මේ වන විට බොහෝ විචාරකයන් පුරෝකථනය කරන ආකාරයට මෙවර ජනාධිපතිවරණයෙදී දෙවෙනි මනාපය ගණනය කිරීමට සිදුවිය හැකි අතර
එහිදී එම ක්‍රියාවලියට ගතවන කාලය සහ මැතිවරණයට අදාළව මහජනතාව තුළ පැවතිය හැකි උද්වේග සැලකීමේ දී එකී කාලසීමාව පිළිබඳව වගකිව යුතු සෑම අංශයක් ම බලවත් අවධානයක් යොමු කළ යුතුව ඇතැයි හිටපු කතානායක කරු ජයසුරිය පවසයි.
එකී කාලය තුළ ජන ජීවිතයෙහි සාමකාමිත්වයට මෙන් ම රටේ යහපැවැත්මට හානිකර විය හැකි කිසිදු තත්ත්වයකට ඉඩක් නොතැබිය යුතු බව ඔහු අවධාරණය කර සිටියි.
බංකොලොත්භාවයට පත්ව තිබෙන රටක් ඉන් මිදීමට ගනු ලබන ප්රයත්න අතරතුර පැවැත්වෙන මෙම ජනාධිපතිවරණය රටට ඉතාමත්ම තීරණාත්මක මැතිවරණයක් බව ද හිටපු කතානායක කරු ජයසුරිය පවසයි.
හෙතෙම එබව සඳහන් කර ඇත්තේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.
එම නිවේදනයේ මෙසේ සඳහන් වේ.
මෙම මැතිවරණය තීරණාත්මකයි
‘‘කරුණු කිහිපයකට ම අදාළව සැලකීමේ දී මෙවර ජනාධිපතිවරණය සුවිශේෂි මැතිවරණයක් ලෙස සැලකිය හැකි ය. අප මේ මුහුණ දෙන්නේ වසර හතරකට පසුව මුහුණ දෙන පළමු මැතිවරණයට ය. ඉන් අදහස් වන්නේ පසුගිය වසර හතරක කාල සීමාව තුළ පැවැත්විය යුතුව තිබු පළාත් සභා සහ පළාත් පාලන යන මැතිවරණ විවිධ හේතු මත නොපවත්වා ඇති පසුබිමක රටේ ජනමතය උරගා බැලීමට වසර හතරකට පසුව අවස්ථාව ලැබෙන්නේ මෙවර ජනාධිපතිවරණයේ දී ය යන්න ය.
අනෙක් පසින් මෙම ජනාධිපතිවරණය විශේෂිත වන්නා වූ තවත් කාරණයක් ද තිබේ. එනම් ශ්‍රී ලංකා ඉතිහාසය තුළ සිදු වූ ඉතාමත් ම බැරෑරුම් සහගත සිදුවීමක් ලෙස සැළකිය යුතු ආර්ථික බංකොලොත්භාවයට පත්ව තිබෙන රටක් ඉන් මිදීමට ගනු ලබන ප්රයත්නයන් අතරතුර පැවැත්වෙන මෙම ජනාධිපතිවරණය රටට ඉතාමත්ම තීරණාත්මක ය.
ද්වන්ධ සටනක් නොවන පළමු සටන
අනෙක් පසින් නිදහසින් පසු රට තුළ ස්ථාවරව පැවති ප්‍රධාන දේශපාලන පක්ෂ කිසිවක් මෙවර ජනාධිපතිවරණයට සෘජුව තරඟ වදින්නේ නැත. මෙම ජනාධිපතිවරණයට තරග වදින පක්ෂ සහ සන්ධාන සැලකීමේ දී ඒවායෙහි ඉතිහාසය දශකයක තරම්වත් කාලයකට හෝ හිමිකම් නොකියයි. එමෙන් ම ඉතිහාසයේ ප්‍රථම වරට මෙවර පවතින්නේ ද්වන්ධ සටනක් නොවේ. මූලික වශයෙන් එය තුන්කොන් සටනක් බවටද පත්ව තිබේ. ඒ කිසිවක් නොතකා සිටිය ද ශ්‍රී ලංකාවට අදාළව සැලකීමේ දී ජනාධිපතිවරණයක් යනු ඉදිරි වසර පහක කාලයකට අදාළව රාජ්‍ය නායකත්වයට සුදුස්සකු තෝරාපත් කරගැනීම සඳහා එළැඹ ඇති අවස්ථාවකි.
වෙනත් ආකාරයකට සඳහන් කරන්නේ නම් රටේ ඉදිරි අනාගතයෙහි දිශානතිය බොහෝ දුරට තීන්දු විය හැකි මෙන් ම ඒ තුළ ජනතාවගේ ඉරණමට බලපෑමක් ඇති කළ හැකි නායකත්වයක් තීන්දු කරනු ඇත්තේ ජනාධිපතිවරණයෙහි ප්‍රතිඵලයට අනුව ය. නිශ්චිත වශයෙන් ම එය රටේ මෙන් ම ජනතාවගේ ඉරණමට අදාළ සුවිශේෂි කඩඉමකි.
