2022 මහජන අරගලයේ අභිලාෂ වෙනුවෙන් ජාතික ජනබලවේගයේ දේශපාලන වැඩපිළිවෙළ ඉක්මවා ගිය ජනතා අපේක්ෂාවක්
ජනාධිපතිවරණයේ දී ප්‍රකාශයට පත් වී ඇති බවපෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් පවසයි.
කුමාර් ගුණරත්නම් මෙම අදහස ප්‍රතාශ කළේ 2024 ජනාධිපතිවරණය, එහි ප්‍රතිඵල සහ ඉදිරි දේශපාලන තත්ත්වය පිළිබඳව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අදහස පැහැදිලි කිරීමේ අරමුණින් අද (24 ) දින නුගේගොඩ මාධ්‍යය හමුවේ දී ය.
එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් ලේකම් කුමාර් ගුණරත්නම්...
ජනතා අපේක්ෂාව හොරු ඇල්ලීම පමණ ද?
“ජනාධිපතිවරණය අවසන්. නව ජනාධිපතිවරයෙක් තේරීපත් වෙලා ඉන්නවා. පැරණි සම්ප්‍රදායික දේශපාලන පක්ෂ රටේ ජනතාවගෙන් ප්‍රතික්ෂේප වීමක් දකින්න පුළුවන්. ඒක ලංකාවේ දේශපානයේ නව බලාපොරොත්තුක් විදිහට අපි දකිනවා. මේ ප්‍රතිඵලයට පසුගිය කාලේ රටේ ඇතිවුණු ආර්ථික දේශපාලන අර්බුදය බලපෑවා. මේ අර්බුදයේ වැඩි වගකීමක් මේ රටේ සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ සතුයි. එහි යම් තාර්කික අවසානයක් විදිහට තමයි දෙදහස් විසි දෙකේ ජනතා නැගිටීම සිදු වුණේ. දෙදහස් විසි හතරෙ ජනාධිපතිවරණ ප්‍රතිඵලයත් එහි ම යම් දිගුවක් විදිහට දකින්න පුළුවන්.
අපි දන්නවා ගෝල්ෆේස් අරගලය අවසන් වුණේ යම් අපේක්ෂා ප්‍රමාණයක් එක්ක. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, නව ව්‍යවස්ථාවක් දිනාගැනීම, බදු ක්‍රමය වෙනස් කිරීම, ජනමත විචාරණ කැඳවීමේ බලය ජනතාව සතු කිරීම, දූෂිත පාලන තන්ත්රය අවසන් කිරීම ඇතුළු ජනතාවගේ අභිලාෂ පහුගිය කාලේ මර්දනය කරන්න, යට කරන්න ආණ්ඩුව ලොකු උත්සහයක් ගත්තා. හැබැයි මේ මැතිවරණ ප්‍රතිපල ඔස්සේ එළියට ඇවිත් තියෙන්නෙ ඒ අපේක්ෂාව. විශේෂ කාරණය තමයි, මාලිමාව ඉදිරිපත් කරපු ආර්ථික දේශපාලන වැඩපිළිවෙළ ඉක්මවා ගිය ජනතා අපේක්ෂාවක් තමයි ප්‍රකාශයට පත් වී තියෙන්නෙ.
ඒක නිසා අපි හිතනවා ජනතාවගේ අපේක්ෂා ඉටු කිරීම සම්බන්ධයෙන් මේ අලුත් ආණ්ඩුවට විශාල අභියෝගයක් තියන බව. අපි දන්නවා පහුගිය කාලෙ ම ලොකු කතාබහක් ඇති වුණා දූෂණය නැවැත්වීම ගැන, හොරු ඇල්ලීම ගැන. ඒවා වෙන්න ඕන. හැබැයි ජනතාව බලාපොරොත්තු තියාගෙන ඉන්නෙ එතනින් එහාට ගිය ආර්ථික දේශපාලන ප්රතිසංස්කරණයක් ගැන.
වාණිජ මණ්ඩලයේ අරමුණ කුමක් ද?
වාණිජ මණ්ඩලය අද ප්‍රකාශයක් නිකුත් කරල තිබුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි ඉටු කරන්න, ආර්ථික පරිවර්තන පනත ක්රියාවේ යොදවන්න, විදුලිබල පනත ක්රියාවේ යොදවන්න යනාදි ඉල්ලීම් දහයක් මේ ප්‍රකාශයට ඇතුළත්. එතකොට අපිට පේන්නෙ නව ජනාධිපති පත් වූ මොහොතේ සිට ම දැන් මේ සුපිරි ව්‍යාපාරික පැළැන්තිය සූදානම් වෙන්නේ මේ රටේ ජනතාව බෙල්ල මුලට හිර කරන තමන්ගේ ප්‍රතිපත්තිය කොහොම හරි ක්‍රියාත්මක කරගන්න. පහුගිය කාලේ රනිල් වික්‍රමසිංහ යටතේ සම්පූර්ණ කරගන්න බැරි වෙච්ච ව්‍යුහාත්මක වෙනස්කම ඉටු කරගැනීම තමයි මොවුන්ගේ අපේක්ෂාව.
