දෙවසරකුත් තුන් මසක් තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ සේවය කිසිදු අපේක්ෂකයකුට කළ නොහැකි බව අධ්‍යාපන අමාත්‍ය
සුසිල් ප්‍රෙමජයන්ත පැවසී ය.
අමාත්‍යවරයා මෙලෙස පැවසුවේ අද (18) දින කොළඹ පැවති ‘පුළුවන් ශ්‍රී ලංකා’ මාධ්‍ය හමුවට එක් වෙමිනි.
එහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත...
ජනාධිපති ධුරයේ වටිනාකම
‘‘දින තුනකට වතාවක් මැතිවරණ ආසන භාරව සිටින අය සමග සමාලෝචනයක් කරනවා. ඒ තොරතුරුවලට අනුව අපි දිස්ත්‍රික්ක විසි දෙකේ ම ඉදිරියෙන් ඉන්නවා. විසිදෙවන දා වනවිට රනිල් වික්‍රමසිංහ මහතාගේ ගෑස් සිලින්ඩරය ලකුණ වැඩිම ප්‍රතිශතයකින් ජයග්‍රහණය කරනවා. ජනාධිපති ධුරයක් නොතිබ්බ නම් එක්දහස් නමසිය අසූ අට - එක්දහස් නමසිය අසූනමය වසරවල මීට වඩා වෙනස් තත්ත්වයක් ඇතිවෙන්න තිබුණා. ඒ වගේම එක්දහස් නමසිය අසූතුනේ ඉඳලා තිබුණ එල්.ටී.ටී. යුද්ධය අවසන් නොවෙන්නට ඉඩකඩ තිබුණා. ජනාධිපති ධුරයක් නොතිබෙන්නට දෙදහස් විසි දෙක අප්‍රේල් මාසේ ආරම්භ කළ අරගලය මේ ආකාරයෙන් විසඳීමක් නොමැතිව බංගලාදේශයේ තත්ත්වයට ගිහිල්ලා ජනතාව ජීවත් වෙන්න අරගල කරමින් සිටින යුගයකට පත්වෙන්න තිබුණා. ඒ වගේ කාලීනව මතුවන්නා වූ ප්‍රශ්න විසඳා ගැනීමට තිබෙන්නා වූ හැකියාවත් එක්ක ජනාධිපතිධූරය වටිනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හතර (ආ) වගන්තිය යටතේ ජනාධිපතිවරයා පත්කරනවා. රටේ ආරක්ෂාවද ඇතුළුව ජනතාවගේ විධායක බලය තමයි ජනාධිපතිවරයාට පවරන්නේ. ආරක්ෂාව කියන්නේ මොකක්ද? විධායක ජනාධිපතිධුරය ලැබෙන්නා වූ තැනැත්තාට සේනාධිනායකවරයා ලෙස ලක්ෂ තුනක්වන ත්‍රිවිධ හමුදාවේ සම්පූර්ණ බලය පැවරෙනවා. සම්පූර්ණ ලක්ෂයක පමණ පොලිසිය සහ සිවිල් ආරක්ෂක හමුදාවේ නියෝග ක්‍රියාත්මක කිරීමේ බලය ලැබෙනවා. රජයේ සේවකයින් ලක්ෂදාහතරක් විතර ඉන්නවා. පළාත් නමයේ පළාත් බලතල, ආණ්ඩුකාරවරු පත් කිරීමේ බලය ජනාධිපතිවරයාට හිමි වෙනවා. අමාත්‍යාංශවල ලේකම්වරු පත් කිරීමේ බලය ජනාධිපතිවරයාට හිමිවෙනවා. මූල්‍ය ආයතන, ප්‍රධාන ආයතනවලට ප්‍රධානීන් පත් කිරීමේ බලය ලැබෙනවා. මේ තරම් විශාල වූ බලයක් කෙනෙකුට ලබා දෙනකොට, ජනතාවගේ ඕනෑකම අනුව සහ රටේ ආරක්ෂාව ක්‍රියාත්මක කළ හැකි පුද්ගලයකුට භාරදෙන්න ඕනේ. ඒ සඳහා බුද්ධියත් උගත්කමත් පරිණත භාවයත් තියෙන්න ඕනේ.
