මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල නිරත වූයේ යැයි පැමිණිලි ලැබී තිබූ රාජ්‍ය නිලධාරීන් 09 දෙනෙකු මැතිවරණ රාජකාරීවලින් ඉවත් කිරීමට
මැතිවරණ කොමිෂන් සභාව විසින් කටයුතු කර තිබේ.
හම්බන්තොට මැතිවරණ දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් පිරිසක් මෙලෙස මැතිවරණ රාජකාරීවලින් ඉවත් කර තිබෙන අතර, තවත් නිලධාරීන් සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇතැයි හම්බන්තොට දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී එම්.පී. සුමනසේකර මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබිණි.
එලෙස රාජකාරීවලින් ඉවත් කළ නිලධාරීන් අතර ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් ද සිටින බව ඔහු සඳහන් කර තිබේ.
'මැතිවරණ කොමිසමට කළ හැකි කුමක් ද?'
මෙලෙස මැතිවරණ රාජකාරීවලින් ඉවත් කෙරුණු නිලධාරීන් සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග මොනවා දැයි දැන ගැනීමට බීබීසී සිංහල සේවය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.එල්.ඒ. රත්නායකගෙන් විමසීමක් කළේ ය.
එහිදී සභාපතිවරයා පැවසුවේ, මැතිවරණ කොමිසමට කළ හැකි වන්නේ ඔවුන් මැතිවරණ රාජකාරිවලින් ඉවත් කිරීම පමණක් බව ය.
"මේ අයට පරීක්ෂණ හෝ ක්‍රියාමාර්ග ගැනීමක් මැතිවරණ කොමිසම හරහා සිදුවන්නේ නෑ. මේ අය සේවය කරන ආයතන හරහා තමයි පරීක්ෂණයක් කරනවා නම් කරලා ක්‍රියාමාර්ග ගැනීමක් සිදු කරන්නේ."
'පරීක්ෂණ සිදුවන්නේ ආයතන සංග්‍රහයෙන්'
එම නිලධාරීන්ට අදාළව පරීක්ෂණ පැවැත්වීම සිදු කෙරෙන්නේ, ආයතන සංග්‍රහයේ ඇති සීමාවන් අනුව බව සභාපතිවරයා ප්‍රකාශ කළේ ය.
"ආයතන සංග්‍රහයේ වෙන ම පරිච්ඡේදයක් තියෙනවා රාජ්‍ය නිලධාරීන්ගේ දේශපාලන අයිතිවාසිකම් සම්බන්ධයෙන්. මාණ්ඩලික මට්ටමේ නිලධාරීන්ට දේශපාලන අයිතිවාසිකම් නෑ. මාණ්ඩලික නොවන නිලධාරීන්ට දේශපාලන අයිතිවාසිකම් තිබුණත් ඒවා රාජකාරී වේලාවේදී කරන්න බෑ. රාජකාරියට මුල් තැන දෙන්න ඕනෑ," ඔහු පැවසුවේ ය.
එම සීමාවන්ට අනුව ඔවුන් සේවය කරන රජයේ ආයතන පරීක්ෂණ පවත්වා නිසි ක්‍රියාමාර්ග ගැනීමක් සිදු කරනු ඇතැයි ඔහු පැවසුවේ ය.
ආයතන සංග්‍රහයේ සඳහන් වන්නේ කුමක් ද?
ආයතන සංග්‍රහයේ 32 වන පරිච්ඡේදයේ දේශපාලන අයිතිවාසිකම් භුක්ති විඳීම සම්බන්ධයෙන් සීමාවන් දක්වා තිබේ.
එම සීමාවන්ට අනුව "ජනාධිපති තේරීමකදී, පාර්ලිමේන්තු මැතිවරණයකදී, ජනමත විමසුමකදී, පළාත් සභා මැතිවරණයකදී, හෝ පළාත් පාලන මැතිවරණයකදී ඡන්දය දීම හැර වෙනත් කිසිදු දේශපාලන කටයුත්තක යෙදීම" තහනම් වන නිලධාරීන් මෙසේ ය.
* අධිකරණ නිලධාරීන්
* සන්නද්ධ සේවා නිලධාරීන්
* පොලිස් නිලධාරීන්
* අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ පොලිස් කටයුතු ඉටු කරන වෙනත් සාම නිලධාරීන් (උදා: ග්‍රාම නිලධාරීන්)
* බන්ධනාගාර නිලධාරීන්
* රජයේ සේවයේ නියුක්ත මාණ්ඩලික හෝ අධීක්ෂණ නිලධාරීන්
* මැතිවරණ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, එහි සේවය කරන තෙක්
මෙම නිලධාරීන් හැර අනෙක් නිලධාරීන්ට දේශපාලන අයිතිවාසිකම් භුක්ති විඳීමේ අවස්ථාව හිමි අතර, දේශපාලන පක්ෂවලට සම්බන්ධ වීම හෝ රැස්වීම් ඇමතීම් ආදිය හුදෙක් රජයේ සේවයේ ඔහු කරන වැඩකටයුතුවලට හානියක් නොවන පරිදි ඒවායෙහි නිරත විය හැකි බව ද ආයතන සංග්‍රහයේ සඳහන් කර තිබේ.
(BBC සිංහල සේවය)
සබැඳි පුවත් :
නිලධාරීන් 9 දෙනෙක් ඡන්ද රාජකාරීවලින් ඉවත් කරයි