මහා මාර්ග කාපට් කරන්නේ සහ කොන්ක්‍රීට් කරන්නේ කන්න දැයි විමසූ දේශපාලඥයෝ අද ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්රකාශනවල අධිවේගී මාර්ග
පද්ධතියකින් ලැබෙන ප්රතිලාභ පිළිබඳව සඳහන් කර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.
මන්ත්‍රිවරයා මෙලෙස පැවසුවේ පසුගිය 15වන දින දඹුල්ල නගරයේ පැවති ජන රැලියක් අමතමිනි.
එහි දී වැඩිදුරටත් අදහස් පළකළ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ...
අපි උතුරත් දකුණත් යා කළා
‘‘ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන්නේ මේ රට ගොඩනගපු දේශපාලන බලවේගයක්. ඒ වගේ ම රටට වැඩකරපු කණ්ඩායමක්. දඹුල්ලට වගේම සමස්ත රටට ම සංවර්ධනයක් ගෙනාවා නම් ඒ ගෙනාවේ මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලයේ. අපිට එදා සැලැස්මක් තිබුණා. මහින්ද රාජපක්ෂ මහතා එදා අධිවේගී මාර්ග හදලා උතුරත් දකුණත් යා කරමින් මේ රටේ මාර්ග සංවර්ධනය කරන්න අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කළා. ඒ වගේම අපිට එදා දැක්මක් තිබුණා. අපිට අවශ්‍යව තිබුණා එදා අධිවේගී මාර්ග ස්ථාපිත කරමින් මහනුවර කන්ද උඩරට දක්වා මාර්ග සංවර්ධනය කරන්න. අනෙක් පැත්තෙන් අධිවේගී මාර්ගය දඹුල්ලට ගේන්න. අවාසනාවකට යහපාලන ආණ්ඩුව බලයට පැමිණි පසු මෙම අධිවේගී මාර්ගය ස්ථාපිත කිරීමට අවශ්‍ය කාරණා හෝ අධිවේගී මාර්ග පිළිබඳව අවබෝධයක් තිබුණේ නෑ.
දඹුල්ල කේන්ද්‍ර කරගෙන සංචාරක ව්‍යාපාරය දියුණු කරනවා
ඇතැම් දේශපාලඥයෝ හිතුවේ මේ අධිවේගී මාර්ග ස්ථාපිත කරන්නේ ඇඹුල් තියල් ගෙනියන්න කියලා. මහා මාර්ග කාපට් කරන්නේ කොන්ක්‍රීට් කරන්නේ කන්න ද කියලා අහපු දේශපාලඥයෝත් හිටියා. නමුත් අද මම සතුටු වෙනවා. ඒ අයගේ ප්‍රතිපත්ති ප්‍රකාශන දෙස බැලූවිට මෙම අධිවේගී මාර්ග පද්ධතිය සහ එයින් ලැබෙන ප්රතිලාභ පිළිබඳව සඳහන් කර තිබෙනවා. මාර්ග සංවර්ධනය සම්බන්ධයෙන් සඳහන් කර තිබෙනවා. අද ඒ අය මේක යථාර්ථවාදීව දැකීම සම්බන්ධයෙන් මම සතුටු වෙනවා. නමුත් දෙදහස් පහළවට පෙර මෙම සංවර්ධන යෝජනා ක්‍රම දෙස කුහකත්වයෙන් බැලීම පිළිබඳව මම කණගාටු වෙනවා. අපිට අවශ්‍යතාවය තිබුණා දඹුල්ල කේන්ද්‍ර කරගෙන සංචාරක ව්‍යාපාරය දියුණු කරනවා වගේම ලංකාවේ ආර්ථික මධ්‍යස්ථානයක් විදියට ගොඩනැගී තිබෙන දඹුල්ල ඊළඟ පියවර දක්වා රැගෙන යන්න. එක් පැත්තකින් අධිවේගී මාර්ග සම්බන්ධ වනවිට තාක්ෂණය බද්ධ කරගත් කර්මාන්ත දඹුල්ලේ ගොඩනැගෙන විට දඹුල්ලේ දෙමාපියන්ගේ දරුවන්ට ඉහළ වැටුපක් ලබාගත හැකි රැකියාවලට යොමු කරන්න අවශ්‍ය වෙනවා. අපිට දැක්මක් සහ සැලැස්මක් තිබෙනවා. අධිවේගී මාර්ග පද්ධතිය තුළ මේ රට යා කළ යුතුයි කියන ස්ථාවරයේ අපි පැහැදිලිව ම ඉන්නවා. ඒ වගේම ග්‍රාමීය මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීම තුළ ගමේ පාර හදන්න ඕන කියන තැන අපි ඉන්නවා.
