theleaderlk 01

තම පක්ෂය බලයට පත් වූ පසු රට නොබෙදා රට ගොඩනගන වගකීම භාරගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක,

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.

ඔහු මෙම ප්‍රකාශය කළේ ඊයේ (17) රත්නපුර නගරයේ පැවති ජන රැලිය අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ නාමල් රාජපක්ෂ.''


කතා කරලා වැඩක් නෑ

‘‘මේ දිස්ත්‍රික්කය තුළ මැතිවරණය ඉතාම සාර්ථකව ඉදිරියට ගෙනියනවා. දෙදහස් පහ වසරේ පැවති ජනාධිපතිවරණයත් මේ විදිහමයි. එදා මහින්ද රාජපක්ෂ මහතා දිනවන්න බර කරට අරගෙන රත්නපුර දිස්ත්‍රික්කය තුළ නායකත්වය ලබාදුන්නේ ප්‍රේමලාල් ජයසේකර ඇමතිතුමා ඇතුළු කණ්ඩායමයි. ඒ වගේම අදත් ජනාධිපතිවරණයේ නාමල් රාජපක්ෂ දිනවන්න ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු කණ්ඩායම දරන උත්සාහය අගය කරනවා. එදත් ලොකු ලොකු අය හිටියා. නමුත් අපි දිනුවා. අපි වැඩ කරපු කණ්ඩායමක්. අපිට වැඩ කරන්න අවශ්‍යයි. කතා කරලා වැඩක් නෑ. මේ රත්නපුර දිස්ත්‍රික්කයට වැඩක් කළා නම් ඒ කලේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවයි. එදා රාජ්‍ය සේවය පුළුල් කරලා අලුතින් රාජ්‍ය සේවයට තරුණ තරුණියන් බඳවා ගත්තා. රැකියා සඳහා තරුණ තරුණියන් ලක්ෂයක් බඳවා ගන්න ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවත් කටයුතු කළා.


අපි ඊර්ෂ්‍යා කරන්නේ නෑ

ඒ විතරක් නෙවෙයි. අපි ගම හැදුවා. ගමේ ආර්ථිකය ශක්තිමත් කිරීම තුළ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට හැකි බව අපි දුටුවා. දළුවලට සාධාරණ මිලක් දුන්නා. ඒ වගේම ගම් මිරිස්වලට කුරුඳුවලට සාධාරණ මිලක් ලබාදෙන්න රාජපක්ෂ ආණ්ඩුව හැමදාම කටයුතු කර තිබෙනවා. යහපාලන ආණ්ඩුව බලයට පැමිණ ගම්මිරිස්වල මිල, කුරුඳුවල මිල, තේවල මිල, ප්‍රති අපනයනය කරන ව්‍යාපාරිකයන්ට සහාය ලබා දෙන්නට අවශ්‍ය නිසා මහ පොළොවට සමතලා කර දැම්මා. එදා ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලුවේ මෙම නිෂ්පාදනවල මිල සාධාරණ තැනකට ගෙනත් දෙන්න කියලයි. ඒක අපි කළා. අපි මේ මහ පොළොවේ පය ගහලා දේශපාලනය කරන අය. අපිට අවශ්‍ය මේ රටේ මිනිස්සු පොහොසත් කිරීම මිස ව්‍යාපාරික පෙළැන්තිය කෝටිපතියන් කිරීම නොවේ. ව්‍යාපාරිකයන් සල්ලි හම්බ කරාට අපි ඊර්ෂ්‍යා කරන්නේ නෑ. නමුත් මිනිස්සුන්ට හොඳ ආදායමක් ලැබෙන්න ඕන. මිනිසුන්ගේ අතට සල්ලි ටික යන්න ඕන. ගමේ ව්‍යාපාර දියුණු වෙන්න ඕන. ඒ ගමේ ව්‍යාපාර දියුණු වුණොත් විතරයි ගමේ ආර්ථිකය දියුණු වෙන්නේ. ගමේ ආර්ථිකය දියුණු වුණොත් පමණයි දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න පුළුවන් වෙන්නේ. හොඳ අධ්‍යාපනයක් ලබාගත්තොත් පමණයි නූතන ලෝකයේ රැකියාවලට සරිලන තරුණයෙක් තරුණියක් බවට ඒ දරුවා පරිවර්තනය කරන්න පුළුවන් වෙන්නේ.


