විශ්‍රාමික මේජර් ජෙනරල් අරුණ ජයසේකර
මාලිමාවට එරෙහිව අසත්‍ය, ද්වේශසහගත චෝදනා ගණනාවක් සමාජගත කිරීමට විරුද්ධ පාර්ශ්ව උත්සාහ කරන බව ජාතික ජන බලවේගයේ ‘අදිටන’ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකයේ විශ්‍රාමික මේජර් ජෙනරල් අරුණ ජයසේකර පැවසී ය.
හෙතෙම මෙලෙස පැවසුවේ ඊයේ (15) ‘අදිටන’ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකය පැවැත්වූ මාධ්‍ය හමුවේ දී ය.
අපට එරෙහි චෝදනා
‘‘මෙයට දින කිහිපයකට පෙර මාධ්‍ය හමුවක් පවත්වා ඉතාම පැහැදිලිව ජාතික ජන බලවේගයේ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකයට, ජාතික ජන බලවේගයට පසුගිය කාලයේ එල්ල කළ අසත්‍ය චෝදනා පිළිබඳව අපි පැහැදිලි කරා. ඡන්දය පැවැත්වෙන කාලයේ ජනතාව නොමග යවන්න දරන උත්සාහය අප ප්‍රතික්ෂේප කරමින් හෙළා දැක්කා. එසේ තිබිය දීත්, පෙරේදා (14) නැවතත් බරපතළ අසත්‍ය චෝදනාවක් මෙම සංවිධානය ඉලක්ක කරගෙන ම ‘නව මග ජාතික ව්‍යාපාරය’ නමින් පෙනී සිටින සංවිධානයේ විධායක සභිකයෙක් ලෙස හැඳින්වූ ලක්ෂ්මන් සහ එහි ලේකම්, අනිල් ශාන්ත ප්‍රනාන්දු කියන අය අපට එරෙහිව බරපතළ චෝදනා එල්ල කළා.
‘විශ්‍රාමික හමුදා කල්ලියක්’ යනුවෙන් අපව හඳුන්වා, ජාතික ජන බලවේගයේ සිටින රටේ ප්රචණ්ඩත්වය ඇති කරන්න ගොඩනැගූ සංවිධානයක් බවත්, අවි ආයුධ එකතු කරන බවත්, ජනතාවට පීඩාකාරී වාතාවරණයක් ඇති කරන්න බුද්ධාගමට අගෞරවයක් වන ආකාරයෙන් හැසිරෙන බවටත් චෝදනා රාශියක් එල්ල කර තිබෙනවා. ඔවුන් අසත්‍ය, ද්වේශසහගත චෝදනා ගණනාවක් මේ ආකාරයට සමාජගත කරන්න උත්සාහ කරනවා. අපි ජාතික ජන බලවේගයත් සමඟ විවෘතව ජනතාව හමුවේ පෙනීසිටිමින් ක්‍රියා කරනවා. අපේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ඔවුන්ට එවැනි සාක්ෂි තිබෙනවා නම්, ඒවා ඉදිරිපත් කර නීතිමය ක්‍රියාමාර්ගවලට යන ලෙස දන්වනවා. අපි දෙදහස් විසි එකේ මෙම සංවිධානයට මූලික වශයෙන් ප්‍රවේශ වුණේ අවුරුදු තිස්පහක පමණ කාලයක් පුරා ඉතාමත් ගරුත්වයෙන් සහ අභිමානයෙන්, විනයගරුකව හමුදාව තුළ සේවය කිරීමෙන් පසුවයි.