ජයග්‍රාහී අවසානයක් කරා
මෙවැනි සුවිශේෂි තත්ත්වයක් අපට වැදගත් වන්නේ ජයගත යුතුව ඇති අභියෝග ලෙස කරුණු තුනක් අප ඉදිරියේ අප ඉදිරියේ පවතින බැවිනි. එකී අභියෝග අතර තීරණාත්මක අභියෝගය ලෙස සැලකිය හැක්කේ රට ආර්ථික බංකොලොත් භාවයෙන් මුදා ගැනීමේ සටන ජයග්රාහි අවසානයක් කරා රැගෙන යෑම ය. එය සරල හෝ පහසු අභියෝගයක් ලෙස නොසැලකීම ද වැදගත් ය. ලෝකයේ එවැනි අනෙකුත් උදාහරණ සලකා බැලීමේ දී ඉතා කෙටි කාලයක් තුළ අප රටක් ලෙස ලබාගෙන ඇති ප්‍රගතිය පිළිබඳව යම් පමණකට හෝ සතුටු විය හැකි වුවත් අප ඉදිරියේ ඇති දැවැන්ත අවදානම සැලකීමේ දී එය කිසිසේත්ම සුළු කොට තැකිය නොහැකි ය.
සත්‍ය වශයෙන් ම එකී අභියෝගය අපට ජයගත හැක්කේ සාමුහික ප්රයත්නයකිනි; ජාතික වශයෙන් ඇති කර ගන්නා ඒකාග්‍රතාවයකින් සහ පරිශ්‍රමයකිනි. ඒ අනුව අවම වශයෙන් නුදුරු කාලසීමාවකට හෝ ඊට නායකත්වය දීමට සිදු වන්නේ මේ රටේ ජනතාවගේ පරමාධිපත්‍ය බලයෙන් තෝරාගැනීමට නියමිත ජනාධිපතිවරයාට ය.
අතිශය දුර්වල වූ වම
දෙවන වැදගත්ම කරුණ වන්නේ රට තුළ දේශපාලන ස්ථාවරභාවයක් තහවුරු කිරීමය. විශේෂයෙන් ම මැත භාගයෙහි දි අප රට තුළ දක්නට ලැබුණ සුවිශේෂි තත්ත්ව තුළ රටේ ස්ථාවරව පැවති පක්ෂ ක්‍රමය මේ වන විට බලවත් ලෙස දුර්වල කර තිබේ. නිදහසින් පසු රටේ පාලන බලයට නායකත්වය දුන් ප්‍රධාන පක්ෂ දෙකට අත්ව ඇති ඉරණම මෙන් ම රටට ඉමහත් සහ තීරණාත්මක බලපෑමක් සිදු කළ සාම්ප්‍රදායික වම අතිශය දුර්වලවීම තුළ පක්ෂ ක්‍රමය වෙනුවට පුද්ගල නායකත්වයන් කෙරෙහි විශ්වාසය තැබීම දක්වා ම ජනතාව තුළ ද පෙළඹීමක් ඇති බව පෙනෙන්නට තිබේ.
මේ රටේ සෑම දේශපාලන ධාරාවකට ම නායකත්වය ලබාදෙන පුද්ගලයන් කෙරෙහි මහත් වූ ගෞරවයක් අප තුළ පවත්නේ වුව ද රටක් පිළිබඳව සැලකීමේ දී අප වඩාත්ම විශ්වාසය තැබිය යුත්තේ ප්‍රතිපත්ති කෙරෙහි ය. එහිදි කිසියම් ප්‍රතිපත්තිමය රාමුවක් තුළ ජනතාව සංවිධානය කරනු ලබන්නේ දේශපාලන පක්ෂ විසින් ය. එහි දී බහු පක්ෂ ක්‍රියාකාරිත්වය රටක නීරෝගී ප්රජාතන්ත්රවාදි පැවැත්මට අතිශයින් ම වැදගත් ය.
ජනතා වගකීම
රටක පාලනයට අදාළව තීන්දු තීරණ ගත යුතුව ඇත්තේ සාමූහිකව ය. තනි පුද්ගල ආඥාදායකත්වයක් සෑම විටක ම ඕනෑ ම රටකට අදාළව ගෙනවිත් ඇත්තේ විනාශකිරිත්වය යි. සමස්ත ලෝක ඉතිහාසය ම ඊට සාක්ෂි දරනු ඇත. අප රටට අදාළව සැලකීමේ දී තනි පුද්ගල ආඥාදායකත්වයකට මග විවර කර ඇති විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ද පත්වන ජනාධිපතිවරයාගෙන් සහ පාර්ලිමේන්තුවෙන් අපේක්ෂා කරන ජාතික වගකීමකි.