පතල් කර්මාන්තයට පහසුකම්

අපිට එදා රත්නපුර දිස්ත්‍රික්කය සංවර්ධනය කරන්න සැලසුමක් තිබුණා අපි රුවන් පුරට අධිවේගී මාර්ග ගේන්න සැලසුම් කරා. මත්තල ගුවන්තොටුපළෙන් ලැබෙන ප්‍රතිලාභය මේ ජනතාවටත් ලබාදෙන්න උත්සාහ කරා. අධිවේගී මාර්ග සංවර්ධනය කිරීමෙන් දෙස් විදෙස් සංචාරකයන්ගේ පහසුව සලසන්න සැලසුම් කරා. දේශීය බෝග සඳහා සාධාරණ මිලක් ලබාදෙන ජාතික වැඩපිළිවෙළක් එක්ක අප කටයුතු කරා. මහ පොළොව සමග පොර බදින මේ දිස්ත්‍රික්කයේ විශාල පිරිසක් පතල් කර්මාන්තයෙන් නිරතව සිටිනවා. බොහෝ අය කතා කරනවා. නමුත් ප්‍රායෝගික ගැටලු සඳහා විසදුම් ලබාදෙන්න කිසිවකු කතා කරන්නේ නෑ. කම්කරුවාගේ අයිතිය සම්බන්ධයෙන් කතා කරන්නේ නෑ. පැහැදිලිව අපි හදන ආණ්ඩුවක් තුළ පතල් කර්මාන්තයට අවශ්‍ය පහසුකම් ලබා දෙන්න වගේම පතල් කර්මාන්තයේ නිරත කර්මකරුවාගේ සුරක්ෂිතතාවය වෙනුවෙන් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් වගකීමෙන් යුතුව කියනවා. මේ ජනතාව විඳින දුක අපි දන්නවා.


මැණික් කේන්ද්‍රස්ථානය

මේ අය ජාතික ආර්ථිකයට ලබාදෙන දායකත්වය අපි දන්නවා. අපිට අවශ්‍ය ශ්‍රී ලංකාව මැණික්වල කේන්ද්‍රස්ථානයක් බවට පත් කරන්නයි. තායිලන්තයට පුළුවන් නම් ඩුබායි රාජ්‍යයට පුළුවන්නම් අපේ නූතන ප්‍රතිපත්තිය එක්ක ලෝකයේ මැණික්වල කේන්ද්‍රස්ථානය බවට අපේ රට පත් කරන්න පුළුවන්. ස්වාභාවධර්මයේ ආශිර්වාදය අපට තිබෙනවා නම් ඔබේ අත්වල හයිය තිබෙනවා නම් ප්‍රතිපත්තිමය තීන්දු අරගෙන මේ රට ආසියාව වගේම ලෝකයේ මැණික්වල කේන්ද්‍රස්ථානය බවට පත් කරන්න අපට හැකියාව තිබෙනවා. තවත් පැත්තකින් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය වෙන්න පුළුවන්. අනෙක් ක්ෂේත්‍රවල වෙන්න පුළුවන් දරුවන්ගේ රැකියා සඳහා විසඳුමක් ලබාදෙන්න. නූතන රැකියා වෙළඳපොළ තුළ රැකියා කරන්න හැකි දරුවෙක් අපි නිර්මාණය කළ යුතු වෙනවා. ඒ වගේම ලංකාව තුළ දේශීය සහ විදේශීය ආයෝජකයින් ශක්තිමත් කරනවා.


