theleaderlk 01

නව ජනමාධ්‍ය ඇමති විජිත හේරත් විසින් ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට සහ සීමාසහිත එක්සත් ප්‍රවත්ති
පත්‍ර සමාගම සඳහා නව සභාපතිවරු සිව් දෙනකු පත් කර තිබේ.

ඒ අනුව ජාතික රූපවාහිනියේ සභාපති ලෙස ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනේෂ් දිසානායක බණ්ඩාර පත් කර ඇති අතර ස්වාධීන රූපවාහිනිය සඳහා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රියන්ත වෙදමුල්ල පත් කර තිබේ.

එමෙන්ම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදිත ගයාෂාන් පත් කර ඇති අතර සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස ගාමිණී වරුෂමාන පත්කර ඇත.


ජාතික රූපවාහිනියේ සභාපති ලෙස පත් කර ඇති ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනේෂ් දිසානායක බණ්ඩාර, චිත්‍රපට සහ ටෙලිවිෂන් වැඩසටහන් අධ්‍යක්ෂකවරයෙක්, තිරරචකයෙකි. එමෙන්ම ඔහු ජනසන්නිවේදනය වෙනුවෙන් ශාස්ත්‍රවේදී, ශාස්ත්‍රපති සහ දර්ශනසූරී උපාධිධාරියෙකි.

ස්වාධීන රූපවාහිනිය සඳහා පත් කර ඇති ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රියන්ත වෙදමුල්ල, විශේෂාංග ලේඛකයෙක්, ජනමාධ්‍යවේදියෙක්, වැඩසටහන් නිෂ්පාදකවරයෙක් සහ අධ්‍යක්ෂකවරයෙකි. එමෙන්ම ඔහු ජාත්‍යන්තර සබඳතා තුළ දේශපාලන විද්‍යාව වෙනුවෙන් ශාස්ත්‍රවේදී විශේෂ උපාධිධාරියෙකු වන අතර සංචාරක ආර්ථික විද්‍යාව සහ හෝටල් කළමනාකරණය වෙනුවෙන් වූ ශාස්ත්‍රපති උපාධිධාරියෙකි. මේ වනවිට ඔහු කළමනාකරණය වෙනුවෙන් ආචාර්ය උපාධියටද සූදානම් වෙමින් සිටී.

මේ අතර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට පත් කර ඇති කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු වන උදිත ගයාෂාන් කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව සහ ලලිත කලා අධ්‍යයන අංශයේ පීඨාධිපති ලෙස කටයුතු කර තිබේ. ඔහු ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමයේ හිටපු සභාපතිද වේ.

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්කර ඇති ගාමිණී වරුෂමාන, කැලණිය විශ්වවිද්‍යාලයයේ විද්‍යාවේදී උපාධිධාරියෙකි. ඔහු ලේක්හවුස් ආයතනයේ සන්ඩේ ඔබ්සවර් පුවත්පතේ මාණ්ඩලික මාධ්‍යවේදියෙක් ලෙස වෘත්තිය ජීවිතය ආරම්භ කරමින් විශ්ලේෂකයෙකු, පර්යේෂකයෙකු ලෙස ආයතන ගණනාවක සේවය කර තිබේ.

කැලණිය විශ්වවිද්‍යාලයෙන් ජන සන්නිවේදනය සදහා ශාස්ත්‍රපති උපාධිය සහ කොළඹ විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව සදහා ශාස්ත්‍රපති උපාධිය ලබා ඇති වරුෂමාන  ජන ලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ගැමිදිරිය වැඩ සටහන ආදිය ආයතන ගණනාවක පරිපාලන සහ පර්යේෂන අත්දැකීම් සහිත නිලධාරියෙකි.

pe2024 2

worky sin

නවතම පුවත්