යුද අපරාධ ඇතුළු කෙලෙසීම් චෝදනා පිළිබඳව ආණ්ඩුවට කල්මැරීමට මග පාදා දෙන අයුරින් සකසා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයට
මෙවර ඉදිරිපත් කෙරෙන ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනා කෙටුම්පත යුද පීඩිත දෙමළ ජනතාව විසින් ජිනීවා නුවරදී ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ.
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් චර්යාව භූමියේම අධීක්ෂණය කිරීම සඳහා විශේෂ එජා නියෝජිතයකු පත් කර එවන ලෙස ඔවුහු යෝජනා කරති.
මධ්‍යම කණ්ඩායම (Core Group) නමින් හැඳින්වෙන රටවල් හයක් එක්වී සම්පාදනය කරන ලද කෙටුම්පතේ ඇත්තේ පහත දැක්වෙන වාක්‍ය දෙකයි.
1. කොමිසමේ 57 වැනි සැසිවාරයට මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව සාදරයෙන් පිළිගනිමු.
2. මානව හිමිකම් කවුන්සිලයේ 51/1 යෝජනාවේ වරමත්, එහි දැක්වෙන මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලයෙන් ඉල්ලා සිටින සියලු වැඩ කටයුතුත් සඳහා කල් දීමට තීරණය කරන අතර 58 වැනි සැසිවාරයේදී වාචික වාර්තාවක් ඉදිරිපත් කිරීමටත්, ශ්‍රී ලංකාවේ මානව හිමිකම්, සංහිඳියාවේ හා වගවීමේ ප්‍රගතිය පිළිබඳ අංගසම්පුර්ණ වාර්තාවක් 60 වැනි සැසිවාරයට ඉදිරිපත් කිරීමටත් මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලයෙන් ඉල්ලා සිටී.
ආණ්ඩුව සහ යුද පීඩිත ජනතාවගේ නියෝජිතයන් ඇතුළු විවිධ පාර්ශව සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව සකස් කරගන්නා යෝජනාව මෙවර මානව හිමිකම් සැසිවාරයේදී ඡන්දයට දැමීමට නියමිතය.
කැනඩාව, බ්‍රිතාන්‍යය, ඇමරිකා එක්සත් ජනපදය, මලාවිය, මොන්ටිනීග්‍රෝ සහ උතුරු මැසඩෝනියාව යන මධ්‍ය කණ්ඩායමේ රටවල රාජ්‍ය තාන්ත්‍රිකයන් බ්‍රහස්පතින්දා (19) ජිනීවා නුවරදී මුල් කෙටුම්පත සාකච්ඡාවට ගත් අවස්ථාවේදී එහි සිටි යුද පීඩිතයන්ගේ නියෝජිතයන් එක හඬින් කියා තිබුනේ පහළොස් අවුරුද්දක් තිස්සේ ජාත්‍යන්තර මැදිහත්වීමකින් යුක්තිය ඉල්ලන වින්දිතයන්ගේ අවශ්‍යතාව යෝජනාවේ සැලකිල්ලට ලක් වී නැති බවයි. එය ආණ්ඩුවට වාසි සලසන අයුරින් සකස් කර ඇති බව ඔවුන්ගේ චෝදනාවකි.
සාකච්ඡාවට සහභාගී වූ ශ්‍රී ලංකාවේ නියෝජිත යෝජනාව එකහෙලා ප්‍රතික්ෂේප කරමින් නැවත වතාවක් අවධාරණය කළේ වගවීම සහ සංහිඳියාවට අදාළ කිසිදු ජාත්‍යන්තර ඇඟිලි ගැසීමකට ඉඩ නොදීම රජයේ ස්ථාවරය බවයි.
“මෙය වින්දිතයන් කේන්ද්‍ර කරගෙන නැතැ,” යි පැරිසියේ පිහිටි ගෝලීය දෙමළ ව්‍යාපාරයේ නියෝජිත නිශා පීරිස් පැවසුවාය.
