ස්වාධීන අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ කොළඹ විශ්ව විද්‍යාලයේදී ද, සමගි ජනබලවේගය අපේක්ෂක සජිත් ප්‍රේමදාස රාජගිරිය
කොටුවෙගොඩ විවේකාරාම පුරාණ විහාරස්ථානයේදී ද, ජාතික ජනබලවේගය නායක අනුර කුමාර දිසානායක මරදාන අබේසිංහාරාමයේදී සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපේක්ෂක නාමල් රාජපක්ෂ මැදමුලන ප්‍රදේශයේදී සිය ඡන්දය භාවිත කළහ.
මෙම මැතිවරණය ශ්‍රී ලංකාවේ හැරවුම් ලක්ෂයක් - ජනාධිපති රනිල්
සිය ඡන්දය භාවිත කිරීමෙන් පසු මාධ්‍ය ඇමතු ජනාධිපති රනිල් වික්‍රමසිංහ,
"මට ඡන්දය දෙන හැමෝටම ස්තූතියි. මේ පෝලීම දැන් මම ඇති කළේ. රට අස්ථාවර තත්ත්වයේ තිබුණා නම් අද අපිට ඡන්දෙ දෙන්න ලැබෙන්නේ නැහැ. ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදීම නතර කරන්න කියලා අපි පොලීසියට උපදෙස් දීලා තිබෙනවා."
මෙම මැතිවරණය ශ්‍රී ලංකාවේ හැරවුම් ලක්ෂයක් බවත්, රට විනාශ කළ සාම්ප්‍රදායික දේශපාලනයෙන් සහ ආර්ථික ප්‍රතිපත්තිවලින් ඉවත්ව රට තුළ නව සමාජ හා දේශපාලන ක්‍රමයක් ගොඩනැඟීමට ලැබෙන වටිනා අවස්ථාවක් බවද ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ පෙන්වා දුන්නේය.
ප්‍රජාතන්ත්‍රවාදය ජයග්‍රහණය කරවමු - සජිත්
සමගි ජන බලවේගය ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස රාජගිරිය කොටුවේගොඩ විවේකාරාම පුරාණ විහාරස්ථානයේ ස්ථාපිත ඡන්ද මධ්‍යස්ථානයේදී සිය ඡන්දය භාවිත කළේය.
ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරමින් සාමයෙන්, මිත්‍රශීලීත්වයෙන් සහ එකමුතුකමින් කටයුතු කිරීම සැමගේම යුතුකම සහ වගකීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙහිදී පැවසීය.
"ප්‍රජාතන්ත්‍රවාදය ජයග්‍රහණය කරවමින් සාමයෙන්, මිත්‍රශීලිත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදීව මේ මැතිවරණය කටයුතු ක්‍රියාත්මක කිරීම අප සැමගේම වගකීමක් හා යුතුකමයි", ඔහු එහිදී මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.
ලංකා ඉතිහාසය වෙනස්කරන මැතිවරණයක් - අනුර
ලංකා ඉතිහාසය වෙනස්කරන මැතිවරණයක් බවට මෙම මැතිවරණය පත්වන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසයි.
පංචිකාවත්ත අබේසිංහාරාම විහාරස්ථානයේ ස්ථාපනය කර තිබූ ඡන්ද මධ්‍යස්ථානයේදී සිය ඡන්දය භාවිත කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ඒ බව සඳහන් කළේය.
"මම හිතනවා ලංකා ඉතිහාසය වෙනස්කරන මැතිවරණයක් බවට මේ මැතිවරණය පත්වේවී. කාලාන්තරයක් තිස්සේ ආණ්ඩු හදන්න, ආණ්ඩු පෙරළන්න, ආණ්ඩු මාරුකරන්න, නායකයෝ මාරුකරන්න ඡන්ද පවත්වලා තිබෙනවා. මම හිතනවා මේ මැතිවරණය ලංකා ඉතිහාසයේ ප්‍රබලතම හැරවුම් ලක්ෂයක් දෙන මැතිවරණය බව. ඒ වගේම ජයග්‍රහණයෙන් පසුව සියලුදෙනා සාමකාමි වන ලෙසත්, ප්‍රජාතන්ත්‍රවාදයේ ගතිලක්ෂණය තමයි, ඕනෑම පුද්ගලයෙකුට තමන් කැමති දේශපාලන ව්‍යපාරයකට වැඩකරන්න, තමන් කැමති දේශපාලන ව්‍යාපාරයකට ඡන්දය ප්‍රකාශ කරන්න අයිතිය තිබෙනවා. ඒ අයිති අපි දිගටම ආරක්ෂා කළ යුතුයි."
නාමල් රාජපක්ෂ කියපු කතාව
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා මැදමුලන ඩී. ඒ. රාජපක්ෂ විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයේදී සිය ඡන්දය භාවිත කළේය.
සිය ඡන්දය භාවිත කිරීමෙන් අනතුරුව නාමල් රාජපක්ෂ මෙසේ පැවසිය.
"ඉතාමත් කෙටි කාලයක් ඇතුළත ස්වෙච්ඡාවෙන් මැදිහත්වෙච්ච බොහෝ පිරිසක් නිසා ඉතාමත් සාර්ථක මැතිවරණ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබුණා. අපි කරන්න බැරි ඒවා කියලා නැහැ, අපි බොරු කියලා නැහැ. මහත්තයා ඡන්දය ඉල්ලනවා නම් ඒකට නෝනයි, ළමයි අල්ලගෙන වැඩක් නැහැ. ඒ වගේම තමයි අපි බයේ පැනලා දුවන දේශපාලන බලවේගයක් නෙමෙයි. පැහැදිලිවම කියන්න ඕන, සමහර බොහෝ දේශපාලඥයන්ට වඩා ජනතාව බුද්ධිමත්".
දිලිත් ගේ විශ්වාසය
සර්වජන අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මිරිහාන ශ්‍රී චන්ද්‍රාරාම විහාරස්ථානයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේ දී අද (21) සිය ඡන්දය ප්‍රකාශ කළේය.
"සතුටු දැයක්" නිර්මාණය කිරීම සඳහා 2024 ජනාධිපතිවරණයේ දී දිලිත් ජයවීර ජනවරම ඉල්ලා සිටියේය.
ඡන්දය ප්‍රකාශය කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර,
"ශ්‍රී ලංකාවේ නිදහසින් පසුව, තීරණාත්මක ජනාධිපතිවරණයක් ලෙස ජනතාවට අවස්ථාවක් ලැබුණා වෙනසක් ඇති කර ගැනීමට. සම්ප්‍රදායික දේශපාලනය තවමත් මුල් බැසගෙන තිබෙන සමයක මට විශ්වාසයක් තියෙනවා මම විශාල අභියෝගයක් කළා මෙම පවතින තත්ත්වයට. එමගින් මේ රට ජනතාව ප්‍රාර්ථනා කළ වෙනස් ශ්‍රී ලංකාවක් එහෙමත් නැතිනම් තුන්වැනි ලෝකයේ සිට පළවෙනි ලෝකයට ගමනක් යන දේශපාලනයක ආරම්භයක් අපිට සනිටුහන් කරන්න අපිට පුළුවන් වුණා.."