theleaderlk 01

කුඩු සහ වෙනත් මත්ද්‍රව්‍ය වසංගතයක් බවට පත්වී ඇති බවත්, මේ රටම ඒ ව්‍යසනයෙන් මුදා ගත යුතු බවත් ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක (AKD )පැවසී ය.

හෙතෙම එලෙස පැවසුවේ පසුගිය 14වන දින අනුරාධපුරයේ පැවති ජන හමුවක් අමතමිනි.

එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක...

රනිල් සජිත් කලබල ඇයි...?

‘‘ජාතික ජන බලවේගයට ඓතිහාසික ජයග්‍රහණයක් මේ අනුරාධපුර ජනතාව රැගෙන දෙන බව අපිට විශ්වාසයි. සිය ගණනක් හාමුදුරුවරු අද මේ වේදිකාවට වැඩමකරලා, ආගම පාවිච්චි කරමින් අපට එරෙහිව නගන බොරු සහ අවලාදවලට නිසි පිළිතුරක් ලබා දී තිබෙනවා. දැන් සජිත්ලා, රනිල්ලා මේ තත්ත්වය තුළ හොඳටම කලබල වෙලා. අපිට එරෙහිව විවිධ මඩ, අවලාද අසත්‍ය තොරතුරු තොග ගණන් පතුරුවමින් ඉන්නවා. අපි ඒ අයට කියන්නේ දැන් පරක්කු වැඩියි කියලා. 

මේ ජයග්‍රහණය නතර කරන්න දැන් බැහැ. අපේ වගකීම තමයි මේ ජයග්‍රහණය විජයග්‍රහණයක් දක්වා ඔසවා තබන එක. මම ඊයේ අම්පාර දිස්ත්‍රික්කයේ අම්පාර, ඔළුවිල්, සයින්දමරදු, සමන්තුරේ, නින්දවූර් යන ප්‍රදේශ ගණනාවක රැස්වීම් කළා. එම ප්‍රදේශවල මුස්ලිම් ජනතාව දහස් ගණනක් මේ රට වෙනස් කිරීම සඳහා අපි වටා පෙළගැසී සිටින හැටි අපි දැක්කා. ඒ නිසා ලංකාවේ පළමුවැනි වතාවට ඉතා සුවිශේෂී ආණ්ඩුවක් හැදෙන්න යන්නේ. ඒක මොන වගේ ආණ්ඩුවක්ද? මෙතෙක් කල් හැදුණේ අනෙකාට එරෙහි ආණ්ඩු. උතුරු නැගෙනහිර ජාතිකත්වයන්ට එරෙහි ආණ්ඩු.

බෙදීමේ ඇරඹුම

මේ රටේ ජාතික සමගිය ගොඩනැගීමට තිබූ ඓතිහාසික අවස්ථා මේ රටේ පාලකයන් අතහැරලා දැම්මා. සුද්දගේ පාලනය යටතේත් අපේ රට පාලනය කළේ ජාතීන් අතර ගැටුම් නිර්මාණය වන පරිදි එකිනෙකා බෙදලා. එක්දහස්අටසිය දහඅටේ අරගලයේ දි සුද්දට එරෙහිව අපේ රටේ ජනතාව එකට එකතු කරගන්න බැරි වුණා. එක්දහස් අටසිය හතළිස් අටේදිත් එයම සිදුවුණා. එක්දහස් නමසිය දහනමයෙදී සිංහල, දෙමළ, මුස්ලිම් නායකයෝ එකතුවෙලා ලංකා ජාතික සංගමය ගොඩ නැගුවා. ඉතා ටික කාලයකදී එය කැඩී බිඳී ගියා. එක්දහස් නමසිය විසි අටේ බණ්ඩාරනායකලා වෙනම සිංහල මහා සභාව හදන්න පටන් ගත්තා. දෙමළ කොංග්‍රසය වෙනම හැදෙන්න පටන් ගත්තා. මුවර් සංගමය වෙනම හැදුණා. සතුරාට එරෙහිව එකට එකතුවී සටන් කරනවා වෙනුවට, බෙදෙන්නට පටන් ගත්තා. ඒ ඒ සන්ධානවල නායකයෝ හොරෙන් හොරෙන් ගිහිල්ලා ගතු කියලා එක එක වරදාන ඉල්ලන්න පටන් ගත්තා. ජාතිය බෙදුණා. එක්දහස් නමසිය හතළිස් අටේ නිදහස ලබා ගන්න විටත් තත්ත්වය ඒකයි. 

