හොරකම වංචාව දූෂණය නැති කරනවා යන ප්‍රකාශයෙන් ඔබ්බට ආර්ථික දේශපාලන ක්රමයේ පූර්ණ පරිවර්තනයක් පිළිබඳ අදහසක් අනුර කුමාර ප්රමුඛ මාලිමාව ප්‍රකාශ
නොකළ බව ජන අරගල සන්ධානයේ නුවන් බෝපගේ පැවසී ය.
හෙතෙම මෙලෙස පැවසුවේ ඊයේ (23) කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී ය.
ඔවුන් මෙම මාධ්‍ය හමුව පැවැත්වූයේ 2024 ජනාධිපතිවරණ ප්‍රතිඵලය සහ ඉන් පසුව වන දේශපාලන තත්ත්වය පිළිබඳව සහ ජන අරගල සන්ධානයේ ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීම පිණිස ය.
එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ ජන අරගල සන්ධානයේ නුවන් බෝපගේ,
ජනතාවට ජයග්‍රහණය ළඟා කර ගත හැකිවන්නේ කෙසේ ද?
දෙදහස් විසිහතරෙ ජනාධිපතිවරණ ප්‍රතිඵල නිකුත් වෙලා නව ජනාධිපති විදිහට පත්වෙලා ඉන්නෙ අනුරකුමාර දිසානායක. මැතිවරණය තුළදී යම් තරමින් හෝ නියෝජනය වෙන්නේ ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතිය. අපි දන්නවා දෙදහස් පහළවේ ජනාධිපතිවරණයේ දී යහපාලනයක් වෙනුවෙන් වංචාව දූෂණය නැති කිරීම වෙනුවෙන් සමාජය තුළ විශාල සාකච්ඡාවක් ඇති වුණා. අපි එදත් ජනතාවගේ ඒ අභිලාෂවලට ගරු කළා. හැබැයි අපි එදත් අවධාරණය කරපු දේ තමයි මේ පවතින දේශපාලන ආර්ථික ක්‍රමවේදය වෙනස් කිරීම ඇතුළෙ තමයි ජනතාවට ජයග්‍රහණය ළඟා කරගන්න පුළුවන් කියලා. අවසානයේ දී ජනතාව බලයට ගෙනාව දේශපාලන තන්ත්රය ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරේ නෑ.
පවතින ක්රමයේ පක්ෂපාතිත්වය
දෙදහස් දහනමයෙ ජනාධිපතිවරණයේ දී විශාල වශයෙන් කතාවුණේ විනයගරුක පාලනයක් මගින් රටේ ප්‍රශ්න විසඳගන්න පුළුවන් කියන ජනතාවගේ බලාපොරොත්තුව. අපි ජනතාවගේ ඒ අභිලාෂයට ගරු කරා. තාප්පවල චිත්‍ර පවා අඳිමින් ඒ වෙනස තමන් තුළින් පවා ඇතිකරගන්න ජනතාව දැරූ උත්සහය අපි දැක්කා. හැබැයි අපි ඒ වෙලාවෙත් කිව්වේ ජනතාවට සැබෑ ජයග්‍රහණයක් දිනාගන්න පුළුවන් වෙන්නෙ ආර්ථික දේශපාලන ක්‍රමය වෙනස් වීම මත පමණයි කියල. මොකද අපි දන්නවා මේ පවතින දේශපාලන ආර්ථික ක්‍රමය හැමවෙලාවෙ ම පක්ෂපාතී වෙන්නේ ධනකුවේරයන්ට. ජනතාවට ජයග්‍රහණය අත්කර දෙන්න මේ පවතින ක්‍රමයට පුළුවන් කමක් නෑ. වසර දෙකක් යන්නත් කලින් අපි කිව්ව දේ නිවැරැදි බව ඔප්පු වුණා. මේ ක්‍රමය මගින් ජනතාවට එල්ල කළ පීඩනයට එරෙහිව ජනතාවට පාරට බහින්න වුණා.
දේශපාලන සිතියම වෙනස් කළ අරගලය
ඒ ජනතා අරගලය පැහැදිලිවම මේ රටේ දේශපාලන සිතියම වෙනස් කරන්න බලපෑව බව අපි දන්නවා. ගෝල්ෆේස් සටන් පාඨ සියල්ල ම නියෝජනය කරේ ජනතාවගේ ඒ පරමාර්ථ. දෙසිය විසිපහ ම එපා ! හොරා කෑව සල්ලි දියව් ! බලය දියවන්නාවෙන් එළියට ! විධායකය එපා ! බඩු මිළ - බදු බර පහත හෙළනු ! මේ සියලු සටන් පාඨවල නියෝජනය වෙන්නේ ආර්ථික දේශපාලන ක්‍රමය වෙනස් වෙන්න ඕන කියන ඉල්ලීම. මේ ජනාධිපතිවරණ තුළ දි ජනතාවට අවශ්‍ය වුණේ ඔවුන් ඉල්ලා සිටි ඒ දේශපාලන ආර්ථික වෙනස ඇති කිරීම. ඔවුන් ඡන්දය භාවිතා කරේ ඒ වෙනුවෙන්. මෙතෙක් පැවති සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ සහ නායකයින් ප්‍රතික්ෂේප කරලා වෙනස්ම මාර්ගයක් ඔස්සේ ඒ අපේක්ෂාව ඉටු කරගැනීමට තමයි ජනතාව මේ සූදානම් වෙන්නේ. අපි වෙනදා වගේම ඒ ජනතාවගේ අභිලාෂවලට ගරු කරනව. හැබැයි මේ මැතිවරණය ඇතුළෙ අපි දැක්ක දේ තමයි හොරකම වංචාව දූෂණය නැති කරනවා කියන කතාවෙන් ඔබ්බට ආර්ථික දේශපාලන ක්රමයේ පූර්ණ පරිවර්තනයක් ගැන කතාවක් අනුරකුමාර ප්රමුඛ මාලිමාව ගත්තෙ නෑ.
