theleaderlk 01

තොන්ඩමන්, දිගම්බරම් සහ වඩිවේල් යන දේශපානඥයෝ ජනතාවගේ ඡන්දයෙන් බලයට පත්වී ධන කුවේරයන්ගේ න්‍යාය පත්‍රය ආරක්ෂා කිරීම සඳහා කටයුතු කරන

බව ජන අරගල සන්ධානයේ ජනාධිපති අපේක්ෂක නුවන් බෝපගේ පැවසී ය.

නුවන් බෝපගේ එලෙස පැවසුවේ ඊයේ (17) රාගල දී පැවති ජන රැලියක් අමතමිනි.

එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ නුවන් බෝපගේ,

ධන කුවේරයින් රකින දේශපාළුවෝ

‘‘දැනට අවුරුදු කිහිපයකට කලින් අපි නුවරඑළියට ආවා. ඒ ආවේ වතු කම්කරු ජනතාවගේ වැටුප රුපියල් දාහකින් වැඩි කරන්න බල කරන දාහේ අරගලයට. වතු ජනතාවගේ වැටුප දිනාගැනීමට පවා අපිට අරගල කරන්න වෙලා තියෙන්නෙ ඇයි? හැබැයි එක වතු සමාගමක්වත් පාඩු ලබන්නෑ. තේ බ්‍රොකර්වරුන්ගේ ජීවිතය දුප්පත් නෑ. තේ වතු සමාගම් බිලියන ගණන් ලාභ ලබනවා. තේ බ්‍රොකර්වරු ධන කුවේරයො. එහෙම තත්වයක් ඇතුළෙත් ඇයි වතු කම්කරුවට තමුන්ගේ සොච්චම් වැටුප වැඩි කරගන්න අරගල කරන්න වෙලා තියෙන්නේ ? ඒක තමයි මේ කොල්ලකාරී ධනවාදී ආර්ථිකයේ ස්වභාවය. මිනිස්සුන්ගේ ශ්‍රමය බරපතළ ලෙස සූරා කන ගමන් වැඩ කරන ජනතාවගේ ජීවිත අපායක් බවට පත්කරනවා. ඉතාමත් සුළුතරයෙක්ගේ ජීවිත සුරපුරයන් බවට පත් වෙනවා.  දේශපාලනය රැකවරණය ලැබෙන්නේ ඒ සැප විඳින පන්තියට. අපි දන්නවා තොන්ඩමන්ලා, දිගම්බරම්ලා , වඩිවේල්ලා  ජනතාවගේ ඡන්දය අරගෙන අර ධන කුවේරයන්ගේ න්‍යාය පත්‍රය ආරක්ෂා කරන්න කටයුතු කරන හැටි. ඔවුන් කුමාරවරු වගේ ජීවිත ගත කරන අතර ඡන්දෙට ඇවිල්ලා මේ ජනතාවගේ ඡන්ද කොල්ල කනවා.

ලිපිනයක් අහිමි මිනිස් ජීවිත

වතු කම්කරුවෝ සම්බන්ධව අපේ රටේ සාමුහික ගිවිසුමක් තියෙනවා. මේ සාමූහික ගිවිසුමෙන් සමාගම් සමග එකඟතාවයකට එනවා මේ ජනතාවට අඩු වැටුප් ගෙවන්න; ශ්‍රමය කොල්ල කන්න.  ඒ සාමුහික ගිවිසුම් ගැන මේ වැඩ කරන ජනතාව දන්නේ නෑ. ඒවා ගැන දන්නේ වතු වෘත්තිය සමිතිය හතරක් පහක් විතරයි.  එහෙම තත්ත්වයක් තුළ මේ ජනතාවට බලය හිමි වෙන මේ ජනතාවට තීන්දු තීරණ ගන්න අයිතිය හිමිවන ක්‍රමයක් අවශ්‍ය නැද්ද? අනිත් අතට ආර්ථිකය එහෙම වෙද්දි වසර දෙසීයක් මේ වතුකම්කරු ජනතාවට ජීවත් වෙන්න වෙලා තියෙන්නේ ලිපිනයක් නැතුව. ලයින් කාමරවල, මන්ද පෝෂණය වැඩිම ජනතාව මේ පැතිවල ඉන්නෙ. මූලික සෞඛ්‍ය පහසුකම් වත් සම්පූර්ණ කරගන්න බැරි, වෛද්‍යවරු නැති, පාසල් නැති ජීවිත තමයි ගත කරන්න වෙලා තියෙන්නේ. ඉතින් මේ කාලකණ්ණි ජීවිතයට අපි සමුදිය යුතු නැද්ද ?

රැඩිකල් ප්‍රතිසංස්කරණ

වතු කම්කරු ඔබේ ජීවිතේ ප්‍රශ්න විසඳන්න මේ පවතින ක්‍රමයට පුළුවන්කමක් නෑ. අපි වහාම රැඩිකල් ප්‍රතිසංස්කරණවලට යා යුතුයි.  ඔබේ ශ්‍රමය සූරාකන කොල්ලකාරී වතු සමාගම් හිමියොත් එක්ක සන්ධානයක් අපිට නෑ. තීරණ ගන්න පුළුවන් බලය ජනතාව අතට ලැබෙන්න ඕන; ඔබේ වැටුප තීරණය කරන්න ඔබට අයිතිය තියෙන්න ඕන. අපේ වැඩපිළිවෙළ තියෙන්නෙ එතන. පරිසරය පවා විනාශ කරමින් මඩිය තරකරගන්න වතු සමාගම් ඒකාධිකාරය  අහෝසි කරන එක ඇතුළෙ තමයි ජනතාවගේ ජීවිත නිදහස් වෙන්නේ. අපි ජන අරගල සන්ධානය විදිහට ඒ අරගලය ඇතුළෙ හැමදාම ඉන්නවා. ඔබ කුඩය ලකුණට දෙන ඡන්දයෙන් පවා නියෝජනය වෙන්නේ ධන කුවේරයන්ට එරෙහි ඔබේ හඬ.’’

(සටහන - ජයසිරි අලවත්ත)

 
 

pe2024 2

worky sin

නවතම පුවත්