ඉන්දියාව නිදහස ලබන විට ඒ රටේ වමේ දකුණේ සියලුම නායකයන් එකට එකතු වෙලා ඉන්දියාවේ නිදහස් සටනට නායකත්වය දුන්නා. අපි නිදහස ලබන කොටත් බෙදිලා. නිදහසෙන් පස්සෙත් අපිව බෙදුවා. එක්දහස් නමසිය හතළිස් අටේ නිදහස ලබනවා. එක්දහස් නමසිය හතළිස් නමයෙ පුරවැසි පනත සම්මත කරනවා. ඒ පනත ගෙනැල්ලා වතුකරයේ දෙමළ ජනතාවගේ ඡන්ද බලය අහිමි කළා. එක්දහස් නමසිය තිස් ගණන්වල උතුරේ ශක්තිමත් දෙමළ තරුණ ව්‍යාපාරයක් තිබුණා. ඔවුන් අර්ධ නිදහස එපා කියලා සම්පූර්ණ ස්වෛරීත්වය ඉල්ලලා සටන් කළා. යාපනයේ තරුණ ව්‍යාපාරය විශාල කාර්යභාරයක් කළා. අපේ රටට නිදහස ලබා ගැනීම සඳහා. නමුත් බලය ගත්ත අපේ පාලකයෝ බලය සඳහාම අපිව බෙදුවා.

මර්දනයේ ඇරඹුම

රටේ නිදහස පතා අරගල කළ දෙමළ තරුණයෝ එක්දහස් නමසිය හතළිස් නමයේ ගෙනා පුරවැසි පනත නිසා දෙමළ රාජ්‍ය පක්ෂය කියලා වෙනම පක්ෂයක් හදාගන්නවා. උතුරට වෙනම පාලනයක් ඉල්ලනවා. එක්දහස් නමසිය පනස් හය වෙනකොට භාෂා ප්‍රශ්නයක් නිර්මාණය කරනවා. එක්දහස් නමසිය පනස් අට වෙනකොට ශ්‍රී අකුරේ කළුතෙල් ගාන්න පටන් ගන්නවා. නැවත සිංහල, දෙමළ, මුස්ලිම් කෝලහලයක් පටන් ගන්නවා. එක්දහස් නමසිය හැට පහේ ඩඩ්ලිගේ බඩේ මසල වඩේ කියලා පෙළපාළි යන්න පටන් ගන්නනවා. නැවත එක්දහස් නමසිය හැත්තැ දෙකේ දි දෙමළ එක්සත් පෙරමුණ හදනවා. එක්දහස් නමසිය හැත්තෑ හයේ දි දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ හදනවා. දෙමළ පක්ෂ ඔක්කෝම එකට එකතු වෙලා වඩුක්කොඩෙයි සම්මේලනය තියලා වෙනම රාජ්‍යයක් සඳහා ජනවරමක් ඉල්ලනවා. එක්දහස් නමසිය හැත්තෑ අටේ දි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගේනවා. මිනිස්සු මර්දනය කිරීම අරඹනවා. 