රාජ්‍ය සේවය ඩිජිටල්කරණයට

ආයෝජකයින් එන්නේ මොන රටින් ද ඒ ආයෝජකයා එවන්නේ කවුද කියන එක නෙවෙයි අපිට වැදගත් වන්නේ. ඒ ආයෝජනනිසා අපේ රටට ලැබෙන්නේ කුමක්ද කියන එකයි අපිට වැදගත් වන්නේ. අපේ රටේ දරුවන්ට රැකියා කීයක් උත්පාදනය වෙනව ද කියන එක වැදගත්. ඒ වගේම බලශක්තියෙන් අපි සුරක්ෂිත වෙන්න ඕන. මේ රටේ ජනතාව ජාතික ආර්ථිකයට ලබාදෙන දායකත්වයට නිසි ගෞරවයක් ලබාදෙන්න ආණ්ඩුවක් විදියට අපි මැදිහත් වෙනවා. මේ රටේ රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීම තුළ පෝලිම් යුගය අවසන් කරන්න හැකි වෙනවා. දේශපාලන වේදිකාවේ දී ඇතැමුන් ලබාදෙන පොරොන්දු ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න පුළුවන් ද නැද්ද කියන එක පිළිබඳව මේ ජනතාවට තක්සේරුවක් තිබෙනවා. මේ ජනතාව පොරොන්දු අහලා තියෙනවා. දෙදහස් පහළවේ බලයට ආවා රුපියල් දහ දාහක් දෙනවා කියලා. රුපියල් දහ දහ දීලා අවුරුදු දෙකක් ගියාම පස්සේ කියනවා මහා භාණ්ඩාගාරයට කෙළවුණා කියලා. ඊට පස්සේ අයිඑස්පී ණය ගන්න ඕන කියලා රුපියල් බිලියන දොළහයි දශම පහක් ගත්තා. ඒක අරගෙන ගෙවා ගන්න බැරි වුණාම රාජපක්ෂවරු රට ණය කළා කියා අපට චෝදනා කරනවා. ණය අරගෙන වැඩේ කරගන්න බැරි වුණාම අපට චෝදනා කරලා වැඩක් නැහැ.


ෆයිල් මිටි ගණන්

අපිට හොරා කියලා හං වඩු ගැහුවා. නමුත් මම අභියෝග කරනවා අපි අයුතු ලෙස උපයාගත් යම්කිසි වත්කමක් ලෝකයේ කොතැනක හෝ තිබෙනවා නම් ලෝකයේ ඕනෑම අධිකරණයක් ඉදිරියේ මුහුණ දීමට අපි සූදානම් කියා ප්‍රකාශ කරනවා. මම ඒක අභියෝග කරනවා. ෆයිල් හංගගෙන ෆයිල් මිටි පෙන්න පෙන්න ඉන්නේ නැතිව ඉදිරිපත් කරන්න කියා මා ඉල්ලීමක් කරනවා. දැන් බාගයක් ඉන්නේ රනිල් මහත්තයා ළඟ. තවත් බාගයක් අනුර මහත්තයා ළඟ. කවුරු හරි කමක් නෑ ෆයිල් ටික ඇදලා ඕනෑම පරීක්ෂණයක් කරන්න. පසුගිය කාලය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ දී ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරා. රාජපක්ෂවරු අයුතු ලෙස උපයාගත් කිසිදු වත්කමක් ලෝකයේ කිසිදු තැනක නැතැයි ප්‍රකාශ කරා. එතුමා පරීක්ෂණ කරා. නමුත් යළිත් වරක් ඇතැම් දේශපාලඥයන් හොරු අල්ලන්න බලයට එනවා කියනවා. ඒ නිසා ඔබ මේ කතා මීට පෙර අසා තිබෙනවා. මේවා අලුත් කතා නොවෙයි. අපිට අවශ්‍ය මේ රට අනාගතවාදීව ගොඩනගන්නයි. ඔබට අවශ්‍ය ඔබේ දරුවා වෙනුවෙන් දියුණු රටක් හදන්නයි. දේශපාලන වේදිකාවේ හොඳම කතාකාරයා, හොඳම විහිළු සපයන්නා, හොඳම කයිවාරුකාරයා සොයන මැතිවරණයක් නොවෙයි මෙය.