“දෙමළ වින්දිතයන් ලෙස අපි ඉල්ලා සිටින්නේ මියන්මාරය සම්බන්ධ යෝජනාවේ මෙන් ශ්‍රී ලංකාවේ වර්ග සංහාරයේ වින්දිතයන් ලෙස දෙමළ ජනතාව නම්කොට රට වෙනුවෙන් නිශ්චිත විශේෂ වාර්තාකරුවකු පත් කර එවන ලෙසයි.”
වන්නියේ සිට ජිනීවා නුවරට ගොස් සිටි අතුරුදහන් කරනු ලැබුවන්ගේ ඥාතීන්ගේ සංගමයේ ලේඛිකා ලීලාදේවී ආනන්දනඩරාජා මාතාවගේ සෝබර ඉල්ලීම වූයේ “යුක්තිය නොලබාම අපට මැරී යන්නට සලසන්න එපා,” යන්නයි.
“අවුරුදු 15ක් ගතවී අරගලයේ නිරත 250කට වැඩි ඥාතීන් පිරිසක් ඇත්ත නොදැනම අවසන් ගමන් යාමෙන් පසුවත්, අපිට යුක්තිය සැලසී නැහැ. ජාත්‍යන්තර යාන්ත්‍රණයක් පිළිගැනීමට ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට බලකළ යුතුයි.”
ශ්‍රී ලංකාවේ සිටින ස්විට්සර්ලන්තයේ, ජපානයේ හා දකුණු අප්‍රිකාවේ දූත මණ්ඩල ප්‍රධානීන් උතුරේ දින කිහිපයක සංචාරයකින් අනතුරුව ජාත්‍යන්තර යාන්ත්‍රනයකට ඔවුන්ගේ සහාය දෙන බව අතුරුදහන් කළවුන්ගේ ඥාතීන් සහ සිවිල් සමාජ නියෝජිතයන් හමුවේ කියා පෑ ආකාරය ඇය එහිදී සිහිපත් කර දුන්නාය.
“මුල්ලිවයික්කාලේ තිබුණු රැස්වීමකදී තානාපතිවරුන් කතා පැවැත්වුවා. අපෙන් විමසන්නේ හෝ අපේ එකඟතාවයක් හෝ නැතිව කිසිම කිසිම තීන්දුවකට එන්නේ නැති බවට ඒ අය සහතික වුනා. ඒ නිසා අපි හැමෝගෙන්ම ඉල්ලා සිටින්නේ දේශීය යාන්ත්‍රණයකට ඉඩ දෙන්න එපා කියලයි.”
කෙටුම්පත් කර ඇති යෝජනාව ආණ්ඩුවේ මතය අනුමත කරන්නක් බව ඇය වැඩිදුරටත් අවධාරණය කළාය.
ලංකාණ්ඩුව දිගින් දිගටම කියා සිටින්නේ යුක්තිය ඉටු කිරීමෙහි සමත් යාන්ත්‍රණයක් රට තුල ක්‍රියාත්මක වන බවයි.
ප්‍රංශය පදනම් කරගත් මානව හිමිකම් සඳහා වන කාන්තා සාමුහිකය නියෝජනය කරමින් සෙල්වියා සෙල්ලදුරෙයි රටවල් හයේ නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටියේ කැනඩාව සහ එක්සත් ජනපදය අනුව යමින්, යුද අපරාධ සහ වර්ග සංහාරක අපරාධ සම්බන්ධයෙන් පිළිගත හැකි චෝදනා ලබා සිටින ශ්‍රී ලාංකික හමුදා හා දේශපාලන නායකයන් ඉලක්ක කොටගත් සම්බාධක පනවන මෙන් යෝජනා කරන ලෙසයි.
අලුත්ම ජිනීවා යෝජනා කෙටුම්පත ගැන දැඩි නොසතුට පල කරන දෙමළ නියෝජිතයෝ ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර දෙමළ ජනතාව මුහුණ පා සිටින තත්වය පිළිබඳ විශේෂ වාර්තාවක් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ඉදිරිපත් කරන ලෙස මධ්‍යම කණ්ඩායමේ රටවලින් වැඩිදුරටත් ඉල්ලා සිටියහ.