තරුණ තරුණියන්ගේ අවශ්‍යතා සපුරනවා
අඩු භූමි ප්‍රමාණයකින් වැඩි අස්වැන්නක් ලබාගන්නවා වගේම ඒ සඳහා අවශ්‍ය තාක්ෂණය ඊළඟ පරම්පරාවට ලබාදිය යුතුයි කියන තැන අපි ඉන්නවා. වවන්න පුළුවන් හැම බිම් අඟලක ම වගා කරන්න ඕන කියන ස්ථාවරය අපි ඉන්නවා. අපි පිටින් ගෙනල්ලා කන්න දෙන්න උත්සාහ කරන ආණ්ඩුවක් නොවෙයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන්නේ මේ රටේ ගොවියා, කම්කරුවා, ධීවරයා විශ්වාස කරන දේශපාලන බලවේගයක්. ඒ වගේම අපි දේශීයත්වය අගය කරනවා. අපි අපේ සංස්කෘතිය අගය කරනවා. මේ මහපොළොවේ යථාර්ථය පිළිබඳව අවබෝධයෙන් ජීවත් වෙනවා. අපි අපේ සංස්කෘතිය ආරක්ෂා කරන ගමන් බෞද්ධ සංස්කෘතියෙන් ගොඩනැගුණු මේ මාතෘභූමිය ආරක්ෂා කරන ගමන් අනෙක් සංස්කෘතීන් ද ආරක්ෂා කළ යුතුයි කියන ස්ථාවරයේ ඉන්නවා. තවත් පැත්තකින් අනාගතයේ දකින ඔබේ දරුවාගේ අනාගතය සුරක්ෂිත කරන්න අවශ්‍ය පැහැදිලි දැක්මක් සහ වැඩපිළිවෙලක් සමග කටයුතු කරනවා. අපේ වයස්වල තරුණ තරුණියන්ගේ අවශ්‍යතා පිළිබඳව අපි දන්නවා. මෙම තරුණ තරුණියන්ගේ හෙට දවසේ අවශ්‍යතා පිළිබඳව ද අවබෝධයක් තිබෙනවා.
නූතන ලෝකයට අවශ්‍ය දරුවකු ගොඩනගනවා
මේ රටේ ගොඩනැගෙන දැවැන්ත ආර්ථික පරිවර්තනය තුළ දෙදහස් තිස්පහ වනවිට අපේ මාතෘ භූමිය අපි දියුණුම රට බවට පරිවර්තනය කිරීමේ හැකියාව අප සතුව තිබෙනවා. අපි ඒක කරනවා. මේක කරන්න අපිට වුවමනාවකුත් තිබෙනවා. අපි වැඩකරපු දේශපාලන බලවේගයක්. අපි මේ රටට වැඩකර තිබෙනවා. අද දවසේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි දරුවන් සියලු දෙනාට ම අපි සුභ පතනවා. ඔවුන් සාමාන්‍ය පෙළ විභාගය ලියා අවසන් වූ වහාම මේ රටේ අධ්‍යාපන ක්‍රමය තුළ නූතනත්වය සහ නවීකරණය රැගෙන එන බවට අපි පොරොන්දු වෙනවා. ඒ තුළ දරුවන්ට උසස් පෙළ විභාගය ලියා විශ්වවිද්‍යාලයට යනවා ද අනෙක් පැත්තෙන් නිපුණතාවය, කාර්මික පුහුණුව, වෘත්තීය පුහුණුව වගේම ව්‍යවසායක වෙනව ද යන්න තීන්දු කිරීමේ අයිතිය ඒ දරුවන්ට අපි ලබා දෙනවා. නූතන ලෝකයට අවශ්‍ය දරුවකු ගොඩනගන්න අපේ අධ්‍යාපන ක්‍රමය තුළ ප්රතිව්යුහකරණය අපි සිදුකරනවා.