ඒ අනුව අප රටේ දේශපාලන ස්ථාවරභාවය තහවුරු කරනු උදෙසා පත්වන ජනාධිපතිවරයා වෙත පැවරෙන්නේ තීරණාත්මක කාර්ය භාරයකි. ඒ වගකීම ඔහු වෙත පැවරෙන්නේ ජනතාව වෙතින් වන නිසා ජනතාව ද තමන් සතුව පවතින බරපතළ වගකීම කෙරෙහි අවබෝධයකින් යුතුව කටයුතු කළ යුතුව ඇත.
බෙදී ගිය ජාතියක්...?
පත්වන ජනාධිපතිවරයා හමුවේ ඇති අනෙක් ප්‍රධාන අභියෝගය වන්නේ රට තුළ ජාතික සහ ආගමික සංහිඳියාව සහතික කිරීම ය. සැබැවින් ම නිදහසින් පසු ගෙවු වසර හැත්තෑ හයක කාලය තුළ අප කිසිදු ප්‍රගතියක් අත්කරගෙන නොමැති ප්‍රමුඛතම ක්ෂේත්රය ලෙස එය පෙන්වා දිය හැකි ය. රටක් ලෙස අප පසුපසට ඇද දැමිමට හේතුකාරක වූ ප්‍රමුඛතම සාධකය ලෙස සැලකිය හැක්කේ පූර්ණ ජාතික රාජ්‍යයක් ගොඩනගා ගැනීමට අපොහොසත් වීම ය. එහි ප්‍රතිවිපාක මේ දක්වා ම නිවැරදි ලෙස තක්සේරු නොකිරීම ද රටක් ලෙස අප සිදු කර ඇති බලවත් වැරැද්දකි.
ජාතික රාජ්‍යයක් පරිපූර්ණ වන්නේ ජාතික ඒකාග්‍රතාව මත ය. නිදහසින් පසු සමස්ත ඉතිහාසය සලකා බැලීමේ දී අප සැලකෙන්නේ බෙදී ගිය ජාතියක් ලෙසට ය. එය නොපමාවම නිවැරදි කළ යුතු ය. ඒ මගින් රටේ අනාගතය යහපත් සහ ශක්තිමත් කිරීමේ වගකීම ද ඉදිරි රාජ්‍ය නායකත්වයට පැවරෙන ප්‍රධානතම වගකීමක් වනු ඇත.
සිවිල් සංවිධාන මැදිහත් වීම
එයට අමතරව මෙවර මැතිවරණය සාමකාමි එකක් බවට පත් කරගැනීමේ ඇති වගකීම ද අප අමතක කළ යුතු නැත. ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසය සැලකීමේ දී ඈත අතීතයට සාපේක්ෂව ගෙවුණ දශක තුනක කාලය ගැන අපට බෙහෙවින් සතුටු විය හැකි ය. ඒ, නිදහස් සහ සාධාරණ මැතිවරණ සංස්කෘතියක් තහවුරු කරගැනීමට කටයුතු කිරීම හේතුවෙනි. ඒ සඳහා මේ රටේ සිවිල් සමාජ සංවිධාන විසින් සිදු කරන ලද මැදිහත්වීම මේ මොහොතේ දී ද ඉතාමත් ම අගය කළ යුතු ය.
එහි දී අප විශ්වාස කරන ආකාරයට අප මේ මොහොතේ අවධානය යොමු කළ යුතුව ඇති එක් සුවිශේෂි වැදගත් කාරණයක් ද තිබේ. එනම් මැතිවරණ පැවැත්වෙන ආසන්න දින වකවානුව තුළ සහ පශ්චාත් මැතිවරණ සමයේ දී ආරක්ෂා කර ගත යුතුව ඇති ජන ජීවිතයෙහි සාමකාමිත්වය යි.
දෙවන මනාපයේ පළමු අත්දැකීම
මෙවර ජනාධිපතිවරණයට අදාළව අප එසේ අවධාරණය කරන්නේ ඇතිවීමට විභවයක් ඇති එක් විශේෂ තත්ත්වයක් ද සැළකිල්ලට ගනිමින් ය. එනම් මේ වන විට බොහෝ විචාරකයන් පුරෝකථනය කරන ආකාරයට මෙවර ජනාධිපතිවරණයට තරග වදින කිසිදු අපේක්ෂකයෙකුට ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් 50% ක් හා තවත් වැඩිපුර එක් ඡන්දයක් ලබාගත නොහැකි වන තත්ත්වයක් ද උද්ගත විය හැකි ය.