අපි එකතු වුණ හේතුව
කවදත් අපේ ගරුත්වයක් ඒ හමුදාවලට තිබෙනවා. අපි රටේ පුරවැසියන්ව ආරක්ෂා කළා. ජාතිය ගොඩනගන්න උර දුන්නා. ඒ වාගේම ලෝකය ම පිළිගත් උසස් වෘත්තීය මට්ටමේ හමුදාවලට විනයගරුකව ඇතුළත් වුණු සාමාජිකයන් අපි. ඒ වගේම විශාල මානුෂීය මෙහෙයුමක් සිදු කරා. ඒ වගේම ජාතික ජන බලවේගය නිර්මාණය වී තිබෙන්නේ සිවිල් සංවිධාන සහ ජනතා විමුක්ති පෙරමුණ මූලික කර ගත් දේශපාලන පක්ෂ, වෘත්තීය සංවිධාන ගණනාවක් ඒකරාශී කරගෙනයි. මෙය විද්වතුන් රාශියකගෙන් ගොඩනැගුණු මහජන ව්‍යාපාරයක්.
හිටපු පාලකයන් මේ රටට කළ විනාශය අපේ දරුවන්ට ඉතිරි නොකර ප්රජාතන්ත්රවාදී ලෙස බලය ලබාගෙන රටට යහපත් හෙට දවසක් නිර්මාණය කරන්නයි අපි එකතු වී සිටින්නේ. මේ ගෙන යන වෛරී සහ ද්වේෂසහගත ප්‍රචාර සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ නීතිඥයන් මාර්ගයෙන් අපි දැඩි පියවර ගන්නවා. මැතිවරණ කොමිසමට සහ මැතිවරණය භාරව කටයුතු කරන නියෝජ්‍ය පොලිස්පතිවරයාට මේ සම්බන්ධයෙන් පැමිණිලි කොට තිබෙනවා. එතැනින් ඔබ්බටත් අධිකරණයේ සහාය පතන්න අපි කටයුතු කරනවා.
‘රණවිරු කල්ලි’
හතු පිපෙනවා වාගේ සංවිධාන පිහිටුවාගෙන ජාතීන් අතර අසමගිය ඇති කරන්න, මහජනයා අතර විරසකය ඇති කරන්න, ජනතාව නොමග යවන්න කාගේ හෝ පුද්ගලයකුගේ නැතිනම්, පක්ෂයක අවශ්‍යතාව මත මොවුන් මේ ව්‍යාජ මත ප්‍රචාරය කරනවා. ඔවුන්ගේ පැවැත්ම ඒක. අපි ඉන්නේ තව දින කිහිපයකින් මුළු රටම එකතු වී සියලු ම ජාතීන් එකට එකතු වී කරන ජයග්‍රහණය පෙනෙන තෙක් මානයේ.
ඔවුන් සිදු කළ ජාතික අපරාධවලින් බේරීමට නොහැකි බව දන්නා ඔවුන් වියරු වැටී සිටිනවා. මේ රටට පණ ගෙන දුන් අපි ප්රචණ්ඩත්වයක් ඇති කරන්න, ජනතාව පීඩාවට පත් කරන්න දශමයකින්වත් දායක වන්නේ නැහැ. අපව හැදූ, වැඩූ ශ්‍රේෂ්ඨ හමුදාවලට අපේ අනන්‍යතාව සහ ගෞරවය හැමදාමත් තිබෙනවා. මේ වැනි වෛරී ප්‍රකාශ සිදු කර අපව කලබල කරන්න හෝ කුපිත කරන්න බැහැ. මෙයට වඩා දරුණු තත්ත්වයක් යටතේ අපි කටයුතු කළා. මේවා අපට ඔරොත්තු දෙනවා. ‘අදිටන’ ත්‍රිවිධ හමුදා සාමුහිකයේ සාමාජිකයකුගේ නිවසකට, ඉඩමකට සම්බන්ධ කර අවි ආයුධ හමු වුණු බවට ප්‍රචාරය කළොත්, ඔබලා කිසිවකුත් පුදුම වන්න එපා. එවැනි සැලසුම් තිබෙනවා.