 
එක්දහස් නමසිය අසූ එකේ දිස්ත්‍රික් සංවර්ධන සභා ඡන්දයේ දි එදා යාපනයට ගිය රනිල්ලා, ගාමිණී දිසානායකලා, ජේ.ආර්.ලා උතුරේ ජනතාවගේ ඡන්ද අයිතිය කොල්ල කෑවා. යාපනයේ පුස්තකාලයට ගිනි තිබ්බා. නැවත ගැටුම් නිර්මාණය කරා. එක්දහස් නමසිය අසු තුනේ නැවත කළු ජුලිය නිර්මාණය කරා. රට පුරා කඩසාප්පු, සිනමා ශාලා, ගිනිබත් කරා. අපිව බෙදුවා, වෙන්කරා. එකිනෙකා කුලල් කාගන්න රටක් බවට මේ රට පත් කළා. එක්දහස් නමසිය අසූ හතර වන විට ප්‍රභාකරන් මරා ගෙන මැරෙන මිනිස් බෝම්බ නිර්මාණය කරා. ඊට පස්සේ සිවිල් යුද්ධයක් පටන් ගන්නනවා. ම්ලේච්ඡ මිනිස් ඝාතන පටන් ගන්නවා. රට මහ ව්‍යසනයකට ගොදුරු කළා. දෙදහස් නමයෙ යුද්ධ අවසන් වුණා. ටික දවසයි ගියේ ඡන්දය කිට්ටු වන විට වඳ කොත්තු, වඳ ඇඳුම්, වඳ දොස්තරලා ඉන්නවා කියන්න පටන් ගත්තා. පාස්කු ඉරිදා ප්‍රහාරයක් දියත් කරා. ජනතාව බෙදුවා. ඒක නොවෙයි ද වුණේ...?

දැන් එකට බැඳෙමු

සුද්දත් අපිව බෙදුවා. කළු සුද්දත් අපිව බෙදුවා. ඒ නිසා මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ, බර්ගර් අපි හැමදෙනාම එකම ශ්‍රී ලාංකික ජාතියක් ගොඩනැගීම පිළිබඳ අපේක්ෂාවෙන් හිටියා. අපේ පාලකයෝ ඒකට අවස්ථාව දුන්නේ නැහැ. අපිව බෙදුවා. කුලල් කාගන්න තත්ත්වයට පත් කළා. යුද්ධ ඇති කරා. උතුරත්, දකුණත් විනාශ කරා. මේ පාලකයන් දැන් අපිට පළමු වතාවට සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ අපි සියලු දෙනාම එකට බැඳිලා එක කොඩියක් සෙවණේ ඉන්න ජාතික සමගිය පුබුදුවන ආණ්ඩුව නිර්මාණය කර ගැනීමේ අවස්ථාව උදාවෙලා තිබෙනවා.

කුඩුවලින් වැසුණු ශිෂ්ටාචාරය

සජිත් ප්‍රේමදාසලා පරණ ආගම්වාදී, ජාතිවාදී කිළිටි ඇඳුම් හෝදන්න පටන් අරගෙන තිබෙනවා. මේ දේශපාලනය අවසන් කරන්න ඕනෑ. අපි හැම ආගමකටම ගරු කරන ව්‍යාපාරයක්. මේ රටේ සියවස් ගණනක් ජනතාවගේ ප්‍රාර්ථනය වූ ජාතික සමගිය තහවුරු කරන ආණ්ඩුව අපි සැප්තැම්බර් විසි එකෙන් පසු පිහිටුවනවා. අනුරාධපුරය අපේ ශිෂ්ටාචාරයේ නගරය. අද කුඩුවලින් වැහිලා. කුඩු මත්ද්‍රව්‍ය වසංගතයක් බවට පත්වෙලා. මේ රටම ඒ ව්‍යසනයෙන් මුදා ගත යුතුයි. මේ සියලු ව්‍යසනයන් පිටුපස ඉන්නේ මේ පාලකයන්. දේශපාලකයන්ගේ ආශිර්වාදය නැතිව. මේ සාපරාධී  ජාවාරම්වලට පවතින්න බැහැ. අපි සහතික වෙනවා මේ සියලු ව්‍යසනයන්ගෙන් ජාතික ජන බලවේගය පාලනයක් තුළ මේ රට මුළුමනින් ම මුදාගන්නවා. දැන් මුළු රටම සැප්තැම්බර් විසි එක්වැනිදා වෙනකල් බලා ඉන්නේ අපේ ජයග්‍රහණය විජයග්‍රහණයක් දක්වා ඔසවා තබන්න. අපි සියලු දෙනා එකතු වෙලා ඉන්පසු මේ රට ගොඩනගමු.’’