ජනපතිට සම කළ හැකි අපේක්ෂකයෙක් සිටී ද...?
රනිල් වික්‍රමසිංහ මැතිතුමා පස් වතාවක් මේ රටේ අගමැති ධුරය දරලා තියෙනවා. ඇමතිවරයෙක් හැටියට කටයුතු කරලා තියෙනවා. ගෝඨාභය ජනාධිපතිතුමා ඉල්ලා අස්වීමෙන් පස්සේ, අවුරුදු දෙකයි මාස තුනක් මේ රට කළමනාකරණය කරලා තියෙනවා. ආරක්ෂක, ආර්ථික, සමාජය හැම පැත්තක් ම කළමණාකරණය කරමින්, අරගලයක් සංසිඳෙව්වා. වෙනසක් ඇති ඇති කරා. ඉබේම අරගලය නැවතුණේ නැහැ. වෙනසක් ඇතිවුණු නිසා තමයි අරගලේ නැවතුනේ. ඒ වෙනකොට තිබුණු තත්ත්වයෙන් ඒකෙන් ගොඩ ඒම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරා. ප්‍රධාන වශයෙන්ම ආර්ථික යුද්ධය. පක්ෂ පාට භේද අමතක කරලා මෙතුමාට තිබෙන්නා වූ සුදුසුකම් සම්භාරය, අවුරුදු දෙකයි මාස තුනක් තුළ කළ සේවය, කාර්ය සාධනය බැලුවොත් අනික් ඕනෑම අපේක්ෂකයෙකුට සසඳන්න පුළුවන්ද?
මගේ මතය එතුමා අනිත් සියල්ලට වැඩිය එතුමා ඉහළින් ඉන්නවා. මෙවර ඡන්දය පාවිච්චි කිරීමේදී සැලකිය යුතු කාරණය එයයි. සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ කණ්ඩායම කියන්නේ අයි.එම්.එෆ් කොන්දේසිවලින් අපි බැහැර වෙන්නේ නැහැ කියනවා. නමුත් සංශෝධන කරන්න බලාපොරොත්තු වෙනවාලු. පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ සම්පූර්ණම ඊට පටහැනි මතයක්. ජවිපෙත් මේකට අදාළ පනත්වලට විරුද්ධ උණා. ඒ අයගේ මහාචාර්යවරයෙක් කියනවා කොන්දේසිවලින් ඒ විදියට බැහැර වෙන්න බැහැලු. එහෙම බලනකොට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගත්ත ක්‍රියාමාර්ගය හරි.
විධායක ජනපති විය යුත්තේ රනිල් ම ය
විශේෂඥ සමාගම් එක්ක සාකච්ඡා කරලා, අයිඑම්එෆ් එකට රාජ්‍ය ඇමතිවරු, නිලධාරීන්, ලේකම්වරු, මහා බැංකු අධිපති යවලා ගත්ත ක්‍රියාමාර්ගය නිසා තමයි මේ ආකාරයෙන් රට සංසුන් කරගන්න පුළුවන් වුණේ. ඍණ හතයි දශම පහක් වුණු දළ දේශීය නිෂ්පාදනය අද ධන පහට ගෙනත් තියෙනවා. සියයට හැත්තෑ හයක් වූ උද්ධමනය මේ මාසේ බිංදුවයි දශම පහ දක්වා අඩු කරගන්න පුළුවන් වුණා. සියයට විසි අටක් වුණු බැංකු පොලිය සියයට හතයි දශම පහ දක්වා ගෙන ඒමට හැකියාව ලැබුණා. කොටස් වෙළඳපොළ පැත්තෙන් ගත්තොත්, මේවා රටක ආර්ථික වර්ධනය මනින දර්ශකය. ඒ දර්ශකය කාටවත් තර්ක කරල බිඳින්න බැහැ.
