උතුරේ කටයුතු දේශපාලන ප්‍රශ්නවලට පමණක් සීමා කළ නොහැකි අතර සංවර්ධනයද අවශ්‍ය බවත් එසේ නොවුණහොත්
අනෙක් පළාත් සංවර්ධනයෙන් ඉදිරියට යන විට උතුර පසුපසට යන බවත් පැවසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, උතුරේ දේශපාලන මෙන්ම සංවර්ධන ගැටළුවද විසඳන බව ප්‍රකාශ කළේය.
පළාත් සභා ශක්තිමත් කර බලතල ලබාදීම පිළිබඳ තම ප්‍රතිපත්ති ප්‍රකාශයේ කරුණු ඇතුළත් කර තිබෙන බවත් මහ ආණ්ඩුවට උදව් කිරීමට පළාත් ආණ්ඩු 09ක් යටතේ සංවර්ධන වැඩපිළිවෙළ වේගවත් කරන බවත් ජනාධිපතිවරයා පැවසිය.
එසේම ජාතික ඉඩම් කොමිසම සහ සත්‍ය හා ප්රතිසන්ධාන පිළිබඳ කොමිෂන් සභාව (TRC) ඇති කිරීමට කටයුතු කරන බවත්, විනිසුරු නවාස් කොමිසම අනුව කටයුතු කරමින් අතුරදන්වූවන්ගේ ගැටළුව ඉදිරි වසර 05 තුළ සම්පූර්ණයෙන් විසඳීමට පියවර ගන්නා බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ අද (14) පෙරවරුවේ යාපනයේ මුත්තුවේලි ක්‍රීඩාංගණයේ පැවති “රනිල්ට පුළුවන්” විජයග්‍රාහී ජන රැලිය අමතමිනි.
එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ විජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබු මෙම ජන රැලියට මහා සංඝරත්නය ප්රමුඛ අන්‍යාගමික නායකයන් ද, ඊ.පී.ඩී.පී සංවිධානයේ පක්ෂයේ ප්‍රාදේශීය දේශපාලන නායකයන්, ආසන සංවිධායකවරු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
හිටපු කෘෂිකර්ම ඇමති අනුර කුමාර එදා පළාත් සභාවලට විරුද්ධව දකුණේ විශාල ව්‍යාපාරයක් ගෙන ගිය ආකාරයද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා අද යාපනයට පැමිණ ජනතාවට විවිධ පොරොන්දු ලබා දුන්නද මෙම කටයුතු පිළිබඳ ඔවුන් ජනතාවට සහතිකයක් ලබා දිය යුතු බව අවධාරණය කළේය.
පසුගිය ආර්ථික අර්බුදය හමුවේ මෙරට සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාවට බලාපොරොත්තුවක් නොතිබු අවස්ථාවක සහ අනාගතයක් පෙනෙනන්ට නොතිබු අවස්ථාවක අනාගතය පිළිබඳ බලාපොරොතුවක් ලබාදීමට තමා කටයුතු කළ බවත්, “පුළුවන් ශ්‍රී ලංකා” වැඩපිළිවෙළ තුළින් අනාගතය පෙන්වා දී ඇති බවත් සඳහන් කළ ජනාධිපතිවරයා මේ වන විට රටේ ආර්ථිකයේ දොරගුළු විවර කර ඇති බවද කියා සිටියේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකා රජය ආරම්භ කළ වැඩපිළිවෙළ ශක්තිමත්ව ඉදිරියට ගෙන නොගියහොත් නැවත රටේ ආර්ථිකය කඩා වැටිය හැකි බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊයේ නිවේදනයක් නිකුත් කරමින් සිදු කළ අනතුරු අඟවීමද සිහිපත් කළ ජනාධිපතිවරයා, රට ගොඩනගන වැඩපිළිවෙළ ආරක්ෂා කර ගනිමින් ඉදිරියට ගෙන යාම සියලුදෙනාගේ වගකීම බවද කියා සිටියේය.