2024 වසරේ මුල් මාස 8හි බදු ආදායම පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 28.5%කින් වර්ධනය වී ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ඊයේ (12) පස්වරුවේ නිකුත්කළ නිවේදනයකින් ඒ බව දැක්වෙයි.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් මේ වසරේ ජනවාරි මාසයේ සිට අගෝස්තු මස 31 වැනිදා දක්වා මාස අටක කාලය තුළදී ඔට්ටු සහ සූදු බද්ද වශයෙන් රුපියල් මිලියන 11,355 ක අදායමක් උපයා තිබේ.
එම මාස අටක කාලය තුළදී දෙපාර්තමේන්තුව උපයා තිබෙන සම්පූර්ණ බදු ආදායම රුපියල් මිලියන 1,229,245ක් බව එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් සේපාලිකා චන්ද්‍රසේකර සඳහන් කළාය.
ඒ අනුව සංස්ථාපිත හා සංස්ථාපිත නොවන ආදායම් බද්ද රුපියල් මිලියන 624,439 ක්ද, එකතු කළ අගය මත බද්ද රුපියල් මිලියන 468,863 ක්ද, සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද රුපියල් මිලියන 122,917 ක්ද, කොටස් ගනුදෙනු බද්ද රුපියල් මිලියන 1,453 ක්ද, වෙනත් බදු වර්ගවලින් රුපියල් මිලියන 219ක්ද උපයාගෙන තිබේ.
ඉකුත් වසරේ (2023) පළමු මාස අටක කාලය තුළදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව උපයා තිබෙන බදු ආදායම රුපියල් මිලියන 956,418ක් බවත්, එම කාලසීමාවට සාපේක්ෂව මේ වසරේ පළමු මාස අට තුළදී බදු ආදායම සියයට 28.5 කින් ඉහළ ගොස් ඇති බවත් කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කළාය.
ඉකුත් වසරේ (2023) පළමු මාස අටක කාලය තුළදී සංස්ථාපිත හා සංස්ථාපිත නොවන ආදායම් බදු වශයෙන් රුපියල් මිලියන 535,301ක්ද, එකතු කළ අගය මත බද්ද වශයෙන් රුපියල් මිලියන 307,692ක්ද, සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද වශයෙන් රුපියල් මිලියන 107,898ක් වශයෙන්ද, ඔට්ටු සහ සූදු බද්ද වශයෙන් රුපියල් මිලියන 3,448ක්ද, කොටස් ගනුදෙනු බද්ද වශයෙන් වශයෙන් 1,901ක් වශයෙන්ද, වෙනත් බදු වශයෙන් රුපියල් මිලියන 178ක්ද උපයා ඇත.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සදහා මේ වසර සඳහා ලබාදී තිබෙන බදු ඉලක්කය රුපියල් බිලියන 2,024 කි.