ජනාධිපති අනුර කුමාර දිසානායක යටතේ පිහිටුවනු ලබන අගමැති ඇතුළු නව කැබිනට් මණ්ඩලය අද (24) දිනයේ දී දිවුරුම් දෙනු ඇති බව වාර්තා
වේ.
අගමැති ලෙස ආචාර්ය හරිනි අමරසුරිය මන්ත්‍රීවරිය පත් කිරීමට බොහෝදුරට ඉඩ ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.
මහ මැතිවරණය පැවැත්වීමේ අරමුණින් මෙම දිවුරුම් දීම සිදුවනු ඇති බව ද එම ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.
අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරයට පත්වීමත් සමග ඔහුගෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ලක්ෂ්මන් නිපුණආරච්චි ගේ නම විශේෂ ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත්කරනු ලැබීය.
ඒ අනුව ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ජනාධිපතිවරයා ද ඇතුළුව සිව්දෙනෙකු පාර්ලිමේන්තුවේ රැඳී සිටින අතර ඔවුන්ට කැබිනට් අමාත්‍ය ධුර හිමිවනු ඇත.
මිට අමතරව දෙමල ජාතික සන්ධානයේ සුමන්තිරන් මන්ත්‍රීවරයාද කැබිනට් මණ්ඩලයට පත් කිරීමට නියමිතව ඇතැයි ද දේශපාලන ආරංචිමාර්ග පවසයි.
නව පාර්ලිමේන්තුව තේරී පත්වන තෙක් මෙම කැබිනට් මණ්ඩලය එම ධුරවල කටයුතු කිරීමට නියමිතය.
කෙසේවෙතත් අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමෙන් පසු ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් කැබිනට් මණ්ඩලය රැස්කර පාර්ලිමේන්තු මැතිවරණයක් සඳහා මුදල් වෙන්කර ගැනීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ප්‍රථම තවත් නව අමාත්‍යංශ ලේකම් ධුර කිහිපයක් පිරි නැමීමට ද නියමිතව තිබේ.
ඒ අනුව පවතින තත්ත්වය හමුවේ අද මධ්‍යම රාත්‍රියේ දී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය නිකුත් කිරීමට වැඩි ඉඩකඩක් පවතින බව ද සඳහන්ය.