පරාජය අබියස වියරු වැටිම

ඔබේ දරුවාගේ හෙට දවස සුරක්ෂිත කරන්න, ඔබ කරන ව්‍යාපාරය දියුණු කරගන්න, අසීමිත බදු බරින් පීඩා විඳින ජනතාවට සාධාරණ බද්දගෙවා සතුටින් ජීවත්වන්න අවශ්‍ය පරිසරය නිර්මාණය කරනවා. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කරන්න බැරි වැඩදීලා නෑ. අපි කියන්නේ කරන්න පුළුවන් ඒවා. අපට මේ රට හදන්න පුළුවන්. අපට මේ රට බෙදන්න බැහැ. එනිසා රට නොබෙදා රට ගොඩනගන වගකීම භාරගන්නවා. යන විට අපේ අයට තර්ජනය කරන්න උත්සාහ කරයි. ඇතැම් දේශපාලන පක්ෂවල අය තර්ජනය කරන්න උත්සාහ ගන්නවා. ඒ අයට වෙන ප්‍රතිපත්තියක් නැහැ. වියරු වැටෙනවා. පරාජය දකින විට තරහ යනවා. ඒ අයට පරාජය වගේම ජයග්‍රහණය දරා ගන්නත් බැහැ. නමුත් මේ දෙකම දරා ගන්න අපට පුළුවන්. වැඩ කරන්න වුවමනාව තිබෙන නිසා අපි ජනතාව කෙරෙහි විශ්වාසය තබනවා. අපි බය කරලා ජනතාවගෙන් ඡන්දය ගන්න යන්නේ නෑ. අපි වැඩ කරලා, රටේ ජනතාව අතර විශ්වාසයක් ගොඩනගාගෙන දේශපාලනය කරනවා. අපිට මේ ජනතාව විශ්වාසයි. විසි එක්වනදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරවන්න එක්වන්නයි ආරාධනා කරනවා.

රට රැවටුවෙ අනුරලා - ඉත්තෑකන්දේ සද්ධාතිස්ස නාහිමි

y5fg464| ඉත්තෑකන්දේ සද්ධාතිස්ස නාහිමි

‘‘පසුගිය කාලේ බොහෝ පිරිසක් මහින්ද රාජපක්ෂ මහතාගේ රූපය ගහගෙන පාර්ලිමේන්තුවට ගියා. නමුත් අද එයින් බොහෝ පිරිසක් දේශපාලන වශයෙන් වෙනත් කඳවුරක ඉන්නවා. මේ රට අනුරට භාරදෙන්න කියලා අනුර කුමාර දිසානායක ම කියනවා. රට අනුරට කියලා ගහලා තියෙන්නෙත් මහින්ද රාජපක්ෂ හදලා තියෙන ලයිට් කණුවේ. මගේ රට ආපස්සට ඇද දැමූ පුද්ගලයා ජනාධිපතිකම ඉල්ලනවා. පසුගිය ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණයෙන් පසුව වසංගත ආවා. ආර්ථික වශයෙන් අර්බුදයක් ආවා. ඒ අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන ක්‍රියාදාමයක නිරත වුණා. ඔවුන් බලය ගන්න වෙනම අරගල කරා. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහානේ පීහිටි නිවසට පහර දුන්නා. ඔවුන් මේ රට වැට්ටුවා.


