දැනට වසර ගණනාවක සිට පැවති මැතිවරණ අවස්ථාවල දි මෙන් ම පශ්චාත් මැතිවරණ අවස්ථාවල දී ඒ ඒ, පාර්ශ්ව, කණ්ඩායම් සහ පක්ෂ ප්රචණ්ඩ ක්‍රියා සඳහා යොමු වු අවස්ථා ඉතා විරල ය. එය සතුටට මෙන් ම යහපත් සිදුවීමකි.
මේ වන විට අප ජීවත් වන්නේ ද එබඳු ජනාධිපතිවරණයක් අබියස ය. ඉදින් එළඹ තිබෙන්නේ සුවිශේෂී ජනාධිපතිවරණයක් බව වෙසෙසින් සඳහන් කළ යුතු නොවේ. මෙවර පවත්වන්නට නියමිත ජනාධිපතිවරණයෙන් ඉක්බිතිව ද පශ්චාත් ජනාධිපතිවරණ ප්රචණ්ඩ ක්‍රියා ඇති නොවේවා යන්න රටේ සියලු පුරවැසියන්ගේ බලාපොරොත්තුව බව ද නිසැක ය.
මෙම කරුණ තවදුරටත් පැහැදිලි කර දෙනු වස් ‘සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය’, එහි ගරු සභාපති, හිටපු කතානායක කරු ජයසූරියගේ අත්සනින් යුතුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.
මතු දැක්වෙන්නේ එම මාධ්‍ය නිවේදනය යි.
ජන මතයට ගරු කරන්න - මේ රට තවත් බංගලාදේශයක් බවට පත් නොකිරීමට සියලු ම පාර්ශව වගකීමකයින් යුතුව කටයුතු කරන්න
මේ වනවිට අප අභිමුව ඇත්තේ ඉතාමත්ම තීරණාත්මක වූ ජනාධිපතිවරණයකි. එමගින් ඉදිරි අවුරුදු පහක කාලයක් සඳහා තමන් කැමති රාජ්‍ය නායකයකු තෝරා ගැනිමට ජනතාවට අවස්ථාව උදා වී තිබේ. කිසිදු බාධාවකින් තොරව සෑම පුරවැසියකුට ම එකී අයිතිය ලැබිය යුතුය.
එහිදී මෙවර ජනාධිපතිවරණයට තරග කරන්නා වූ සියලු ම අපේක්ෂකයින් මෙන්ම පක්ෂ නායකත්වයන්ට විශාල වගකීමක් පැවරී තිබේ. ඒ, ජනතාව ලබාදෙන තීන්දුවට ගරු කිරීමට ය. රටේ නීතියට හා සමාජ යුක්තියට අනුව ද, ශිෂ්ට සම්පන්න මෙන්ම සදාචාරාත්මක වටිනාකම්වලට අනුව ද එය ඔවුන් විසින් අත්‍යවශ්‍යයෙන්ම සිදුකළ යුතුව ඇති වගකීමකි.
අප මේ බව අවධාරණය කරන්නේ මෑත දශක කිහිපය තුළදී ප්රචණ්ත්වයෙන් තොර නිදහස් හා සාමකාමී මැතිවරණ සංස්කෘතියක් නිර්මාණය කර ගැනීමට ලාංකීය සමාජය දක්වා ඇති උනන්දුව සහ කැපවීමට ගරුත්වයක් ද ලබාදෙමිනි. එය යාවත්කාලීන කිරීම කරගත යුතුව තිබේ. අප එකී ප්රතිපත්තියෙහි තවදුරටත් කටයුතු කිරීමට අපහොසත් වූවහොත් එමගින් ශ්‍රී ලංකාව තවත් බංගලාදේශයක් බවට පත්වීමේ අනතුරක් පවතී. පශ්චාත් මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා හේතුවෙන් ඇතැම් අප්‍රිකානු රටවල ඇතිවී ඇති අවසානාවන්ත සිදුවීම් හේතුවෙන් එම රටවල ජනතාවට මුහුණ දීමට සිදුවූ ඛේදජනක තත්ත්ව අප ගැඹුරින් අවබෝධ කරගත යුතු ය.