අනුර කුමාර දිසානායක සජීවී වැඩසටහනක දි ඒ අයගේ අදහස් ප්‍රකාශ කරා. මේ වැඩේ බාර අරගෙන, හරියට කරලා, මගක් දුරට ගෙනල්ලා තියෙනවා නම්, මේක මුල ඉඳන් පටන් ගන්න යන්න ඕනෙ ද? මේ පිරිස වෙනස් වුණොත් විශේෂයෙන් ම ජනාධිපති ධුරය වෙනස් වුනොත් මොකද වෙන්නේ? මේ සම්පූර්ණ මෙහෙයුම කරේ එතුමා. අපි කරේ පාර්ලිමේන්තුවේ පනත් ටික සම්මත කරලා, අවශ්‍ය ඡන්ද ගාන ලබා දුන්න එකයි. දේශපාලන පක්ෂ, පාට පැත්තකින් තියලා ගත්තොත්, මේ අපේක්ෂකයින් අතරින් ව්‍යවස්ථානුකූලව රටේ ආරක්ෂාව ද ඇතුළුව විධායක බලය හිමිවිය යුත්තේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට කියන එකයි අපේ මතය. අද බහුතරයක් එය පිළිගන්නවා ඇති.
දොස්තර මාරු කරොත්...?
අයිඑම්එෆ් එකේ ප්‍රකාශිකාව දින කිහිපයකට කලින් කිව්වා, මේක විශ්මිත ගොඩනැගීමක් බව. නමුත් සම්පූර්ණයෙන් මිදුණයි කියන එක එයින් අදහස් කරන්නේ නැහැ. අසාධ්‍ය රෝගියෙක් වෛද්‍යවරයෙකුට බාර දීලා යන්තම් අයි. සී. යූ එකෙන් එළියට ඇවිත්. ඒකෙන් අදහස් වෙන්නෑ සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්වුණා කියලා. ඉතුරු ප්‍රතිකාර ටික කරගෙන යන්න ඕනේ ඒ දොස්තරමයි. දොස්තර මාරු කළොත්, බෙහෙත් මාරු කරන්න ගියොත් ලෙඩාට තව අසාධ්‍ය වෙන්න පුළුවන්.
බදු අඩු කළ යුතුයි
අරගලෙන් වෙනස බලාපොරොත්තු වූ බොහෝ දෙනාට අද තේරෙනව ඇති වෙනස සිදුවෙමින් පවතින බව. ආර්ථික ජයග්‍රහණත් එක්ක ඊළඟ අවුරුදු දෙක තුන තුළ ආර්ථික වර්ධන වේගය සියයට අටේ මට්ටමකට ගෙනාවොත්, අපේ ඉලක්කවලට අපිට යන්න පුළුවන්. දෙදහස් විසි අටේ ඉඳලා ණය ආපසු ගෙවන්න පටන් ගන්න ඕනේ. ඒකට අවශ්‍ය වන ආයෝජන රටට ගෙන්වා ගැනීම, අපනයන වර්ධනය කිරීම කළ යුතුයි. මේකට අවශ්‍ය පසුබිමයි මේ ආර්ථික වශයෙන් හැදිලා තියෙන්නේ.
