‘සිස්ටම් චේන්ජ්’ යනුවෙන් මිනිසුන් ඉල්ලා සිටියේ රටේ ආර්ථික සහ දේශපාලන ක්‍රියාවලිය ම කනපිට හරවන ආකාරයේ වෙනසක් යැයි
ජන අරගල සන්ධානයේ වසන්ත මුදලිගේ පැවසී ය.
ඔහු එලෙස පැවසුවේ අද (18) කිරිබත්ගොඩ නගරයේ පැවති ජන රැලියේ දී ය.
එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ වසන්ත මුදලිගේ...
බොරු පොරොන්දු
‘‘මැතිවරණයට දින ළං වෙමින් තියන වෙලාවක රටේ දේශපාලනයත් උණුසුම් වෙමින් තියෙනවා. අපි දන්නවා පහුගිය කාලේ ජනතාවගේ පැත්තෙන් රටේ දේශපාලන ක්‍රමය ගැන ලොකු විරෝධයක් සහ විවේචනයක් එල්ල වුණා. දැන් මේ මැතිවරණ උණුසුම ඇතුළෙ ජනතාවගේ ඒ විරෝධය කොල්ලකන්න සියලු අපේක්ෂකයෝ බොරු පොරොන්දු ලබා දෙමින් ඉන්නවා. ඒ පොරොන්දු ඇතුළෙ තියෙන්නෙ ජනතාවගේ දුක වේදනාව ඡන්ද බවට පත් කරන උත්සාහයක් විතරයි. මිනිස්සුන්ගෙ ප්‍රශ්නවලට උත්තර දෙන්න පුළුවන් වැඩපිළිවෙළක් කිසිවෙක් යෝජනා කරලා නෑ. මේ රටේ පාලන තන්ත්රය අර්බුදයට උත්තර හොයනවා කියලා පහුගිය අවුරුදු දෙක පුරාවට මොනව ද කරේ කියලා අපි දන්නවා. රටේ ජනතාවට අයිති දේපළ තෙල් ටැංකි, වරාය, ගුවන් තොටුපළ, ඉඩකඩම් සියල්ල විකුණන එක තමයි කරේ. එතනින් එහාට ගිහිල්ලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය අරගෙන ඒ ණයවලින් මාර මැජික් එකක් රටේ වුණා කියලා පෙන්නුවා. හැබැයි රට විකුණලත් ණය අරගෙනත් වෙච්ච මැජික් එකක් නෑ.
ආණ්ඩු කෙරුවාවේ මැජික් බලය
රටේ දරුවන්ගෙන් හතරෙන් එකක් මන්දපෝෂණයට ගොදුරු වෙලා. ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව දෙදහස් විසිතුන වර්ෂයට අදාළව ඉදිරිපත් කරපු ගෘහ ඒක සමීක්ෂණ වාර්තාව කියන විදිහට රටේ පහළ තීරුව දැවැන්ත ණය බරක් එක්ක මූලික අවශ්‍යතා පවා අහිමි තත්වයකට පත්වෙලා. රටේ සමස්ත පවුල් සංඛ්‍යාවෙන් සියයට විසි දෙකක් ණයගැති භාවයට ඇදවැටිලා. සියයට හැට පහයි දශම පහක පවුල්වල මාසික ආදායම අඩු වෙලා. ආර්ථික අර්බුදය එක්ක ජනතාවගෙන් සියයට දාහතරයි දශම දෙකකගේ රැකියා අහිමි වෙලා. ජනතාවගේ ආහාර වියදම පසුගිය වසරවලට සාපේක්ෂව සියයට අනූ එකයි දශම එකකින් වැඩිවෙලා. සෞඛ්‍ය වියදම්, අධ්‍යාපන වියදම් දරාගන්න බැරි තත්ත්වයට ඉහළ ගිහිල්ලා. දැන් ජනතාව ඉන්නේ අපේක්ෂා භංගත්වයෙන් එදා වේලවත් කන්න විදිහක් නැතුව. මේක තමයි ආණ්ඩුව කරා කියල කයිවාරු ගහන මාර මැජික් එක.
ජනතාව ඉල්ලපු වෙනස
ඉතින් අපි හිතනවා රනිල් වික්‍රමසිංහ නිශ්චිතව පරාජය කළ යුතුයි. හැබැයි පරාජය කරන්න ඕන ආණ්ඩුවේ ප්‍රතිපත්තිත් එක්ක. මොකද තවත් අපේක්ෂකයෙක් ඒ ප්‍රතිපත්තිම කරේ තියාගෙන ජනාධිපති පුටුවේ වාඩි වෙනවනං රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳෙන්නේ නෑ. පහුගිය කාලේ පුරාවට රටේ දේශපාලන බලය හොබවපු සියලු දෙනා ම ක්‍රියාත්මක කරේ එකම ප්‍රතිපත්තිය. ඒ තමයි ජනතාවගේ සහන කප්පාදු කරමින් අයි එම් එෆ්, ඉන්දියාව, ඇමරිකාව සරණ ගිය වැඩපිළිවෙළ. ඒ වැඩපිළිවෙළ ඇතුළෙ ජනතාවගේ ප්‍රශ්න විසඳුනේ නෑ. පහුගිය කාලේ අරගලය ඇතුළෙ ජනතාව ඉල්ලුවේ ක්‍රම වෙනසක්. රටේ ආර්ථික සහ දේශපාලන ක්‍රියාවලියම කනපිට හරවන විදිහේ වෙනසක් තමයි සිස්ටම් චේන්ජ් කියලා මිනිස්සු ඉල්ලා හිටියේ. අන්න ඒ ක්‍රම වෙනසට අදාළ වැඩපිළිවෙළ තමයි ජන අරගල සන්ධානය විදිහට අපි මේ මැතිවරණයට ඉදිරිපත් කරේ. නුවන් බෝපගේ ජනාධිපති අපේක්ෂක විදිහට කුඩය ලකුණින් තරග කරන්නේ ඒ දේශපාලන පරිවර්තනය කරන්න. ඉතින් අපි ජනතාවට කියනවා මේ මැතිවරණයේ දී ඔබ විසින් ඉල්ලා සිටි අපේක්ෂා ජයග්‍රහණය කරවන්න කුඩය ලකුණ ඉදිරියෙන් ඔබේ ඡන්දය ප්‍රකාශ කරන්න කියල.’’