හැම මැතිවරණ කොට්ඨාසයකට ම කර්මාන්ත ශාලාවක්
සියලු පාසල් වගේම සියලු රෝහල් ජාලගත කළ යුතු වෙනවා. පාසල සහ රෝහල ජාලගත කිරීම තුළ ගුරු හිඟය වෙන්න පුළුවන්, වෛද්‍යවරු සහ හෙද හෙදියන්ගේ හිඟය වෙන්න පුළුවන්, අනෙකුත් කාර්ය මණ්ඩලවල හිඟය වෙන්න පුළුවන් මෙම ගැටලු සඳහා නිශ්චිත පිළිතුරක් ලබාදීමට හැකියාව ලැබෙනවා. නිවැරදි දත්තවලට අනුකූලව රාජ්‍ය යාන්ත්‍රණය පාලනය කරන්න පුළුවන් වැඩපිළිවෙළ සහ තාක්ෂණය අපි හඳුන්වා දෙනවා. මේ රටේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස යකම ජීවත්වන තරුණ තරුණියන්ට රැකියා උත්පාදනය කළයුතු වෙනවා. රැකියා උත්පාදනය කරන්නත් එක් පැත්තකින් ව්‍යවසායකයා ශක්තිමත් කළයුතු වෙනවා. ග්‍රාමීය හා සමුපකාර බැංකු පද්ධතිය ව්‍යවසායකයන්ට අවශ්‍ය මූල්‍ය සහාය ලබාදෙන්න පියවර ගන්නවා. තවත් පැත්තකින් දේශීය හා විදේශීය ව්‍යවසායකයින් හරහා හැම මැතිවරණ කොට්ඨාසයක ම කර්මාන්තශාලා ස්ථාපිත කරනවා. ඒ තුළ ගමේ තරුණයාගේ විරැකියා ප්‍රශ්නයට තිරසාර විසඳුමක් ලබාදෙන්න පුළුවන් වෙනවා. අපිට ඉලක්කයක් තිබෙනවා. ඊළඟ අවුරුදු දහය ඇතුළත තාක්ෂණික ක්ෂේත්රය හා මේ රටේ නිෂ්පාදන ක්ෂේත්රයෙන් රැකියා ලක්ෂ විස්සක් බිහි කරන්න සැලසුම් කර තිබෙනවා. ඒ වැඩපිළිවෙළ තුළ මේ රටේ තරුණ තරුණියන් අපේක්ෂා කරන ආදායම උත්පාදන මාර්ග බිහිකරන්නත් අපට හැකියාව ලැබෙයි කියා විශ්වාස කරනවා.
වසර දහය ඇතුළත මාතෘ භූමිය ම වැඩ බිමක්
අපි මේ රටට ද්‍රෝහී වුණු පිරිසක් නොවෙයි. අපි හැමදාම මේ රටට ආදරය කළ පිරිසක්. අපි මේ මහ පොළොව ආරක්ෂා කළ අය. එදා මහින්ද රාජපක්ෂ මහතා යුද්ධ කරේ දෙමළ ජාතියත් එක්ක නොවෙයි; එල්.ටී.ටී.ඊ ත්රස්තවාදීන් සමගයි. එම ත්‍රස්තවාදී සංවිධානය එක් පැත්තකින් දඹුල්ලට, අනෙක් පැත්තෙන් මම ජීවත්වන හම්බන්තොට දිස්ත්‍රික්කයට, රන්මිණිතැන්නට, එහා පැත්තෙන් මාතරට ප්‍රහාර එල්ල කරා. බොහෝ නායකයෝ මේක මග හැරියා. ඒ වගේම සටන් පාඨයක් විදිහට තමන්ගේ ආරක්ෂාවට හෝ වෙනත් හේතුවක් මත ත්රස්තවාදීන්ට එරෙහිව සටන් කරේ නෑ. නමුත් මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඔබ එදා ඉල්ලුවේ මේ රට නිදහස් කර දෙන්න කියලයි. ඒ අනුව වසර තුනක් ඇතුළත රටට නිදහස ලබා දුන්නා පමණක් නොව එතුමාගේ පාලන කාලය තුළ ලංකාව ලෝකයේ වේගයෙන්ම සංවර්ධනය වන රට බවට පරිවර්තනය කළා. ඒ මාර්ගයේ ගමන් කරමින් ඊළඟ වසර දහය ඇතුළත මේ මාතෘ භූමිය වැඩබිමක් බවට පරිවර්තනය කරනවා පමණක් නොව ආසියාවේ වේගයෙන්ම සංවර්ධනය වන රට බවට පරිවර්තනය කරනවා.’’
