ශ්‍රී ලංකාව පුරා හමු වී ඇති සමූහ මිනීවලවල් සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් පවත්වා ජනතාවට සත්‍ය හෙළි කරන ලෙස වාමාංශික පක්ෂයක් බලයට පත් නව
ජනපති ප්රමුඛ ආණ්ඩුවට බල කර සිටී.
නව සම සමාජ පක්ෂයේ ජනාධිපතිධුර අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වී සැප්තැම්බර් 21 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් රට පුරා දහතුන් දහසකට ආසන්න පිරිසකගේ ඡන්දය දිනා ගත් ප්‍රියන්ත වික්‍රමසිංහ සැප්තැම්බර් 26 වැනිදා කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් පසුගිය කාලය තුලදී උතුරේත්, දකුණේත් අලුතින් සමුහ මිනි වලවල් හමු වු බව සිහිපත් කර දුන්නේය.
“අපිට නිශ්චිතව එක කාරනාවක් කියන්න පුළුවන්. අපි දන්නවා පසුගිය කාල පරිච්ඡේදය පුරාවට උතුරෙත්, දකුනෙත් සමුහ මිනි වලවල් හමුඋනා. ඒ කියන්නේ මේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්නයක් තියනවා. අපි දන්නවා දැන් ඒ සම්බන්ධව හැම තැනම උද්ඝෝෂණ මතු වෙනවා. සැප්තැම්බර් මාසයේ මානව හිමිකම් කවුන්සිලය රැස් වෙනවා. දැන් ඒකටත් මේ සම්බන්ධව කරුණු ඉදිරිපත් වෙලා තියනවා.”
කොළඹ වරාය දක්වා දිවෙන අලුතින් ඉදිවෙන අධිවේගි මාර්ගයේ ඉදිකිරිම් කටයුතු සඳහා පොළොව හාරමින් සිටියදී 2024 ජුලි මස 13 වැනිදා පළමු වරට කොළඹ වරායේ පිහිටි පැරණි ලේකම් කාර්යාලය පරිශ්‍රයෙන් මිනිස් අස්ථි කොටස් හමු වී තිබු ආකාරය සිහිපත් කරමින් ප්‍රියන්ත වික්‍රමසිංහ නව ආණ්ඩුවට බලකර කියා සිටියේ කඩිනමින් ඒ සම්බන්ධයෙන් වහාම මැදිහත් වන ලෙසයි.
“දැන් අපිට පේනවා, මාතලේ වගේ දකුණු පළාතේ ප්‍රදේශයක, ඒ වගේම සුරිය කන්ද, වගේ ප්‍රදේශවල සමුහ මිනි වලවල් හමුඋනා. මෑතක අපිට හමු වෙලා තියනවා වරාය භුමියේ. අධිආරක්ෂිත කලාපයක. ඒ ගොඩනැගිල්ලක් ආශ්‍රිතව සමුහ මිනි වලක් හමුවෙලා තියනවා. මේක සාමාන්‍ය සුසාන භුමියක් හැටියට සලකන්න බැරි මොකද හිස් නැති ඇට කටු පවා හම්බවෙලා තියනවා. ඒ නිසා අපි ආණ්ඩුවට තදින් කියනවා මේවා සම්බන්ධව තදින් පියවර ගන්න පුළුවන්. ක්ෂනික පියවර ගන්න පුළුවන්. කල් දාන්න ඕන ප්‍රශ්නයක් නෙමෙයි. ”
කොක්කුතොඩුවායි මහාවිද්‍යාලයේ සිට කෝකිලායි දෙසට මීටර් 200ක් පමණ දුරකින් 2023 ජුනි අගදී අහම්බෙන් හමු වු කොක්කුතොඩුවායි සමුහ සුසානයෙන් පනස් දෙදෙනකුට අයත් අස්ථි කොටස් ගොඩ ගැනීමෙන් අනතුරුව අධිකරණ නියෝග මත 2024 ජුලි 15 වැනිදා වසා දැමුණි.
උතුරෙන් හමු වු සමුහ මිනි වලවල් කිහිපයක් සම්බන්ධයෙන් සිහි කරමින් නව සම සමාජ පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික ප්‍රියන්ත වික්‍රමසිංහ ආණ්ඩුවට තව දුරටත් අවධාරණය කළේ බලහත්කාරයෙන් පුද්ගලයන් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් බරපතල සාකච්ඡාවක් පවතින මෙවැනි මොහොතක ශ්‍රී ලංකාවෙන් හමුවී ඇති සමුහ මිනි වලවල් සම්බන්ධයෙන් ජනතාවට පැහැදිලි පිළිතුරක් ලබා දිය යුතු බවයි.
