theleaderlk 01

කුමන තත්ත්වයක් යටතේ වුව තමා ජනතාව අත හැර පලා නොයන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.


ඔහු එබව කියා සිටියේ, ''ෆෝකස් ගෘප්' කණ්ඩායමේ (Focus group) තරුණ තරුණියන් කිහිප දෙනෙකු ජනාධිපතිවරයා ගේ පැජට් පාර නිල නිවසේදී ඊයේ (18) පෙරවරුවේ හමුවූ අවස්ථාවේදීය.

ජනාධිපතිවරයාගේ මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව සමාජ මාධ්‍යවෙත මුදාහැරීමට සැලසුම්කර කර ඇති ගීතයක් ජනාධිපතිවරයාගේ අවදානයට යොමුකිරිම සඳහා එම තරුණ පිරිස එසේ ජනාධිපතිවරයා හමුව ඇත. රනිල් වික්‍රමසිංහගේ මැතිවරණ සටන ආරම්භ කරමින් අනුරාධපුරයේ පැවති ජනරැලිය දී එළිදැක්වූ '' මව්බිම දිනනවා...''  ගීතයද නිෂ්පාදනය කර තිබුනේ ''ෆෝකස් ගෘප්' තරුණ කණ්ඩායම විසිනි.  

ඊයේ ජනාධිපතිවරයා හමුවීමේ අවස්ථාවට '' ෆෝකස් ගෘප්' කණ්ඩායම නියෝජනය කරමින් මහීල් බංඩාර දෙහිදෙණිය, රන්දුල අබේවීර, නෙත්මි කනිෂ්කා, නිපුනි අබේධීර, නිරාෂාන් විතානගේ, උදාර චතුරංග, දොස්තර ප්‍රියංකර මහමුල්ගම, ආචාර්ය චමින්ද මලලසේකර, පසිදු වාසල ඇතුළු පිරිසක් එක්ව සිටියේය.

එහිදී මහීල් බංඩාර දෙහිදෙණිය කල විමසීමකදී ජනාධිපතිවරයා තවදුරටත් මෙසේද සඳහන් කළේය.

සියලු දේ මේ අට ලෝ දහමට අවනතයි...

ජීවිතය වගේම දේශපාලනයටත් අටලෝ දහම අදාලයි.  ලාබ-අලාබ, නින්දා ප්‍රශංසා, දුක සැප, යස අයස. හැමෝටම පොදුයි. සියලු දේ මේ අට ලෝ දහමට අවනතයි. අභියෝගය තමයි මේ අටලෝ දහමෙන් කම්පා නොවීම.

මොන අර්බුදයක් ඉදිරියේදී වුණත් ඒ අභියෝගයට මුහුණ දෙන්න ශක්තියක් තියෙන්න ඕන. ඕනම කුනාටුවකදී තමන් පදවන නැව ආරක්ෂා කිරීමත්, උපක්‍රමශීලීව කුණාටුව මගහැර යාමටත් නැවක නියමුවෙක්ට දක්ෂතාවයක් තියෙන්න ඕන.

 අර්බුදයක් වෙලාවේ ඒ රට අර්බුදයට දාලා පලායන කෙනා නායකයෙක් නෙවේ. අර්බුදය ඉදිරියට ගිහිල්ලා රට ආරක්ෂා කරන කෙනා තමයි නියම නායකයා. රට වෙනුවෙන්, ජනතාව වෙනුවෙන් කැප වෙනවා කියලා පපුවට ගහගත්තට ඒවා වචන විතරක් නම් ලැබෙන ප්‍රතිඵලයක් නැහැ. කෝටි ගණන් වචන වලින් කරන්න බැරි දේවල් එක ප්‍රායෝගික මැදිහත්වීමකින් කරන්න පුළුවන්.


ඇසට හසුවන සෑම දේම සාහසික විදිහට විනාශ කිරීම හෝ ඒවාට ගිනි තැබීම තුලින් ලැබෙන්නේ මොනවද ?, ඒ වෙනුවට කළයුත්තේ සන්සුන්ව අර්බුදවලට මුහුණ දී පිළිවෙලකට, සැලසුම් සහගත ව අරමුණක් වෙත ගමන් කිරීමයි.

ඒ විතරක් නෙවේ, විවිධ අවස්ථාවල දී තමන්ට අපහාස කළ, ඒ වගේම තමන් සතු දේපල වලට ගිනි තැබූ පුද්ගලයින් සමග වෛර බැඳීම, ඔවුන්ගෙන් පළිගැනීම නොව රට වෙනුවෙන්, ජනතාව වෙනුවෙන් සහ අනාගතය වෙනුවෙන් කළ යුතු දේ පමණක් වැළඳ ගැනීමයි කරන්න ඕනා.

 පහසු මාවත ඕනම කෙනෙකුට තෝරගන්න පුළුවන්. ඒත්, අසීරු වූවත් නිවැරදි මාවතම තෝරා ගැනීම තමයි වැදගත්.

මොන තරම් දැවැන්ත දේශපාලන වන්දි ගෙවන්න සිද්ද වුවත්, තමන් විශ්වාස කරන, තමන් වැළඳගෙන ඇති ප්‍රතිපත්ති වලට සාධාරණයක් ඉෂ්ට කිරීමයි වැදගත්. වසර 50 කර ආසන්න මාගේ දේශපාලන ජීවිතය පුරා මම කරන්න උත්සාහ කලේ මෙයයි.


නිදහසෙන් පසුව අපේ රට මුහුණ පෑ දැවැන්තම අභියෝගය හමුවේ සමහරු අහුවෙන අහුවෙන දේ විනාශ කළා.  දේශපාලන විරුද්ධවාදීන්ගේ ගෙවල් ගිණි තැබීමට තමන්ගේ දේශපාලන භාවිතය පාවිච්චි කළා. අභියෝගය බාර ගන්නේ නැතුව පලා ගියා.

ගිලෙන්න ගිය නැවක් බොහොම අමාරුවෙන් බේරා ගත්තත්, කුණාටුව තාම ඉවර වෙලා නෑ. පළපුරුද්දක්, හැකියාවක්, අඩුම තරමේ වැඩ පිලියමක්, සිතියමක් නැතිව මේ නැව යාත්‍රා කරන්න බෑ.

සුරංගනා කතා වලින් රටක්, ජනතාවක් සුරංගනා ලෝකවලට කැඳවාගෙන යන්න බෑ.

ලස්සන වචන කියන්න ලේසියි. ඒත් ලස්සන වචන වලින් සුක්කානම කරකවන්න බෑ. අනිවාර්යයෙන්ම යතාර්ථය කියන දැවැන්ත කළු ගලේ හැප්පෙනවා. මේ මොහොත තීරණාත්මක වෙන්නේ ඒ නිසයි.        

එක දෙයක් කියන්න අවශ්‍යයි.

අපි අභියෝග හමුවේ කිසි දවසක පලා ගියේ නැ. පැනල යන්නෙත් නෑ. අවලාද හමුවේ සිනා සුනා මිස පෙරලා අවලාද වලින් ඒ ඒ අයට පහර දුන්නේ නෑ, පහර දෙන්නෙත් නෑ. නින්දා අපහාස ගණන් ගන්නේ නෑ.  ප්‍රශංසා ගණන් ගන්නෙත් නෑ. මාව අත හැරියත්, කවදාවත් මම ජනතාව අත හැරලා නෑ, අත හරින්නෙත් නෑ.





pe2024 2

worky sin

නවතම පුවත්