theleaderlk 01

අභිනව ජනාධිපතිවරයාට ඉදිරියේදී සහාය ලබා දීම සම්බන්ධයෙන් සලකා බැලීම සඳහා දෙමළ ජාතිය පිළිගන්නා දේශපාලන විසඳුමක්

වෙනුවෙන් ඇති කැපවීම ක්‍රියාකාරීව පෙන්නුම් කරන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන දෙමළ දේශපාලන පක්ෂයක් කොන්දේසි පනවා තිබේ.

සුළුතර ඡන්දයකින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා ලෙස පත්වූ පළමු ජනාධිපති වන අනුර කුමාර දිසානායක ජනාධිපති ලෙසින් පැවැත්වූ පළමු කතාවේදීම තමන්ට සහාය නොදුන් බහුතරයෙන්ද උදව් ඉල්ලා සිටියේය.

දෙමළ ජාතික ජනතා පෙරමුණේ (TNPF) නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් සැප්තැම්බර් 23 වැනිදා කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් දැනුම් දී තිබුනේ නව ජනාධිපතිවරයා ෆෙඩරල් පාලන ක්‍රමයක් වෙනුවෙන් කැපවීමට සුදානම් නම් සිය සහයෝගය ඔහුට ලබා දීම ගැන සලකා බැලිය හැකි බවයි.

"දෙමළ ජනතාවට පිලිගන්න පුළුවන් වු දේශපාලන විසදුමක්, විශේෂයෙන්ම ෆෙඩරල් ක්‍රමය දිහා කැපවීමක් පෙන්නන්න ඕන කියලා අපි උවමනාවෙන් දිසානායක මහත්මයාගෙන් ඉල්ලා සිටින්න කැමතියි. එහෙම එතුමා ඒ ක්‍රියාමාර්ගයට විශ්වාසයෙන් ක්‍රියා කරන්න සුදානම් කියලා අපිට දැනුනා නම් අපේ සහයෝගය අනිවාර්යෙන්ම ඒ ක්‍රියා මාර්ග වලට තියෙයි කියන මේ අවස්ථාව අරගෙන අපි එතුමාටත් එතුමාගේ පක්ෂයටත් එතුමාගේ ජන්දය දුන්න ජනතාවටත් අපි කියන්න කැමතියි."


ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක සැප්තැම්බර් 23 වැනිදා  පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඉදිරියේ දිමෙන් අනතුරුව තමන්ගේ ජයග්‍රහනය සදහා ඡන්දය දුන් ජනතාවගේ මෙන්ම නොදුන් ජනතාවගේ ද සහාය අයැද තිබුනි.


"අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියක් තුළින් මාව ජනාධිපති ලෙස තෝරා පත්කරගෙන සිටිනවා. ඒ තෝරා පත්කර ගැනීම සඳහා ජනතාව මා වෙත ඡන්දය ලබාදී තිබෙනවා. මට ලබා නොදුන් ඡන්ද ප්‍රමාණයකුත් තිබෙනවා. ඒ නිසා ජයග්‍රහණයේ සංයුතිය සහ ප්‍රමාණය පිළිබඳව අපට ඉතා හොඳ අවබෝධයක් තිබෙනවා. ඒ නිසා මාගේ පාලන කාලය තුළ මට පැවරී තිබෙන කාර්යභාරය, අපට ඡන්දය නොදුන්, අපව විශ්වාස නොකරන අයගේ සහයෝගය ලබා ගැනීම සහ විශ්වාසය දිනා ගැනීම. ඒ කාර්යය සාර්ථකව සිදුකළ හැකියි කියන දැඩි විශ්වාසය අපට තිබෙනවා. ඉදිරියේදී මේ සියල්ල ප්‍රායෝගිකවත් අත්විඳින්න හැකිවේවි. ඒ සඳහා සියලු දෙනාගේ සහයෝගය අපේක්ෂා කරනවා.”