නාමල් වසර 30ක් ම ජනපති

පොහොට්ටුවේ ඉන්නේ දහම් පාසල් ගිය, සංස්කෘතිය අගය කරන පිරිසක්. පරණ කණ්ඩායම අමතක කරලා අපි අලුත් කණ්ඩායමක් සමග ඉදිරියට ගමන් කරනවා. මේ වගේම නාමල් රාජපක්ෂ අවුරුදු තිහක් මේ රටේ ජනාධිපතිකම කරනවා. ඒක කරන්න අපිට පුළුවන්. නමුත් අපේ කට්ටිය සද්ද නැතුව ඉන්නවා. ජනතා විමුක්ති පෙරමුණ හිතන්නේ ඒ චන්ද සියල්ලම ඒ අයගේ කියලා. මේ රට රැක්ක මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් අපි හිටගන්නවා. ඒ නිසා මේ රටේ ආදරණීය මිනිස්සු මහින්ද රාජපක්ෂ මහතාට ආදරෙයි. මේ රට තිස් වසරක යුද්ධයකින් පෙලුණු රටක්. අහිංසක රණවිරුවන් පෙට්ටියෙන් ගමට ආවා. ඒ නිසා අපි මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී ඉන්නවා. ඒකට අපිට ලැජ්ජාවක් නැහැ. අපිව දාලා ගිය කණ්ඩායම නැවත පාර්ලිමේන්තු නොයවන්න අපි වගබලා ගතයුතු වෙනවා.’’


රට ආපස්සට ගෙනිච්චෙ යහපාලනය


zdrw53| රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර
දෙදහස් පහේ අවුරුද්දේ මහින්ද රාජපක්ෂ මහතා මේ රට භාරගන්නා විට ජනතාව ඉල්ලුවේ රටට නිදහස ලබා දෙන්න කියලයි. ඒ මහතා ඒ කාර්යය අකුරටම ඉටු කරා. යුද්ධය අවසන් කරලා දැවැන්ත සංවර්ධනයක් රටට ගේන්නටත් සමත් වුණා. නමුත් දෙදහස් පහළවේ බලයට පත්වූ යහපාලන ආණ්ඩුව මේ රට ආපස්සට රැගෙන යන්න කටයුතු කළා. මහින්ද රාජපක්ෂ මහතා මේ රටට සිදුකර තිබෙන සේවය පිළිබඳව අමුතුවෙන් කිවයුතු නැහැ. අනාගතය දෙස බලලා එතුමා සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කළා. දරුවන්ගේ අනාගතය වෙනුවෙන් අධ්‍යාපන තාක්ෂණ ක්ෂේත්‍ර දියුණු කරන්න කටයුතු කළා. වරාය, ගුවන්තොටුපොළ, මහා මාර්ග, අධිවේගී මාර්ග, වාරිමාර්ග ඇතුළු ව්‍යාපෘති රැසක් මේ රට තුළ ක්‍රියාත්මක කළා. නමුත් එවැනි වැඩ කොටසක් කරන්න මේ රටේ කිසිවකුට නොහැකි වුණා.


නාමල්ගේ ජාත්‍යන්තර සබඳතා

අපේ කණ්ඩායමේ හිටපු පිරිසක් අද වෙනත් බලවේගයක් හා එක්වී සිටිනවා. නමුත් අද අපි එකට එකතු වී සිටින්නේ මේ විසි එක්වෙනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් රත්නපුර දිස්ත්‍රික්කය විශිෂ්ට ලෙස දිනවන්නයි. ඒ වෙනුවෙන් අපි පෙළගැසී සිටිනවා. අසූ අට අසූ නමය කාලය අපට හොඳට මතකයි. ඒ කාලේ හොඳින් දන්නා කිසිවකු ජනතාව විමුක්ති පෙරමුණට ඡන්දය දෙන්නේ නෑ. පසුගිය කාලයේ රට හමුවේ පැවති ආර්ථික අර්බුදයත් සමග අරගලයක් ආවා. එයින් පසුව ජනතා විමුක්ති පෙරමුණ රට පුරා විවිධ භීෂණ තත්ත්වයක් ඇතිකළා. අසුඅට, අසූ නවය කාලයේ තත්ත්වය ඔවුන් එතන දී පෙන්නුවා. නමුත් මෙවර ජනාධිපතිවරණයෙන් නාමල් රාජපක්ෂ මහතාට ජයග්‍රහණය කිරීමේ හැකියාව තිබෙනවා. එතුමාට ජාත්‍යන්තර වශයෙන් හොඳ සබඳතා තිබෙනවා. අද වන විට රට බෙදනවා කියා ඇතැම් දේශපාලන වේදිකාවල පැවසෙනවා. නමුත් කිසිදු අවස්ථාවක රට බෙදන්නේ නෑ කියා නාමල් රාජපක්ෂ කියා තිබෙනවා. එතුමා අද තාක්ෂණය සමඟ ඉදිරියට ගමන් කරනවා. රාජපක්ෂ මහතා නතර කර තැනින් රටේ සංවර්ධන ඉදිරියට රැගෙන යන්නේ එතුමා සූදානමින් සිටිනවා.’’