ජනතාවට ජීවත් වන්න මත්ද්‍රව්‍යවලින් තොර පාතාලයෙන් තොර ආරක්ෂිත, නිදහස් රටක් ඕනෑ. රට වැටුණු වෙලාවේ ජාතික ජන බලවේගය වාගේ මහජන ව්‍යාපාරයක් එක්ක එකතු වී කටයුතු කිරීමට ලැබීම ගැන නිහතමානී සතුටක් තිබෙනවා. පසුගිය කාලයේ මේ රට පාලනය කළ අය සමග ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන් එකතු වන විට ඔවුන්ව ‘රණවිරුවන්’ ලෙස හැඳින්වූවා. අපි ජාතික ජන බලවේගයත් එක්ක එකතු වෙන කොට ‘කල්ලි’ යනුවෙන් හඳුන්වනවා. රණවිරුවෝ දඩයම් කර ගත්තේ ඔය කියන දේශපාලන පක්ෂ. අපි කෙළින් වැඩ කරන අය. ඒ නිසා අපි ජනතාවට කෙළින් ම කියනවා, ඔය බොරු අවලාදවලට හසුවන්න එපා කියලා. ඒ වාගේම කිසිම දෙයකට කලබල වෙන්නත් එපා. විසි එක්වැනිදා පැවැත්වෙන ඡන්ද විමසීමට ගොස් ජාතික ජන බලවේගයේ අපේක්ෂක, අනුර කුමාර සහෝදරයා ජයග්‍රහණය කරවන්න. ඒ වාගේම විසි එක්වැනිදාට පසු කිසිම ප්රචණ්ඩත්වයක්, කිසිම කලබලයක් ඇති නොවන ලෙස ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන්න.’’
අපි විනයගරුකයි - විශ්‍රාමික මේජර් ජෙනරල් නිශ්ශංක විජේසිංහ
යුදහමුදාවේ හිටපු මාණ්ඩලික ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල් නිශ්ශංක විජේසිංහ,
‘‘මම යුද්ධය අවසන් අදියරේ දී මාණ්ඩලික ප්‍රධානී හැටියට කටයුතු කළා. දෙදහස් නමය වර්ෂය අවසානයේ දී විශ්‍රාම ගියා. ප්‍රජාතන්ත්‍රවාදීව පාලනය කරන රටක ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කිරීම සඳහා ක්‍රියා කර විශ්‍රාම ගිය අපට අභූත චෝදනා එල්ල කරන්නේ කිසිම දැනඋගත්කමක් නැති පිරිසක්. ජාතික ජන බලවේගය පරදිනවා යැයි ආරම්භයේ දී ම සඳහන් කර ටික වේලාවක් යන කොට ඔහු කියන්නේ ජයග්රහණයෙන් පසුව කලබල ඇති කරන බවයි. පෙර සඳහන් කළ සංවිධානයේ ප්‍රකාශකයා ඔහු කියන දේ සම්බන්ධයෙන්වත් අවබෝධයක් නැති අයෙක්. ඒ වාගේම ඔහු සඳහන් කරන්නේ ඔහුට හිතෙන, ඔහුට දැනෙන දේවල් බව ඔහුම ප්‍රකාශ කරනවා. ඒ ප්‍රකාශවලින්ම පැහැදිලි වෙන්නේ, ඔහු මනෝචිකිත්සකයකු ළඟට ගෙන යා යුතු බවයි.