මෙවර ජනාධිපතිවරණයේ දී උතුරු නැගෙනහිර ජනතාව ලබා දී ඇති පනිවිඩය තේරුම් ගන්නා ලෙස නව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි  TNPF නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් තව දුරටත් ඔහුට අවධාරණය කර සිටියේ දකුණේ ජීවත්වන ජනතාවට වසර 75 ට වැඩි කාලයක් දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් දකුණේ නායකයන් දුන් බොරු පොරොන්දු සියල්ල එළිදරව් කරමින් දෙමළ ජනතාවට පිලිගත හැකි දේශපාලන විසදුමක් වෙනුවෙන් කැපවන ලෙසයි.


සැප්තැම්බර් 21 වැනි සෙනසුරාදා පැවැති ජනාධිපතිවරණයේ දී  ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක 43.1% ක් වූ ඡන්ද 5,740,179 ක් ලබාගනිමින් ඡන්ද 4,530,902 ලද සජිත් ප්‍රේමදාස පරදවා ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට තේරී පත්වු නමුත් උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ මෙන්ම මලය රටේත් වැඩි ඡන්ද ප්‍රමාණයක් දිනා ගැනීමට සමත් වී තිබුනේ වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසයි.

දෙමළ අභිලාෂයන් වෙනුවෙන් ජනාධිපතිවරණයේ තරග වැදුණු පාක්‍යසෙල්වම් අරියනේත්‍රන් ඡන්ද 226,343ක් ලබා අපේක්ෂකයන් 38 දෙනකු අතරින් ශ්‍රී ලංකාවේම පස්වැනි තැනට පැමිණ සිටී.

ඔහු වෙනුවෙන් සිය ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ (ITAK) ද මතය නොතකා කටයුතු කළ සිවාඥානම් ශ්‍රීධරන් මන්ත්‍රීවරයා නව ජනාධිපතිවරයාට සුබ පතමින් අලුත් ආණ්ඩුව උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ට කරමින් ‘සුපුෂ්පිත’ වනු ඇති බවට විශ්වාසය පල කරයි.

“රටේ දේශපාලන හා ආර්ථික අර්බුදය සමහන් කිරීමේ අභියෝගයට මුහුණ දීමට සූදානම් වන අතරම ඊළාම් දෙමළ ජනතාවගේ දේශපාලන අභිලාෂ අවබෝධ කරගත් ජනතා නායකයකු ලෙස ජාති වාදයෙන් තොර ලංකාදීපයක්  බිහි කිරීම සඳහා දේශපාලන වශයෙන් සංවේදී ක්‍රියාමාර්ග ගනිමින් ඊළාම් දෙමළ ජනතාවගේ මූලික අයිතිවාසිකම් තහවුරු කරමින් ඔබේ ආණ්ඩුව සුපුෂ්පිත වනු ඇතැයි බලාපොරොත්තු වෙමින් ඔබේ ජයග්‍රහණයට සුබ පැතුම් එක්කරමි,” යි ශ්‍රීධරන් මන්ත්‍රීවරයා නිකුත් කළ නිවේදනයක දැක්වේ.


ඒකීය රාජ්‍යයක් තුළ රටේ බහුතර ජන වර්ගය වෙනුවෙන් පමණක් කටයුතු කිරීම සඳහා රාජ්‍ය නායකයකු තෝරා ගන්නා කටයුතු කරන ජනාධිපතිවරණය දෙමළ ජනතාව විසින් වර්ජනය කළ යුතුයයි දෙමළ ජාතික ජනතා පෙරමුණ (TNPF) මෙවර ජනාධිපතිවරණ සමයේ දී උතුරු නැගෙනහිර දෙපළාතේ ගෙන්ගෙට ගොස් දෙමළ ජනයාගෙන් ඉල්ලා තිබුනි.

 

pe2024 2

worky sin

නවතම පුවත්