මේ මැතිවරණය හමුවේ අපේ පණිවුඩය වුණේ අයි එම් එෆ් එක මැදිහත් වෙන්නේ ජනතාවට සහනයක් අරං දෙන්න නෙවෙයි කියන කාරණය. අයි එම් එෆ් වගේ ආයතන හැමවෙලාවෙ ම මැදිහත් වුණේ ලංකාව ණය උගුලක හිර කරන්න. මූල්‍ය අරමුදලේ වුවමනාව ජාත්‍යන්තර චෞර ධනකුවේර පැළැන්තිය ආර්ක්ෂා කිරීම. ඒක නිසා තමයි අපි අයි එම් එෆ් ප්‍රතික්ෂේප කරමින් යන ගමනක් යෝජනා කරේ.
රාජ්‍යය ආගමෙන් ඈත් විය යුතුයි
ජාත්‍යන්තර ණය දීමේ කොන්දේසි පවා අනුගමනය නොකරමින් බලහත්කාරයෙන් අපි මත පටවන ලද ණය තියනවා. සමහර රටවල දේශපාලන වුවමනාවලට දීපු ණය තියනවා. අපි දන්නවා පහුගිය කාලේ රාජපක්ෂලගේ ප්‍රතිරූපය වර්ධනය කිරීමේ අරමුණෙන් අනවශ්‍ය ව්‍යාපෘති සඳහා ණය ගත්තා. එතකොට මේ ණය දීපු රටවල් එක්ක ඍජුව අපි කතාකරන්න ඕන. මොන පදනම් මත ද මේ ණය දුන්නේ ? ඒ ණයවලින් අදාල කාර්යයන් ඉටු වුණාද කියලා නිරීක්ෂණය කරා ද? වගේ කාරණා ගැන ඒ රටවල් එක්ක අපි කතාකරන්න ඕන. එහෙම කතාකරලා ජනතාවට ප්‍රතිලාභයක් නොලැබුණු ණය නැවත නොගෙවා සිටීමට අදාළ මැදිහත් වීමක් අපිට කරන්න පුළුවන්. ඒ වෙනුවෙන් වූ අරගලයක් ඉදිරියේ දී ජනතාවට තියනවා සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය විදිහට අපි ජනතාව එක්ක දිගට ම කටයුතු කරනවා.
පහුගිය ජනාධිපතිවරණය තුළ මැතිවරණ වේදිකාවේ බොහෝ අගතිගාමී විවේචන එල්ල කරනවා අපි දැක්කා. විශේෂයෙන් ස.ජ.බ. එක්ක ඉන්න දේශපාලන කණ්ඩායම් අසු අට අසූ නමය ගැන විවිධ දේවල් කිව්වා. අනාගාමී රාජ්‍ය ගැන විවිධ මඩ ප්‍රචාර ගෙනිච්චා. මේ හරහා මොවුන් උත්සහ කරේ ලංකාවේ සමාජයෙන් ක්‍රමයෙන් ඈත්වෙන පසුගාමී චින්තනය නැවත නැවත මතුකරගන්න. වර්තමාන ලිබරල් ප්රජාතන්ත්රවාදය තුළ පවා අනාගාමික රාජ්‍ය ක්‍රමය පිළිගන්නවා. රාජ්‍යය ආගමෙන් ඈත් විය යුතුයි කියන සංකල්පය අද ලෝකයම පිළිගන්නවා. නමුත් මේ චෝදනා මේ සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය, කිසි ම ප්‍රතිචාරයක් නොදැක්වීම ගැන විවේචනයක් අපිට තියනවා.
කෙසේවෙතත්, එවැනි කණ්ඩායම්වල අගතිගාමී විවේචන ප්‍රතික්ෂේප කරමින් රටේ ජනතාව කටයුතු කිරීම ලංකාවේ දේශපාලනයේ සුවිශේෂ හැරවුමක් විදිහට අපි දකිනවා. ඒ නිසා ඒ ප්රතිගාමී දේශපාලන උත්සාහවලට හසු නොවුණ ජනතාව එක්ක අපිට කරන්න දේශපාලනයක් ඉස්සරහට තියනවා. අපි ඒ සඳහා ඉදිරියේදී පූර්ණ වශයෙන් මැදිහත් වෙනවා. ඒ එක්කම පසුගිය මැතිවරණයයේ දී අපි ඉදිරිපත් කරපු දේශපාලන-ආර්ථික වැඩපිළිවෙළ දිනවීම සඳහා අපි කැප වෙනවා.’’
(සටහන - ජයසිරි අලවත්ත)