්‍රී මහා බෝධියට. අපේ සමහර අපේක්ෂකයෝ පරක්කු වෙලා ගියේ. එතුමා ඒකෙන් ආදර්ශයක් දුන්නා. ථෙරවාද ආර්ථිකය කියන්නේ නිකන් වචනක් නෙවෙයි ඒකේ ගැඹුරු අර්ථයක් තියෙනවා.
දරුවෝ දේශපාලනයට යොදාගන්නවා නම් ඒක සම්පූර්ණ වරදක්. පාසල් ළමුන් යොදවා ගෙන දේශපාලන ව්‍යාපාරයක් කරනවා නම් ඒකෙන් පේන්නේ ඒ දේශපාලන ව්‍යාපාරය තියෙන තැන. අපි කිසිසේත්ම ඒකට ඉඩ තියන්නේ නැහැ යම් කෙනෙක් දරුවෝ දේශපාලනයට යොදාගන්න බව අමාත්‍යාංශයට වාර්තා වහාම පරීක්ෂණයක් කරනවා. අපිට තියෙන්නේ මැතිවරණ කොමසාරිස්ට කියන්න මැතිවරණ කොමසාරිස් පියවර ගන්නවා. තමන්ගේ ඡන්ද ව්‍යාපාරය ගැන ඔය තරම් සහතිකයි නම් දරුවන්ව ඡන්ද ව්‍යාපාර වලට යොදා ගන්නේ ඇයි...?’’
(සටහන - ජයසිරි අලවත්ත)