ඒ හැම දෙයක්ම කරන්න රට තුළ සාමයක් තියෙන්න ඕන. නැත්තං ආයෝජකයෝ එන්නේ නෑ. සංචාරකයෝ එන්නේ නැහැ. අපට අපනයනය කරන්න බැහැ. වාහන ආනයනය ක්‍රමානුකූලව ලිහිල් කරනවා. අනිත් පැත්තෙන් තීරු බද්ද වැඩිවෙනවා. රජයේ සේවක වැටුප් වැඩි කරන්න ඕනේ. ඒ වෙනුවෙන් අලුතෙන් බිලියන දෙසිය පනහක් හොයන්න ඕනේ. වාහන ආනයනය කරන්න ඩොලර් ප්‍රමාණයක් යනවා. එය නැවත ලබා ගැනීමට සංචාරක පැමිණීම වැඩි කරගත යුතුයි. අනෙක් පැත්තෙන් අපනයන වැඩිකර ගත්තොත් එතනින් ඩොලර් ප්‍රමාණය ලැබෙනවා, තීරු බද්ද මෙහෙන් අය වෙනවා. අද තියෙන තීරු බදු ප්‍රමාණය කිහිප ගුණයකින් ඉහළ යනවා. තීරු බද්ධ, නිෂ්පාදන බද්ධ, සුරාබදු ආදායම් බද්ද තමයි රජයේ ප්‍රධාන ප්‍රධාන ආදායම. එදා කිසිදෙයක් කර ගියා ගන්න බැරි වුණ නිසා තමයි අකමැත්තෙන් වුණත් බදු දාන්න වුණේ. හැබැයි අපි නැවත ගොඩනැගුනට පස්සේ ඒක වෙනස් කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඒකෙන් බදු ගෙවන ප්‍රමාණය අඩුවෙලා, පෙර වර්ෂයට වඩා ඉතිරියක් ලබන වර්ෂයේ තිබෙනවා. විශේෂයෙන් ම රජයේ සේවකයින්ගේ වැටුප් වැඩිවීමත් එක්ක අතට ලැබෙන ප්‍රමාණය වැඩි වෙනවා.
අහස් යාත්‍රා මේනියාව
පෞද්ගලික අංශයේ වැටුපත් වැඩිවෙලා රට තුළ මුදල් සංසරණය වැඩි වෙනකොට මීට වඩා ආර්ථික වශයෙන් ශක්තියක් රටටත් ජනතාවටත් ලැබෙයි. ඒ වෙනස සිදුකරලා තියෙනවා. දෙදහස් පහළව ජනාධිපතිවරණයට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බුලත් කොළයෙන් තරග කරන කෙකාට මම සන්ධානයේ ලේකම්. මෛත්‍රීපාල සිරිසේන මහතා හංසයාගෙන් තරග කරා. හංසයා පුරුදුත් නැහැ. බුලත් කොලේ මැතිවරණ දොළහකට අපි පාවිච්චි කරා. දෙදහස් පහළවේ මැතිවරණය තරම් ප්රචාරක කටයුතුවලට අපේ පැත්තෙන් මුදල් වියදම් කරපු එක මැතිවරණයක්වත් මම දැක්කේ නැහැ. සෑම ඡන්ද පොළකට ම අපි කාර්යාලයක් දැම්මා. ඒකට සී.ඩී එකක් එව්වා. එකම උසට, එකම පළලට, එකම විදිහට අපි කාර්යාල පිහිටෙව්වා. කොඩි දාන්න පයිප්ප බටත් හයකුත් දුන්නා. කොඩි හදලා එව්වා. පෝස්ටර් පත්‍රිකා කන්ටේනර් පිටින් අපි එව්වා. අවසාන දිනයේ ඡන්ද පොළ නියෝජිතයින්ටම මුදල් ගෙව්වා. ඡන්ද පොළ නියෝජිතයින් පුදුමයට පත්වුණා. හැම ලයිට් කනුවක ම අපි කටවුට් එකක් එල්ලුවා. හංසයා පේන්න හිටියෙත් නෑ. එහෙන් මෙහෙන් පෝස්ටර් කිහිපයක් තිබුණා. හැබැයි ප්‍රතිඵලය මොකක්ද? දින හතළිස් දෙකේ දි හංසයාගේ මැතිවරණ ව්‍යාපාරය ඉදිරියට ගිහිල්ලා ජයග්‍රහණය කළා. රැස්වීම් තිබුණෙත් නෑ. සෙනග ගෙන්නුවෙත් නැහැ.