“ඒ වගේම උතුරේ අපි දැක්කා සමුහ මිනි වලවල් ගණනාවක් හමු උනා. ඒ නිසා මේවා ගැන නිසි පරීක්ෂනයක් කරලා මේවා ජනතාවට හෙළි දරව් කරන්න ඕන. ඒ නිසා අපි ආන්ඩුවට පැහැදිලිව කියනවා වහාම මැදිහත් වෙලා අතුරුදහන් වීම් සම්බන්ධයෙන් තියන බරපතල සාකච්ඡාව මැද්දේ ජනතාවට පිළිතුරක් අවශ්‍යයි කියන එක අපි පැහැදිලිව කියනවා.”
බලහත්කාරයෙන් අතුරුදහන්කිරීම් විසඳා නැති රටවල් අතර දෙවැන්න ලෙස ශ්‍රී ලංකාව එක්සත් ජාතීන් විසින් ශ්‍රේණිගත කර තිබේ.
සවිස්තර වාර්තාවක්
අතීතය සම්බන්ධයෙන් පියවර ගැනීමට බරපතල ලෙස උනනන්දුවක් දක්වන්නේ නම් ශ්‍රී ලංකා රජය සමූහ මිනීවළවල් කැනීමේ සියලු පරීක්ෂණ සඳහා ජාත්‍යන්තර නීරීක්ෂකයන් ගෙන්වා ගැනීමට කැපවී ක්‍රියා කළ යුතු යයි දිවයින පුරා අතුරුදහන් තැනැත්තන්ගේ ඥාතීන් සමඟ කටයුතු කරන දේශීය හා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන පහක් පසුගිය වසරේද එවකට පැවැති ආණ්ඩුවට බලකර තිබුනි.
ඒ 2023 ජූනි 22 දින කොළඹ දී, සමූහ මිනීවළවල් හාරා පරීක්ෂණ පැවැත්වීමේ සංස්ථාපිත අසාර්ථකතත්වයේ රටාවක් විස්තර කෙරෙන වාර්තාවක් මානව හිමිකම් සහ සංවර්ධන මධ්‍යස්ථානය (CHRD), කාන්තා ක්‍රියාකාරී ජාලය (WAN) අතුරුදහන් වූවන්ගේ පවුල් එකතුව (FoD), සත්‍යය සහ යුක්තිය සඳහා ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) සහ ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) යන සංවිධාන ඒකාබද්ධව එළිදක්වමිනි.
“ ශ්‍රී ලංකාවේ සමූහ සුසාන හා අසාර්ථක කැනීම්' ” (“இலங்கையின் பாரிய புதைகுழிகள் பற்றிய உண்மையைத் தேடல் -Mass graves and failed exhumations in Sri Lanka") මැයෙන් කොළඹදී තෙබසින්ම එළිදැක්වු එම වාර්තාව පරීක්ෂණවලට රජය ආයතනික වශයෙන් කරන අතපෙවීම් ද හෙළි කර තිබුනි.
දිවයින පුරා විසිරී පවතින සමූහ මිනීවළවල් අතරින් වසර 30 ක් තිස්සේ කැනීම් සිදුකළ 20ක් පිළිබඳ සවිස්තර තොරතුරු සිතියම් සහිතව පිටු 70කට වඩා දිවෙන වාර්තාවේ සදහන්ව තිබුනි. එම වාර්තාව එළි දැක්වීමෙන් පසුව ශ්‍රී ලංකාවෙන් අහඹු ලෙස තවත් සමුහ මිනි වලවල් දෙකක් හමුව තිබේ.
“ ශ්‍රී ලංකාවේ සමූහ මිනීවළවල් සහ බලාත්කාරයෙන් සිදුකරන අතුරුදහන්කිරීම් සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමට කිසිදු දේශපාලන අභිලාෂයක් නැත,” යි මානව හිමිකම් සහ සංවර්ධනය පිළිබඳ මධ්‍යස්ථානයේ විධායක අධ්යක්ෂ එමෙන්ම සමූහ මිනීවළවල් සිද්ධිවලදී පවුල් නියෝජනය කර ඇති නීතිඥ කේ. එස්. රත්නවේල් පසුගිය වසරේ පවසා තිබුනි.