වැළකිය නොහැකි ජයග්‍රහණයක් - කමල් අද්දර ආරච්චි,
 
kamal 2
ප්‍රවීණ රංගන ශිල්පී කමල් අද්දර ආරච්චි
 
‘‘මේ දහස් සංඛ්‍යාත ජනතාව එකහෙළා ම අපේක්ෂා කරන්නේ අපේ රටට යහපත් හෙට දවසක්. ඔබ මෙතනට පැමිණ සිටින්නේ මේ රට ගොඩනගන එකම නායකයා වූ අනුර කුමාර දිසානායක සහෝදරයා ගැන විශ්වාසය තබා ඔහුට ඔබේ ශක්තිය එකතු කිරීමටයි. රට නව යුගයකට පරිවර්තනය කරන ඒ විප්ලවය හෙට දවසේ ඔබේ කතිරයෙන් කරන බව අපිට හොඳටම විශ්වාසයි. දැන්නම් අනුර සහෝදරයා දිනන එක කාටවත් වළක්වන්න බැහැ.

දරුවන්ට සුරක්ෂිත හෙටක්

පසුගිය දවසක මගේ වැඩකට මම රත්නපුරය ප්‍රදේශයට ගියා, එහිදී පතල් කම්කරු සහෝදරයෙක් මුණ ගැසුණා. ඔහු සමග මම ටිකක් කතා කළා. මම ඔහුගෙන් ඇහැව්වා කොහොමද දැන් දේශපාලන තත්ත්වය කියලා. ඔහු ටිකක් නිහඬව හිටියා. ඒ පාර මම ඔහුට කිවුවා මේ පාර අපි වෙනසක් කළේ නැත්නම් අපි ඔක්කෝම අන්ත දුක්ඛිත තත්වයකට පත්වෙනවා කියලා. ඔව්, මමත් මගේ තීරණය අරගෙන තිබෙන්නේ කියලා ඔහු කිවුවා. මම ඇහැව්වා ඔයාගෙ තීරණය මොකක්ද කියලා. ඒ තීරණය ඔබට ගන්න හිතුණේ ඇයි කියලා. ඔහු කිව්වා “මම විශ්‍රාමික ගුරුවරයෙක්. ඔබ ඔබේ දරුවන් වෙනුවෙන් කිසිවක් ඉතිරි කර නැතිනම්, මාලිමාවට ඡන්ද තුන හතරක් හදලා දෙන්න. ඒක ඔවුන්ගේ ජීවිතයට ඉඩම් අක්කර දෙක තුනක් අරන් දුන්නා වගේ ආයෝජනයක් කියලා.” ඒ කතාවේ හරය තිබෙන්නේ අනුර කුමාර සහෝදරයා අපේ රටේ දරුවන්ට සුරක්ෂිත හෙටක් නිර්මාණය කරන බවට තිබෙන විශ්වාසයයි.

චකිතයෙන් සිටින අය වෙත...

