මේ වසරේ ( 2024) ආරම්භයේදී අපේක්ෂා කළ ඉලක්ක ඉක්මවා ගිය ආර්ථික වර්ධනයක් වසර අවසානය වන විට සිදුවනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති
ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ ඊයේ (27) ප්‍රකාශ කළේය.
කොළඹ කොටුව පිහිටි ශ්‍රී ලංකා මහ බැංකු මූලස්ථානයේ අද (27) දහවල් පැවැති විශේෂ මාධ්‍ය හමුවට සහභාගි වෙමින් හෙතෙම මේ බව කීය.
මේ වසරේ දෙවෙනි කාර්තුවේදී මෙරට ආර්ථිකය 4.7% වර්ධනය වී ඇතැයි කී මහ බැංකු අධිපතිවරයා, මේ වසරේ පලවෙනි කාර්තුවේදී 5.3% ක වර්ධනය තිබු බව කියා සිටියි.
මේ වසර ආරම්භයේදී මෙරට ආර්ථිකය 3.0% වර්ධනය වනු ඇතැයි ඉලක්කකට තිබිණි. එය මෙය වන විට සියයට හතර ඉක්මවා යෑම පෙන්නුම් කරනුයේ ඉදිරියේදී වඩාත් ධනාත්මක වර්ධනයක් අපේක්ෂා කළ හැකි බව යයි ද මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේය.
වසර 2022 මුල් කාර්තුවේ සිට අඛණ්ඩව කාර්තු හයක් මෙරට ආර්ථිකය ඍණ අගයකින් වර්ධනය විය. එම සෘණාත්මක තත්ත්වයන්හි පැවැති වර්ධනය ධනාත්මක වීමට ඇරඹියේ වසර 2023 දෙවැනි කාර්තුයේ මුල පටන්ය.
මෙලෙස කාර්තුවෙන් කාර්තුව මෙරට ආර්ථිකය ධන වර්ධනයක් අත් කර ගැනීම කෙරෙහි බැංකු හා මූල්‍ය පද්ධතියෙන් ලබාදෙන සහයෝගයෙන් ඉහළ යෑම, පොලී අනුපාත අඩුවීම, උද්ධමනය පහළ අගයක් ගැනීම බලපා ඇතැයි ද ඔහු සඳහන් කළේය.
ඉදිරියේදී රටේ නිෂ්පාදන ක්ෂේත්රයේ ඇණයුම්වල වර්ධනයක් පිළිබිඹු වන දර්ශකවල වර්ධනයක්, ණය ප්රසාරණයේ වර්ධනයක්, පොලී අනුපාත සහ උද්ධමනයේ පහළ යෑමේ දිශානතියක් පෙන්නුම් කිරීම අපේක්ෂා කළ හැකි බවද මහ බැංකු අධිපතිවරයා මෙම මාධ්‍ය හමුවේදී පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ ගනු ලැබූ තීරණ සමග ඉදිරියේදී තවදුරටත් ණය පොලී අනුපාත අඩුවීම, උද්ධමනය සියයට එකට අඩුවෙන් පැවතීම, නව ආයෝජන දිනා ගැනීමට හැකිවීම ආර්ථිකය සාධනීය ලෙස ඉහළ යනු ඇත
(ජේ. මුණසිංහ)