මීට කලිනුත් මේ රටේ නව පරිවර්තනයක් කරන්න කියලා ආව දේශපාලන පක්ෂ එකක්වත් මේ ආර්ථික ක්‍රමය දේශපාලන ක්‍රමය වෙනස් කරන්න කැප වුණේ නෑ; ජාතික ගැටලුවට නිශ්චිත විසඳුමක් දෙන්න කැප වුණේ නෑ. ඒ නිසා මේ මැතිවරණය තුළින් ජයග්‍රහණය කළ පාර්ශවයත් ඒ සඳහා කටයුතු කරයි කියලා අපිට පූර්ව නිගමනයකට එන්න පුළුවන් කමක් නෑ.
පෙනෙන සතුරා සහ නොපෙනෙන සතුරා
පහුගිය කාලේ ඉඳල ම අපි මේ රටේ දැකපු ප්‍රධාන සතුරෙක් හිටියා. ඒ තමයි රනිල් වික්‍රමසිංහ. අපි දැකපු ඒ සතුරා මේ මැතිවරණය තුළ පරාජය වුණා. ඒක ජනතාවගේ ජයග්‍රහණයක්. අපිට පෙනෙන සතුරා රනිල් වික්‍රමසිංහ වුනාට ඔහුව මෙහෙයවන ඇත්තම සතුරා තමයි අයි එම් එෆ්, ඉන්දියානු ආර්ථික උපාය, ඇමරිකානු වටලෑම් යනාදි දේවල්. හැබැයි මේ මැතිවරණ ව්‍යාපාරය තුළ අනුර හෝ සජිත් එම සතුරා ගැන කෙළින් වේදිකාවල කතාකරන්න පැකිළුණා. ඒ නිසා ඔවුන් ඒ සතුරා සමග ඉදිරියේ දී කටයුතු කරන විදිහ ගැන අපි ඉන්නෙ අවධානයෙන්. මොකද අපි දන්නවා අයි එම් එෆ් වැඩපිළිවෙළ එක්ක, ඉන්දියානු මැදිහත් වීම් එක්ක යන ගමනක් ජනතාවට පක්ෂපාතී වෙන්නෙ නෑ.
අනිත් කාරණය තමයි මේ ජනාධිපතිවරණයේ දී උතුරේ ප්රශ්නය ගැන, වතුකරයේ දෙමළ ජනතාව ගැන දේශපාලන පක්ෂ දක්වපු ආකල්පය. ජාතික ගැටලුවලට නිශ්චිත විසඳුමක් ඉදිරිපත් කරනවා වෙනුවට අපි දැක්කේ ඡන්ද දිනාගැනීමේ තරගයක් විතරයි. හැමෝටම තිබුණේ උතුරට එක කතාවක් කියන ගමන් දකුණට තව එකක් කියන ප්‍රතිපත්තියක්. ඒ ජනතාවගේ අයිතිවාසිකම් ගැන සාකච්ඡාව මේ මැතිවරණය තුළ ප්‍රදර්ශනය වුණේ නෑ... අපි හිතනවා උතුරේ මැතිවරණ ප්‍රතිඵල තුළ පිළිබිඹු වුණේ ඔවුන්ව රැවටීමට එරෙහි විරෝධය.
අපි කරේ නැත්තං අපිවත් යවන්න
පාර්ලිමේන්තු මැතිවරණයක් එන්න නියමිතයි; ඒ මැතිවරණය තීරණාත්මකයි. අපි මුලින් කතාකරපු ආර්ථික ප්‍රශ්න, දේශපාලන ප්‍රශ්න මෙතනින් එහාට විසඳෙන්නෑ. ඒ ප්‍රශ්න එද්දි පාර්ලිමේන්තුව ඇතුළෙ ජනතාව වෙනුවෙන් සටන් කරන්න ජනතාවගේ නියෝජනයක් පාර්ලිමේන්තුව ඇතුළෙ තියෙන්න ඕන. ඡන්ද ප්‍රතිඵලවලින් පස්සෙ ගොඩක් වෙලාවට වෙන්නෙ ජනතාව නිශ්ක්‍රීය වෙන එක. ජයග්‍රහණය කළ පාර්ශ්වය පවා ‘අපි කරේ නැත්තං අපිවත් යවන්න’ වගේ කතාවක් තමයි කියන්නේ. ජනතාව සක්‍රීයව දේශපාලනයට සම්බන්ධ කරගන්න ක්‍රමවේදයක් කාටවත් නෑ. අපිට මේ වෙලාවේ දුන්න ඡන්දය ඉතාම වැදගත්. ඒ ප්‍රතිඵල අපිට ලබා දුන්න ජනතාව එක්ක ඒ වැඩපිළිවෙළ ජයග්‍රහණය කරවීමේ සටනක් අපි ඉස්සරහ තියනවා. ජනතාව දිගින් දිගටම ප්රජාතන්ත්රවාදය අභ්‍යාස කරන්න ඕන. අපි ඒ සඳහා ජනතාව දැනුවත් කරනවා. ඒ සඳහා අපේ දේශපාලන වැඩපිළිවෙළ මේ රටේ සියලු ජනතාව වෙත ගෙනියන්න ඕන. ඉදිරියේදී ඒ වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න අපි සූදානම් වෙමින් ඉන්නේ.
(සටහන - ජයසිරි අලවත්ත)