මේ මැතිවරණයේ වැඩිම වියදම් කරන්නේ කවුද? වැඩිම කාර්යාල ගාණක් දාලා තියෙන්නේ කවුද? පිටරට ඉඳලා ප්ලේන් ලෝඩ් ගණන් එනවයි කිව්වා. හැබැයි ඊයේ වෙනකොට ඇවිල්ලා තියෙන්නේ සීයකටත් වඩා අඩු ගානක්. මේවා අතිශෝක්තියෙන් කියන කාරණා. මෙවැනි නිර්මාණය කරන්නේ මේ දින දෙක තුන ඉතා වැදගත් නිසා. යූ ටියුබ් නාලිකාවක කිව්වා ලක්ෂ ගණනින් හම්බෙනවා කියලා. පොල් ගණන් කරනවා වගේ ඡන්ද ගණන් කරන්න බෑ. එහෙම හිතාගෙන ඉන්න අය මේ ප්‍රතිඵලය එනකොට කොයි ආකාරයෙන් ප්‍රතික්‍රියා කරයි ද කියන එක ප්‍රශ්නයක්. විශාල බලාපොරොත්තු ගොන්නක් දීලා තියෙනවා. මේක නිර්මාණය කරපු තත්ත්වයක්. දෙදහස් පහළව එක්ක සසඳලා පෙන්නුවේ ඒකයි. මේ සැරෙත් එහෙම වෙන්නයි ඉඩකඩ තියෙන්නේ. පෙනුමට, කාර්යාල ගානට, රැස්වීමේ තියෙන ඔළු ගෙඩි ගානට තීරණ ගන්න බැහැ.
ඡන්ද නාස්ති නොකරන්න
රනිල් වික්‍රමසිංහ මැතිතුමා මැතිවරණ ක්‍රියාවලිය ආරම්භ කරේ නාමයෝජනා දීලා. අනික් අපේක්ෂකයෝ අවුරුද්දකට කලින් මැතිවරණ ව්‍යාපාරය පටන් අරන්. මේ සැරේත් අද රෑ දොළහට මැතිවරණ ව්‍යාපාරය අවසන් වෙනකොට රනිල් වික්‍රමසිංහ මැතිතුමා අනිත් සියලු අපේක්ෂකයෝ අභිබවා ඉහළ ප්‍රතිශතයකට එන බව ස්ථිරසාරව කියන්න පුළුවන්. ඊළඟ අවුරුදු පහක් එතුමා මේක බාරගන්නවා. මේ මැතිවරණයෙදි ඡන්ද නාස්ති කරන්න එපා. ළපටි අපේක්ෂකයෝත් මේපාර මැතිවරණයට ඉදිරිපත් වෙලානේ. ඒ කාලේ ගොඩදෙනා ඒ අයට කිව්වෙ බබාලා කියලා. බබාලා වැඩිවියට පත්වෙලා, පරිණතභාවයට පත්වෙලා ආවා නම් හරි. මහින්ද මහත්තයා ආවේ. අවුරුදු හතළිහක් දේශපාලනය කරලා ජනතාවගේ ඡන්දයෙන් පත්වුණා. ඒ ආදර්ශයවත් අරගෙන නැහැ.
මේ බබාලා තාමත් ඉස්කෝලෙ යන වයසේ හිටියා නම් මහින්ද මහත්තයා තවමත් මේ රටේ ජනාධිපති. ගෝඨා ගෝ ගමක් හැදුවා. මහින්ද ගෝ ගමකුත් හැදුවා. මේ යුද්ධයේ අවසන් කරපු කෙනා. එතුමාව මෙතනට ගෙනාවේ කවුද? වටේ පිටේ ඉන්න අය. ගෝඨාභය මහත්තයාට මේක දාලා යන්න වුණාට පවුලෙ අය වග කියන්න ඕනෙ කියල එක ජනාධිපති අපේක්ෂකයෙක් කියලා තිබුණා. ඒ පවුලේ කෙනෙක් තමයි ඇවිත් තියෙන්නේ. ඒගොල්ලන්ට ඡන්දෙ දීලා ආයෙමත් ඡන්ද නාස්ති කරන්න ඕනෙ ද? ඔය දිනන්න ද එන්නේ? අපි දින්නොත් අහවල් දවසේ පාර්ලිමේන්තුව විසුරවනවා කියලා සමහර අපේක්ෂකයෝ කියනවා. මෙන්න මගේ කැබිනට් එක කියලා කියනවා. මේ අයට පුළුවන් ද එහෙම කියන්න? වේදිකාවේ ඉන්න තුන් හතර දෙනාට එහෙම කියන්න පුළුවන්ද?