අපි අපේ කාලයේ විනයගරුකව කටයුතු කරා වාගේ ම සේවයක් අද සිටින ත්‍රිවිධ හමුදාවත් එලෙස විනයානුකූලව ම කටයුතු කරනවා. ඔවුන්ගේ ව්‍යාජ ප්‍රකාශයෙන් අද සක්‍රීයව සේවයෙහි යෙදී සිටින ත්‍රිවිධ හමුදාවටත් ව්‍යංගයෙන් චෝදනා එල්ල කෙරෙනවා. ඒ බවවත් ඔවුන්ට හැඟීමක් නැහැ. අපි මේ දේශපාලනය කරන්නේ මේ රටේ පුරවැසියන් හැටියට අපට තිබෙන මූලික අයිතිවාසිකමක් මත විවෘතවමයි. කිසි කෙනකුට හැංගිහොරා අපි කටයුතු කරන්නේ නැහැ. එසේ තිබිය දී, ආගමට විරුද්ධව කටයුතු කිරීම, අවිආයුධ එකතු කිරීම වැනි චෝදනා ඉතාමත් ම බරපතළයි. අපගේ සාමාජිකයන් සියලු ම දෙනා විශ්‍රාම ගැනීමෙන් අනතුරුවත් විනයගරුකව නොකැළැල් පැවැත්මක් සහිතවයි ජාතික ජන බලවේගය සමග එක් වී සිටින්නේ.’’
අපි කල්ලි නොවේ
ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශ්‍රාමික කොමදෝරු සේනක හංවැල්ල
‘‘අපි ජාතික ජන බලවේගයට ‘අදිටන’ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකය ලෙස සම්බන්ධ වී සිටින්නේ පැහැදිලි අවබෝධයකින් යුක්තව. යුද හමුදාවේ වසර තිස්පහක් පමණ සේවය කර ජ්‍යෙෂ්ඨ නිලයන් දැරූ නිකැළැල් පුද්ගලයන් ලෙස අපි එකතු වී සිටිනවා. ඒ වාගේම අපි ජාතික ජන බලවේගයට එකතු වුණේ මේ රටේ මජර දේශපාලනය පිළිබඳව පැහැදිලි අවබෝධයකින් යුක්තව. අපි තරම් මේ දේශපාලනයේ මජරකම, දූෂිත බව වෙන කිසිවකුත් දැක නැහැ. හැත්තෑහය වසරක් තිස්සේ පවතින මේ ක්‍රමය අවසන් කර ජනතාවාදී පාලනයක් පිහිටුවාගෙන නව පුනරුද යුගයක් කරා රට ගෙන යාමට දේශපාලන ක්ෂේත්රයේ කටයුතු කළ ජාතික ජන බලවේගය සමග එකතු වූවා.
‘අදිටන’ කියන්නේ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා කල්ලියක් නොවෙයි. අපි පෙට්ටි කඩයක් නොවෙයි. අපි පාතාල කල්ලියක් නොවෙයි. ‘අදිටන’ බොහොම වෘත්තීයමය ආකාරයෙන් කටයුතු කරන සංවිධානයක්. ජාතික මෙහෙයුම් කමිටුව සාමාජිකයන් දොළොස් දෙනකුගෙන් පිහිටුවාගෙන ජාතික ජන බලවේගයේ නායකත්වයත් සමග එක්ව කටයුතු කරනවා. ඒ වාගේම වවුනියාව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කත් ඇතුළුව රටේ දිස්ත්‍රික්ක විස්සක අපේ දිස්ත්‍රික් කමිටු ක්‍රියාත්මක වෙනවා. හැම දිස්ත්‍රික්කයක ම ප්‍රධාන සම්බන්ධීකාරකවරයෙක් ඉන්නවා. මෙතැන ඉන්න විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකාරකවරයා. ඔහුත් එක්ක මැතිවරණ කොට්ඨාස මට්ටමින් පත් කළ සංවිධායක සහ සහකාර සංවිධායකවරයකු සිටිනවා. ඒ නිසා අපි කල්ලි නොවන බව මම අවධාරණය කරනවා.
18න් පසු ටී ෂර්ට් නැහැ
‘නව මඟ’ කියන සංවිධානයේ පුද්ගලයෙක් සම්බන්ධ වීඩියෝ පටයක් වාගේම විසි දාහකට ආසන්න පිරිසක් සහභාගී වූ අපේ ජාතික සමුළුවට සම්බන්ධ වූ අයකු දැක් වූ අදහස් විකෘති කරපු වීඩියෝවක් සමාජගත කරන්න උත්සාහ කර තිබෙනවා. එදා සමුළුව ඇමතූ කථිකයන් ‘අදිටන’ සාමුහිකයේ අරමුණු ඉතා පැහැදිලිව සඳහන් කරා. ඒ සමුළුවට සහභාගී වූ හැමෝම යුතුකමක් ඉෂ්ට කරන්න කැපවීමේ අධිෂ්ඨානයෙන් පැමිණි අය.