ප්‍රේමලාලා ජයසේකරට කැබිනට් ඇමති ධුරයක්


32ddd| බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්ස කුට්ටිආරච්චි

‘‘එදා මහින්ද රාජපක්ෂ මහතා සමග සිටි රත්නපුර දිස්ත්‍රික්කයේ පිරිසක් අපේ කඳවුරෙන් ඉවත් වී සිටිනවා. ඔවුන් සියලුදෙනා පසුගිය කාලේ මහින්ද රාජපක්ෂ මහතාගෙන් විශේෂ වරප්‍රසාදලත් පිරිසක්. නමුත් මේ දිස්ත්‍රික්කය ශක්තිමත් නායකයෙක් හැටියට ප්‍රේමලාල් ජයසේකර මහතා තවමත් මහින්ද රාජපක්ෂ මහතාගේ කඳවුරේ ඉන්නවා. ඒ ගැන අපි සතුටු වෙනවා. ඒ වගේම ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව ඒ මහතාට ප්‍රබල කැබිනට් අමාත්‍ය ධුරයක් හිමිවන බව විශ්වාසයි. මේ වන විට පවතින වාර්තා වලට අනුව මේ රටේ නව වන විධායක ජනාධිපතිවරයා හැටියට නාමල් රාජපක්ෂ මහතා බලයට පත්වෙනවා. මේ වන විට සිදුකර තිබෙන සමීක්ෂණ වාර්තා වලින් එය තහවුරු කර තිබෙනවා. අනුර කුමාර දිසානායකට හතරවන ස්ථානය හිමිවෙනවා. රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස අතර දෙවැනි සහ තුන්වැනි ස්ථාන බෙදී යනවා.


අපේ රට ඒකීය රාජ්‍යයක්

අපේ කඳවුරත් එක්ක එකතුවෙලා රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණ වේදිකාවට ආවා. නමුත් අවුරුදු තිස්අටක තරුණයෙක් හැටියට නාමල් රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කර තිබෙනවා. මේක පාර්ලිමේන්තු මැතිවරණය නොවෙයි. රටේ අනාගතයේ තීරණය කරන ජනාධිපතිවරණය වෙනවා. මෙවර මැතිවරණයේ දී ඡන්දය දෙන විට බුද්ධිමත්ව තීරණ ගන්න ඕන. අපේ ජයග්‍රහණය කිසිවෙකුට වළක්වන්න බෑ. නැවත වරක් අපේ රට යුද බියෙන් ඇලලී යනවාට කිසිවකු කැමති නෑ. අද වන විට ජනාධිපති ධුර අපේක්ෂකයින් තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට විවිධ පොරොන්දු ඇතුළත් කර තිබෙනවා. දහතුන් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය ක්‍රියාත්මක කරන බවට බොහෝ අය ප්‍රකාශ කර තිබෙනවා. නමුත් දහතුන ක්‍රියාත්මක නොකරන බවට නාමල් රාජපක්ෂ කෙළින් ම කියා තිබෙනවා. මේක ඒකීය රාජ්‍යයක් බවත්  එය කිසිදු අවස්ථාවක බෙදා වෙන් නොකරන බවත් නාමල් රාජපක්ෂ ප්‍රකාශ කර තිබෙනවා.’’

 srt345634tg

pe2024 2

worky sin

නවතම පුවත්