ආණ්ඩුව කතරගම පූජා භූමියට ද බාර් පර්මිට් සහ බියර් පර්මිට් ලබා දී ඇති බැවින් ළඟදී ම මිහින්තලා පුදබිමේ අටමස්ථානයේ සහ
සොලොස්මස්ථානයේ ද බාර් විවෘත කිරීමට ඉඩ ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
හෙතෙම මෙලෙස පැවසුවේ අනුරාධපුරයේ පැවති ජන රැලිය අමතමිනි.
එහි දී වැඩි දුරටත් අදහස් ප්‍රකාශ කළ විපක්ෂ නායකවරයා...
මධු සමයට බාධාවක්
රජයේ ප්රතිපත්තියවෙලා තියෙන්නෙ බාර් පර්මිට් වයින් ස්ටෝර්ස් පර්මිට් දෙන එක. මම බලයට පත්වුණ විගස ම මේ බලපත්‍ර සියල්ල අහෝසි කරනවා. දේශපාලන වාසිතකා ලබා දුන්: වරදාන වරප්‍රසාද, සංතෝසම් සියල්ල ඉවත් කරනවා. රනිල් අනුර දේශපාලන දීගයක් කනවා. මේ දවස්වල ඔවුන් දේශපාලන මධුසමය ගත කරනවා. මේ හොර වංචාකාරී ඩීල්වලට ඉඩ දෙන්න බෑ. විසි එක්වැනිදා වනතුරු ඔවුන්ට කැමති ඩීල් එකක් දාගෙන දේශපාලන මධුසමය ගත කරන්න පුළුවන්. හැබැයි රටේ ජනතාව මේ දේශපාලන හොර ඩීල් මධුසමය අවසන් කරනවා. ජනතාව දිනවන එකම ගමන වන්නේ සමගි ජන බලවේගය ජයග්‍රහණය කරවීම පමණයි. එසේ ජයග්‍රහණය කරාට පස්සෙ රටට ම සංවර්ධනයේ අරුණළු උදා කරනවා.
දැනුමේ කේන්ද්‍රස්ථානයක්
තරුණ තරුණියන් වෙනුවෙන් භාෂා පුහුණුව, පරිගණක පුහුණුව තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය ලබා දෙනවා. අධ්‍යාපනය අයිතිය රැකියා අයිතිය තහවුරු කර දැනුම කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩනගනවා. හැම පාසලක් ම සුහුරු පාසල් බවට දියුණු කරනවා.
රනිල්ට නොතේරෙන ගොවි දුක
බඩඉරිඟු අස්වැන්න නෙලන කාලෙදි රනිල් වික්‍රමසිංහ පිටරටින් බඩඉරිඟු ගෙන්නුවා. ඌවේ අර්තාපල් ගොවියාටත් ලූණු ගොවියාටත් ඔවුන් මේ දේ කරා. ජනතාවට සහන සලසනවා වෙනුවට ඔවුන්ට ඕනෙ වෙලා තියෙන්නෙ මාව පරාද කරන්න. හැබැයි මේ මොහොතේ ජනතාව තීන්දුව ගෙන අවසන්.
අනවශ්‍ය ජනපති මන්දිර
ජනාධිපතිට ඉන්න අනුරාධපුරයේ මන්දිරයක් තියෙනවා. ජනාධිපතිවරයාට මන්දිර අවශ්‍ය නෑ. ඒ මන්දිර තරුණ තරුණියන්ට ජාත්‍යන්තර තලයේ තොරතුරු තාක්ෂණය පරිගණක විද්‍යාව ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමේ දැනුමේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කරනවා. මේ මන්දිර පොදු ජනතාව වෙනුවෙන් වෙන් කරන්න ඕනෙ. සෞභාග්‍යය කියන මන්දිරය ලක්ෂ දෙසිය විස්සක ජනතාව වෙනුවෙන් නිර්මාණය කරනවා.’’