ඔය වේදිකාවේ සාමාන්‍ය පෙළ සමත් කීදෙනෙක් ඉන්නවද? මේගොල්ලන්ට ද දෙන්න යන්නේ? අපේ ගරුතර ස්වාමීන් වහන්සේ කෙනෙකුත් ඉතාම ප්‍රසිද්ධියේ ඊයේ පෙරේදා කිව්වා දැනුත් වෙලා තියෙනවා. පැය විසි හතරක් ඇතුළත තීන්දුවක් ගන්න. ඡන්ද නාස්ති කරන්න එපා කියලා. ඊළග මැතිවරණයකදි කැමැති තීරණයක් ගන්න. රනිල් වික්‍රමසිංහ මැතිතුමා පාර්ලිමේන්තුව පහුවදා විසුරුවන්නේ නැහැ. අපිට බහුතරය තියෙනවා. අදත් වැඩිම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සංඛ්‍යාවක් වැඩකරන්නේ එතුමා වෙනුවෙන්. සජිත් මහත්තයට ඉන්නේ පනස් පහකෙ හැටෙ විතර ප්‍රමාණයක්.
මේ රාජ ආණ්ඩු යුගයක් නොවේ
පොහොට්ටුවේ න්යායාචාර්යයි, සභාපතියි එහේ. දැන් සජබ නෙවෙයි. පොහොට්ටුවේ දියකරන්න හේතු වුණූ කට්ටිය එතන. එයාලාගේ වේදිකාව බලන්න. මාතලේ වේදිකාවක එක්කෙනෙක් බහිනකන් අනිත් එක්කෙනා වේදිකාවට නගින්නැහැ. ආරවුලක්. රත්නපුරේ එක්කෙනෙක්ව බස්සවලා යවලා. එක එක්කෙනා අතර ගැළපීමක් නැහැ. ඊළඟට එන පාර්ලිමේන්තු මැතිවරණයක දි පාර්ලිමේන්තුවට හරි යවමුකෝ කියලා යවා ගත්තට කමක් නැහැ. හැබැයි ජනාධිපති වෙන්නෙ නැති කෙනෙකුට කෙසේ වත් ඡන්දයක් නාස්ති කරන්න එපා.
මේක පුතාණෝලා අතර තියෙන ඩීල් එකක් කියලා අපි දන්නේ නැහැ. මම ඡන්ද ටිකක් කඩන්නම්. ඔයා ඔහෙන් දිනාගන්න. මගේ නඩු ටික බේරන්න කියලා ඩීල් එකක් යන්නත් පුළුවන්. ජනාධිපති අපේක්ෂකයෝ විත්ති කූඩුවටත් නගිනවා මම දැකලා තියෙනවා. ජනාධිපති වෙන්න තියෙන සුදුසුකම් මොකක්ද? තාත්තා ජනාධිපති කියලා පුතා ජනාධිපති කරන්න රටේ ජනතාව ලෑස්තිද? මේක රාජ ආණ්ඩු තියෙන යුගයක් නෙවෙයි. අද ලෝකෙම එහෙම තත්ත්වයක් නැහැ.
