තම දරුවන්ට අසාධාරණයක් සිදුවූ බව පවසමින් මවුපියන් පිරිසක් නිකවැරටිය ප්‍රධාන පාසලක් ඉදිරිපිටදී අධ්‍යාපන බලධාරින්ට භාර දීම සඳහා ලිපියක් අත්සන් තබා ඇත.
නිකවැරටිය ප්‍රධාන පාසලක ගුරුවරයකු විසින් මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න කිහිපයක්ම ඔහුගේ උපකාරක පන්තිවලට සහභාගි වන සිසුන්ට සහ පාසලේ දරුවන් පිරිසකට විභාගයට පෙර දින දෙක තුළදී ලබාදී ඇතැයි මවුපියෝ චෝදනා කරති.
මේ නිසා තම දරුවන්ට අසාධාරණයක් සිදුවූ බව පවසමින් මවුපියන් පිරිසක් එම පාසල ඉදිරිපිටදී අධ්‍යාපන බලධාරින්ට භාර දීම සඳහා ලිපියක් ඊයේ (19) අත්සන් තබා ඇත.
මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිළිබඳ මතුව ඇති ආන්දෝලනාත්මක ගැටලුව සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් පරීක්ෂණ පවත්වනු ලබන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.
එම පරීක්ෂණ අවසන් වූ වහාම මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බව ද අමාත්‍යාංශය නිකුත් කර ඇති නිවේදනයේ දැක්වේ.
මෙවර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ, ප්‍රශ්න කිහිපයකට සමාන ප්‍රශ්න සහිත අනුමාන ප්‍රශ්න පත්‍රයක් අලව්ව ප්‍රදේශයේ උපකාරක පන්ති ගුරුවරයකු විභාගයට පෙර ප්‍රසිද්ධ කර තිබූ බවට චෝදනා එල්ල විණි. ඒ අනුව ප්‍රශ්න පත්‍රය සකස් කළ විද්වත් මඬුල්ලේ ද එකඟත්වය ඇතිව අදාළ ප්‍රශ්න 03 ඉවත් කර අවසන් ලකුණු ලබාදීමට විභාග දෙපාර්තමේන්තුව පසුගියදා (17) තීරණය කළේය.
එවන් පසුබිමක මවුපියන් පිරිසක් පෙරේදා (18) පෙරවරුවේ විභාග දෙපාර්තමේන්තුව ඉදිරිපිටට පැමිණ විරෝධතාවයේ නිරත වූ අතර එහිදී උද්ගත වූ නොසන්සුන් තත්ත්වය පාලනයට කැරලි මර්දන ඒකකය කැඳවීමටත් බලධාරීන් පියවර ගෙන තිබිණි.
අනතුරුව මවුපියන් හය දෙනකුට විභාග කොමසාරිස්වරයා සමඟ සාකච්ඡාවක් සඳහා අවස්ථාව හිමිවිය.
මෙම ගැටලුව සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙසට ශිෂ්‍යත්වය සඳහා පෙනීසිටි සිසුන්ගේ මවුපියන් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබිණි.
(නිකවැරටිය - ගයන්දි පමෝධා)