එමෙන්ම මේ රටේ බහුතර කැමැත්තට අනුව මෙම මස 21 දින ජනතාව විසින් තෝරා පත්කරගනු ලබන රාජ්‍ය නායකයාට ද ජාතියට ඉටුකිරීම සඳහා දැවැන්ත කාර්යය භාරයක් ඇති බව සිහිපත් කිරීමට ද මෙය අවස්ථාවක් කරගනිමු. ලැබෙන ජනවරම තුළ රාජ්‍ය බලයට පත්වන ජනාධිපතිවරයා වෙත පැවැරෙන එක් ප්‍රධාන වගකීමක් වන්නේ, පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ නිසි ලෙස පවත්වා රටේ පාලනයට හවුල්වීම සඳහා මහජනතාවට ඇති අයිතිය තහවුරු කිරීමයි. එමෙන්ම අත්තනෝමතික පාලනයකට ඉඩ සලසන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරමින් මැතිවරණ ක්‍රමය ද නොපමාව ම සංශෝධන කිරීම එහි දී ඉතා වැදගත් ය.
මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට අදාළව හිටපු අගවිනිසුරුවරයකු වන ප්‍රියසාද් ඩෙප් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති විශේෂ ජනාධිපති කොමිෂන් සභාව ඉතා වැදගත් යෝජනා රැසක් දැනටමත් ඉදිරිපත් කර ඇති බව දැනගැනීමට ඇත. එම යෝජනා නොපමාවම මහජන අවධානය සඳහා යොමු කිරීමේ අවශ්‍යතාවක් පවතී. සිවිල් සමාජ සංවිධාන, විද්වත් පර්ශද ඇතුළු ආයතන රාශියක් විසින් ඉදිරිපත් කරන ලද කරුණු සැලකිල්ලට ගනිමින් සකස් කර ඇති එකී යෝජනාවලිය ධවල පත්‍රිකාවක් ලෙස ඉදිරිපත් කළහොත් එය පුළුල් සමාජ කතිකාවකට අවස්ථාවක් සැලසෙන බව අපගේ විශ්වාසයයි.
මෙම ජනාධිපතිවරණ කාලවකවානුවේ දී අප අමතක කොකළ යුතු තවත් වැදගත් කරුණක් වන්නේ නිදහස් හා සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් ජාතික මැතිවරණ කොමිෂන් සභාව, ආරක්ෂක අංශ සහ අනෙකුත් රාජ්‍ය නිලධාරින් අද්විතීය සේවාවක් සිදුකර ඇති බව ය. මැතිවරණ කොමිෂන් සභාවේ සක්‍රීය අධීක්ෂණය හේතුවෙන් මේ දක්වා ම ජනාධිපතිවරණයට අදාළ සියලු කටයුතු සාමාකාමී සහ නීති ගරුක ආකාරයට පවත්වා ගැනීමට හැකිවී තිබේ. ඒ පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව වෙත සහ අනෙකුත් රාජ්‍ය අංශ වෙත අප-අපගේ ප්‍රණාමය පුද කරන්නෙමු. එමෙන්ම මෙම මස 22 දිනයෙන් පසුව ද මේ රටේ අනාගතය තීන්දු වනු ඇත්තේ, බලධාරින්ගේ යහපත් ක්‍රියාකාරිත්වය සහ ජනතාවගේ නීති ගරුකභාවය පදනම් කරගෙන ය. ඒ අනුව රටේ සෑම පාර්ශවයක් ම තමන් සතු ජාතික වගකීම නිසි ලෙස ඉටුකරනු ඇතැයි අපි වැඩිදුරටත් අපෙක්ෂා කරන්නෙමු.
(කරු ජයසූරිය)
සභාපති
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය
2024 සැප්තැම්බර් මස 19 දිනදීය