ලංකාවේ දේශපාලන වේදිකාවට ‘ස්මාර්ට් පොලිටික්ස්’ හඳුන්වා දුන්නේ අපි. පසුගිය කාලය තුළ අපගේ සාමාජිකයන් රට පුරාම කතා සිය දහස් ගණනක් කර තිබෙනවා. නමුත්, අපි ත්‍රිවිධ හමුදාවට හෝ මේ රටේ ජනතාවට අපහාස වන ආකාරයේ කිසිදු ප්‍රකාශයක් කර නැහැ. නමුත්, අපට විරුද්ධව සිටින දේශපාලන වේදිකාවල විශ්‍රාමික හමුදා අය මොන වාගේ ද කතා කරන්නෙ කියලා පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. අපි කවරදාවකවත් ප්රචණ්ඩත්වය වපුරන, වෛරී ප්‍රකාශ කිසිවක් සිදු කර නැහැ. මම මෙයට පෙර මාධ්‍ය හමුවේ දී සඳහන් කළ ආකාරයට ‘අදිටන’ ටී ෂර්ට් එක දහඅටවැනිදා මධ්‍යම රාත්‍රියෙන් පසුව කිසිසේත්ම පාවිච්චි කරන්නේ නැහැ. නමුත්, එදිනෙන් පසුව යම් කෙනකු ඒ ටී ෂර්ට් එක භාවිත කළොත්, අපේ කෙනෙක් නොවන බව පැහැදිලිව ප්‍රකාශ කරනවා.’’
පරාජිත කණ්ඩායම් වියරුව
ශ්‍රී ලංකා යුද හමුදාවේ හිටපු නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ
‘නව මඟ ජාතික ව්‍යාපාරය’ යනුවෙන් නම් කර ගත් ඊනියා සංවිධානයක් ජාතික ජන බලවේගයට අභූත චෝදනා නගමින්, ඔවුන්ගේ පරාජයේ වියරුව ප්‍රදර්ශනය කරමින් සිටිනවා. ජාතික ජන බලවේගයේ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකය හැටියට අපි අවධාරණය කරන්නේ ජාතික ආරක්ෂාව අපේ ලේවල තිබෙන බවයි. සක්‍රිය සේවයේ යෙදී සිටිය දී වගේම අද ‘අදිටන’ට සම්බන්ධ වී ඒ තුළින් ජාතික ජන බලවේගය වටා එක් වී සිටින්නේත් රට සහ ජනතාව ආරක්ෂා කර ගන්නයි.
මේ රටට හෝ ජනතාවට හෝ විරුද්ධ කිසිදු හැඟීමක් අප කිසිවකුට නැති බව ජනතාවට අවධාරණය කරනවා. අවි ආයුධ එකතු කරන බවට එල්ල කරන චෝදනාව සම්බන්ධයෙන් අපට කියන්නට තිබෙන්නේ මුලින්ම අපි විශ්‍රාමික හමුදා සාමාජිකයන් එකතු කළ බවයි. ඊළඟට අපි ජනතාව එකතු කළා. මුළු රට ම එකමිටට මාලිමාවට ගෙන ආවේ ඒ විදියට. පරාජිත කණ්ඩායම් වියරුවෙන් නගන චෝදනා සම්බන්ධයෙන් කියන්නා කෙසේ කීවත්, අසන්නා සිහිබුද්ධියෙන් යුතුව ඇසිය යුතු බව අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.’’
(සටහන - ජයසිරි අලවත්ත)