ජීවන වියදම් දිමනාව වැඩි කරනවා
රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම ගැන විවිධ කතා කියලා තිබුණා. මෙන්න කැබිනට් පත්‍රිකාව. දිනය 2024 අගෝස්තු 12. අංකය 53 ps/cm/sb/328 /2024. රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා පිළිබඳ කටයුතු කිරීම පිණිස පත්කළ කමිටුවේ විශේෂ අතුරු වාර්තාව අනුමත කිරීම. පත් කරපු කමිටුවට භාණ්ඩාගාරය, ඒකාබද්ධ සේවා අධ්යක්ෂ ජනරාල්, අයවැයේ අධ්යක්ෂ ජනරාල්, වාණිජ මණ්ඩලය වගේ හැමෝම නියෝජනය වන ආකාරයෙන් කමිටුව පත්කලා. ඒගොල්ලෝ කරුණු දහඅටක් ඉදිරිපත් කරා. ඒක අනුමත කරා. ඒ අනුව තමයි ජීවන වියදම් දීමනාව විසි පන්දහසක් වුණේ. ඒ අනුව තමයි අවම වැටුප සියයට විසිහතර වෙනකොට උපරිම වැටුප සියයට හැට එක දක්වා ඉහළ ගියේ. අදාළ යෝජනා දෙදහස් විසිපහ වර්ෂයේ අයවැයට ඇතුළත් කරනවා. අපි අයවැය හදන නිසා මේක හිතලුවක් නෙවෙයි. අනිත් අය පොරොන්දුවක් දෙන්නේ.
ප්‍රධාන අපේක්ෂකයෝ කාගේ හරි ප්‍රතිපත්ති ප්රකාශනයක කොතැනක හරි තියෙනවද වැටුප් විෂමතාවය ඉවත් කරනවා කියලා. මේ අවුරුදු දෙකයි මාස තුනට වැඩි හරියක් වැඩ වර්ජන තිබුණේ විෂමතාවය මුල්කරගෙන. සෞඛ්‍ය ගත්තොත් සුළු සේවකයින්, විකිරණවේදීන්, වෛද්‍යවරු අතරට උසස් අධ්‍යාපනය ගත්තොත් අධ්‍යයන කාර්ය මණ්ඩලය සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය. අධ්‍යාපන ක්ෂේත්රය ගත්තොත් ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය එක්දහස් නමසිය අනු පහේ ඉඳලා තියෙන්නේ. රාජ්‍ය කළමනාකරන සේවයේ ග්‍රාම නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, විධායක නිලධාරීන් වශයෙන් වැටුප් විෂමතාව ගැනයි වැඩවර්ජනය තිබුණෙ. මේ සා විශාල පරාසයකින් වැටුප් වැඩි කරන්න වෙලා තියෙන්නේ විෂමතාවය ඉවත් කෙරෙන්න අවශ්‍ය නිසයි. ඒකට අවශ්‍ය ප්‍රතිපාදන සොයාගෙන තමයි වැටුප් වැඩිකිරීම අයවැයට ඇතුළත් කරන්නේ. මෙය හුදෙක් මැතිවරණ පොරොන්දුවක් නෙමෙයි. ස්ථීරසාර වශයෙන් ම රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ජනාධිපති ධුරයත් එක්ක ආණ්ඩුව ඉදිරියට යනවා. අයවැය සම්මත කරලා වැටුප් වැඩිවීම කරලයි ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයට යන්නේ. විෂමතාව ඉවත් කිරීමේ ප්‍රතිඵලය රටේ ආර්ථික ඉහළ යැම යි.
22වන දා පාර්ලිමේන්තුව විසිරෙව්වොත්...?
සමහරු කියනවා විසි දෙවන දා පාර්ලිමේන්තුව විසිරවනවා කියලා. කොයිතරම් ප්‍රායෝගික ද කියලා මම දන්නෑ. එහෙම විසිරෙව්වොත් ඉතිරි වෙන්නේ එක පුද්ගලය යි. ඒ පත්වෙන ජනාධිපතිවරයා විතරයි. තනි පුද්ගලයෙකුට සියලු බලතල එනවා. පාර්ලිමේන්තුවක් නැහැ. පළාත් සභා නෑ. නගර සභා නෑ. කිසි දෙයක් නෑ. මේ ගැන හිතන්න. ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව විසුරුවන්නේ වන්නේ නැහැ. වැඩිම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, ප්‍රාදේශීය සභා සභාපතිවරු ඉන්නේ අපිත් එක්ක.’’