අපි කාටවත් යටත් වෙන්නෙ නෑ - ඉත්තෑකන්දේ සද්ධාතිස්ස නාහිමි
‘‘මගේ ජාතිය මගේ භූමිය ආරක්ෂා කළේ මහින්ද රාජපක්ෂ කියන නම. ඒක කාටවත් නැති කරන්න බෑ. රනිල් වික්‍රමසිංහ කරපු දෙයක් නෑ. ඊට පස්සේ අරගලයක් ආවා. එම අරගල භූමියේ කඳවුරු දාහතරක් ස්ථාපිත කරේ රනිල් වික්‍රමසිංහ. ඒ අවස්ථාවේ අරලියගය මන්දිරයට ගිය අයගේ තිබුණේ බත් පැකට් එකයි වතුර බෝතලේ විතරයි. පොහොට්ටුව කියා කියන්න ඕනෑම අවස්ථාවක නැගිටින්න පුළුවන් පක්ෂයක්. අපි මේ රට දිනවන්න ඕන. සුද්දට එදා රට පාවා නොදුන්නා නම් ඌව වෙල්ලස්ස ජනතාවට මේ රට බේරාගන්න තිබුණා. අපි ඒ සිරිත නතර කරන්න ඕන. අපිට නැගිටින්න පුළුවන්. අපි කාටවත් යටත් වෙන්නෙත් නෑ අපි යටත් වෙලත් නෑ. අපි ඒ ඉතිහාසය තුළින් නැගිටින්න ඕන. බුද්ධාගමට මුල්තැන දෙනවා කියා අනුර කුමාර දිසානායක කියනවා. බෞද්ධයන් රවටන්න බෑ. මේ රටේ බෞද්ධයන් ඡන්දය දෙන්නේ නාමල් රාජපක්ෂට විතරයි. මේ සටන අපිට ජයගන්න පුළුවන්. අපිට ඒ වෙනුවෙන් වගකීමක් තිබෙනවා. විසිදෙක වනවිට මුළු රටම ජයග්‍රහණය කරා ගෙන යන්න අපට පුළුවන්.’’
අපි, ඉඩම් සහ පොලිස් බතල දෙන්නෙත් නෑ - ජෝන්ස්ටන් ප්‍රනාන්දු
‘‘එළඹෙන ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් කීපදෙනෙක් ඉදිරිපත් වී සිටිනවා. තරුණ අපේක්ෂකයෙක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන නාමල් රාජපක්ෂ මහතා ඒ අතර වෙනවා. ඒ අපේක්ෂකයන් වේදිකාවේ විවිධ පොරොන්දු ලබා දෙනවා. ඇතමුන් ලබා දෙන්නේ කවදාවත් කරන්න පුළුවන් පොරොන්දු නෙවෙයි. නමුත් නාමල් රාජපක්ෂ මහතා කරන්න පුළුවන් වැඩ කොටස කියා තිබෙනවා ඒ වගේම දහතුන්වන අණ්ඩුක්රම ව්‍යවස්ථා සංශෝධනය කිසි විටෙකත් ක්‍රියාත්මක නොකරන බවට නාමල් රාජපක්ෂ මහතා කියා තිබෙනවා. ඒ වගේම ඉඩම් සහ පොලිස් බතල දෙන්නෙත් නෑ. ඒකීය රටක් හැටියට තිබෙන ශ්‍රී ලංකාව බෙදා වෙන් කිරීමට ඉඩ තබන්නේ නෑ.එදා මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධව සරත් ෆොන්සේකා මහතා ජනාධිපතිවරණය ඉදිරිපත් වුණා.
ගමේ ඡන්ද අපේ කඳවුරට
දෙදහස් පහළව වසරෙදි මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධව මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණා. නමුත් එදා ක්‍රියාත්මක වුණේ විශාල කුමන්ත්‍රණයක්. මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධ වන ඕනෑම අයෙකුට සිදුවන්නේ මෛත්‍රිපාල සිරිසේන මහතාට වෙච්ච දේමයි. රාජපක්ෂ කියන්නේ මේ රට හදපු නායකයා. යුද්ධය අවසන් කොට රටට සංවර්ධනය ගෙනාවා. එවැනි නායකයෙකුට විරුද්ධව පෙනී ඉන්න කිසිවෙකුට හැකියාවක් නෑ. රටට විශාල සංවර්ධන ව්‍යාපෘති ගෙනාවා. ගමේ මිනිසුන් කවදත් මහින්ද රාජපක්ෂ මහතා එක්ක ඉන්නවා. මාතලේ දිස්ත්‍රික්කයේ විශාල පිරිසක් අද වනවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වටා එක්වී සිටිනවා. ඒ වගේම ගමේ ඡන්ද තිබෙන්නේ මහින්ද රාජපක්ෂ මහතා නියෝජනය කරන අපේ කඳවුරටයි.’’
