theleaderlk 01

ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැඳවන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසා තිබිණි.


ඒ අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව ඔහුට ගත හැකි ක්‍රියාමාර්ග මොනවා ද?

මේ, ඒ පිළිබඳව ව්‍යවස්ථා කටයුතු විශේෂඥයෙකු වන ආචාර්ය ජයම්පති වික්‍රමරත්න කළ පැහැදිලි කිරීමකි.

අනුර පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් කුමක් වෙයි ද?

අනුර කුමාර දිසානායක ජනාධිපති ධූරයේ දිවුරුම් දුන් විගස පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් ඊළඟ මහ මැතිවරණය අවසන් වන තෙක් වත්මන් කැබිනට් මණ්ඩලය ක්‍රියාත්මක වන බව ආචාර්ය ජයම්පති වික්‍රමරත්න පවසයි.

“ජනාධිපති වුණු ගමන් පාර්ලිමේන්තුව විසුරුවා හැරියොත් ජනාධිපතිවරයාට සිද්ධ වෙනවා ඒ මොහොතේ ඉන්න අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය සමග වැඩ කරගෙන යන්න, මහ මැතිවරණය අවසන් වන තුරු.”

මේ වන විට දිනේෂ් ගුණවර්ධන අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් වී ඇති හෙයින් නව කැබිනට් මණ්ඩලයක් පත් කළ හැකි ය.

අනුරට අලුත් කැබිනට් මණ්ඩලයක් හදන්න පුළුවන් ද?

දිනේෂ් ගුණවර්ධන අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් වීමෙන් පසු කැබිනට් මණ්ඩලය ද අහෝසි වී තිබේ.

ඒ අනුව, අනුර කුමාර දිසානායකට අවශ්‍ය පරිදි නව කැබිනට් මණ්ඩලයක් පත් කර ගැනීමට අවස්ථාව ලැබී ඇතැයි ආචාර්ය ජයම්පති වික්‍රමරත්න පවසයි.

කෙසේ වෙතත්, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිටින්නේ තිදෙනෙකි.

ඒ, මහාචාර්ය හරිණි අමරසූරිය, විජිත හේරත් සහ අලුතින් දිවුරුම් දීමට නියමිත ලක්ෂ්මන් නිපුනආරච්චි (අනුර කුමාර දිසානායකගෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී අසුන සඳහා ලක්ෂ්මන් නිපුනආරච්චි දිවුරුම් දීමට නියමිත බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

ඒ අනුව, අනුර කුමාර දිසානායක යටතේ අග්‍රාමාත්‍ය ධූරයට කාන්තාවක පත්වීමට ද ඉඩකඩ තිබේ.

අනුර කුමාර දිසානායකට තමන් ඇතුළු සිව් දෙනාගෙන් නව කැබිනට් මණ්ඩලයක් පිහිටුවීමට හැකියාව තිබේ.

“අනුරට පුළුවන් ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් කැබිනට් මණ්ඩලයක් හදන්න විතර යි. එයාගේ දැනට තුන් දෙනෙක් ඉන්නවා. අනුර ගියා ම තව එක් කෙනෙක් එනවා පාර්ලිමේන්තුවට. එතකොට හතර දෙන යි. එතකොට ඒ හතර දෙනා අතරෙ තමයි කැබිනට් මණ්ඩලය බෙදා ගන්න වෙන්නේ,” ආචාර්ය ජයම්පති වික්‍රමරත්න පැවසීය.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු මහ මැතිවරණයක් සඳහා නාම යෝජනා භාර ගැනේ.

ඉන්පසු, සති 5 සිට 8 දක්වා කාලයක් තුළ මැතිවරණය පැවැත්විය යුතු ය.

නව පාර්ලිමේන්තුව රැස් වන දිනය පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද දිනයේ සිට මාස 3ක් ඇතුළත විය යුතු බව ද ආචාර්ය ජයම්පති වික්‍රමරත්න පවසයි.


(කුමුදු ජයවර්ධන)

බීබීසී සිංහල


(BBC සිංහල සේවය)

සබැඳි පුවත් :

2024 මහා මැතිවරණයේ කාල සටහන ! - (රජිත් කීර්ති තෙන්නකෝන්)

pe2024 2

worky sin

නවතම පුවත්