මේ පාර සැබෑ වෙනසක් වෙනුවෙන් අපි ක්‍රියාත්මක නොවුණොත් අපිට යන එන මං නැතිවෙනවා, ඒක තදින්ම අවධාරණය කළ යුතුයි. සමහරු කියනවා මාලිමාවේ අයට බලය අරන් මේ රට කරන්න පුළුවන්ද කියලා. මම අහන්නේ මෙච්චරයි. මේ තාක් කළේ මේ රට කරපු එවුන් හරියට කරා ද? හරි දෙයක් කරා ද? කියලා. මට එකයි ඉල්ලන්න තිබෙන්නේ. අර විශ්‍රාමික ගුරුවරයාගේ කතාව ඔබට මුණ ගැසෙන හැමෝටම කියන්න. ඔබ දැන් මෙතනට ඇවිල්ලා ඔබේ ශක්තිය පෙන්වනවා. ඒ වගේම සැප්තැම්බර් විසි එක් වැනිදාට උදාවෙන තීරණාත්මක මොහොතේ අපි ගැන දෙගිඩියාවෙන් ඉන්න, සැක සහිතව හිතන, බොරු දේශපාලන කතා අහලා ෆේස් බුක් එකේ යන සමහර ව්‍යාජ කතන්දර අහලා චකිතයෙන් ඉන්න අයත් විශ්වාසය ඇති කරලා ඒ ඡන්ද ප්‍රමාණයත් මාලිමාව වෙතට හැරවිය යුතුයි. එයයි ඔබේ වගකීම. එසේ කළොත් හැරෙන්න ඔබට වෙන්නේ ඔබේ දරුවන්ට හරියට උගන්න ගන්න බැරි වෙන, කන්න බොන්න නැතිවෙන, තරුණ තරුණියන්ට තමන්ට නිසි රක්ෂාවක් හොයා ගන්න බැරිවෙන, ඒ වගේම රක්ෂා කරන අයටත් තමන්ගේ ජීවන වියදමට සරිලන වැටුපක් ගන්න බැරි, ජනතාව ම දුකේ වැටෙන, ලෙඩකට බෙහෙතක් ගන්න බැරි, මේ ජරාජීර්ණ සමාජ ක්‍රමය දිගටම ගලාගෙන යන එකයි.

හුඹස් බිය පලවා හරිමු

සන්තෝෂයක් නැති ජීවිතය මොකක්ද? ඔබ ඉන්නේ සතුටින්ද? සතුටක් නැති මිනිසුන්ට තමයි දුක දැනෙන්නේ. ඒ දුක හඳුනන මිනිහෙක් තමයි අද ඔබට අපේ රටට නායකත්වය දෙන්න ඇවිල්ලා ඉන්නේ. බලන්න මේ වේදිකාව දිහා. මේ රට වෙනුවෙන් වැඩකරන්න පුළුවන්, ජනතාවගේ සංහිඳියාව ඇති කරන්න පුළුවන්, ජනතාවගේ මානසිකත්වය ගොඩනගන්න පුළුවන්, සහෝදරත්වයෙන් බැඳුණු මේ රටට ඇත්තට ම ආදරය කරන පිරිසක් ඔහු වටා ඉන්නවා. අපි හුඹස් බියක් ඇති කරගත යුතු නැහැ. මේ වැඩ කරන්න පුළුවන්ද? කියා. ඔය පුළුවන් කිය කියා ඉන්න අය පුළුවන් කියලා කියනවා විතරනේ. කවදාවත් කරලා පෙන්නුවේ නැහැනේ. අපි ඒ වාද බයිලා පැත්තකින් තියලා සැබෑ යථාර්ථයට මුහුණ දීලා රට බංකොලොත්භාවයෙන් මුදා ගන්න, ඉතාමත් සමෘද්ධිමත් රටක් ගොඩනඟන්න රටට හිතෛෂී, බුද්ධිමත් පිරිසක් සමග අපි මේ ගමන යමු. නියත වශයෙන් ම අනුර කුමාර දිසානායක සහෝදරයා මේ විසි එක්වැනිදාට ජයග්‍රහණය කර ජනාධිපති වෙනවා. එය සත්‍යයයි; ස්ථිරයි.’’

(සටහන - ජයසිරි අලවත්ත)
 
akd 829421
 
 

pe2024 2

worky sin

නවතම පුවත්