යුද්ධෙ ඉවර කරන්න ජවිපෙට බැරි වුණා - ජානක තිස්ස කුට්ටිආරච්චි
‘‘තවමත් සියයට හතළිහක් ඡන්දය දෙන්නේ කාටද කියල තීරණය කර නැහැ. ඡන්දය දෙන්නේ කාටද කියල බොහෝ අය කතා කරන්නේ නැහැ. පසුගිය ජනාධිපතිවරණයෙදි සජිත් ප්‍රෙමදාස මහතාට ලක්ෂ විසි හතක් ඡන්දය තිබුණා. එතුමාට අපිට යම්කිසි ප්‍රමාණයක් ඡන්ද මේ වනවිට එකතුවෙලා ඇති. අනුර කුමාරට තිබෙන ඡන්ද ප්‍රමාණය කොතරම් ද? ඔවුන් මේ රටට කරපු දේවල් අපි දන්නවා. දශක තුනකට ආසන්න කාලයක් මේ රටේ පැවති යුද්ධය අවසන් කරන්න බොහෝ නායකයෝ උත්සාහ ගත්තා. නමුත් ඒක කරන්න ඔවුන්ට බැරිවුණා. එහෙම තිබුණු යුද්ධය අවසන් කරන්න මහින්ද රාජපක්ෂ මහතාට පුළුවන්කම ලැබුණා.
එදා දුටුගැමුණුට මල් තියෙන සහ නූතන දුටුගැමුණුට මයිනා කියා චෝදනා කරන හිගන ජාතියක් අපි. මහින්ද රාජපක්ෂ මහතාට හොඳටම අවස්ථාව තිබුණත් කවදාවත් යුද්ධය වවාගෙන කෑවේ නැහැ. අද වනවිට ලැබෙන සමීක්ෂණවලට අනුව අනුර කුමාර දිසානායක හතරවැනි තැනට ඉන්නවා. දෙවැනි සහ තුන්වැනි ස්ථානවලට සජිත් ප්‍රේමදාස සහ රනිල් වික්‍රමසිංහ ඉන්නවා. එම සමීක්ෂණයට අනුව නාමල් රාජපක්ෂ අංක එකට පැමිණ සිටිනවා. මෙවර ඡන්දය ලබාදීමේ දී බුද්ධිමත්ව කටයුතු කරන්න කියා අපි ඔබගෙන් ඉල්ලා සිටිනවා.’’
ජවිපෙ කරපු දේවල් අමතක නෑ - යූ.කේ සුමිත් උඩුකුඹුර
‘‘අපේ කඳවුර වෙනුවෙන් හැමදාම පෙනී ඉන්න විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වී සිටිනවා. ඒ අය වරදාන වරප්‍රසාදවලට නැවතුණේ නෑ. පැවැත්වෙන්නේ මේ රටේ තීරණාත්මක මැතිවරණයක්. ඒ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යෝජනය කරමින් නාමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් වී සිටිනවා. ප්‍රධාන අපේක්ෂකයන් කිහිපදෙනෙක් සිටිනවා. ජනතා විමුක්ති පෙරමුණ පසුගිය කාලයේ කළ ක්‍රියාකාරකම් මේ රටේ ජනතාවට අමතක නැහැ. දහස් ගණනක් තරුණ තරුණියන් මරා දමමින් රටට මහා විනාශයක් සිදුකරා.’’
අභියෝගවලට මුහුණ දෙන නායකයෙක් -අනූෂා දමයන්ති
‘‘මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන් අතරින් මේ රටේ ජනතාවගේ දුක හඳුනන එකම නායකයා නාමල් රාජපක්ෂයි. ඒ මහතා මේ රටට නිදහස දිනාදුන් මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්‍රයා වෙනවා. අපිට අවශ්‍ය වන්නේ සිහින කියන නායකයෙක් නොවේ. ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න පුළුවන් නායකයෙක් අපිට අවශ්‍ය වෙනවා. ඒ නිසා ඒවා කරන නායකයෙක් හැටියට නාමල් රාජපක්ෂ මහතා හඳුන්වන්න පුළුවන්. එළඹෙන විසි එක්වෙනිදා පැවැත්වෙන ජනාධිපතිවරණය නියත වශයෙන්ම නාමල් රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරනවා. අභියෝගයන්ට මුහුණදෙන නායකයෙක්. මේ රට ආක්‍රමණය කරන්න විවිධ පිරිස් උත්සාහ කරා. කිසිවක් සාර්ථක වුණේ නෑ. මේක බලවත් පින්බිමක්.’’
පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දඹුල්ල ආසන සංවිධායක ජාලිය ඕපාත ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.