ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා එක්ව තරග කිරිමට යෝජනා කළ එය සිදුවනු ඇත්තේ එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන්
රනිල් වික්‍රමසිංහ ඉල්ලා අස්වුවහොත් පමණක් බවට සමගි ජන බලවේගය ඒ සඳහා සාකච්ඡාවට පැමිණි එජාප නියෝජිතයන්ට දැනුම් දී තිබේ.
පාර්ලිමේන්තු මැතිවරණයට එක්ව තරග කිරීමේ එක්සත් ජාතික පක්ෂ යෝජනාව සම්බන්ධයෙන් එම පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන ඇතුළු පිරිසක් සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ඇතුළු පිරිසක් සමඟ සාකච්ඡා පවත්වමින් සිටින අතර එම සාකච්ඡා වලදී එම දැනුම් දීම සිදු කර තිබේ.
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය තුළ පැවති සාකච්ඡාවේදී එක්සත් ජාතික පක්ෂය සමඟ සන්ධානගතව තරග කිරීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් පැන නැඟී නැතත් අති බහුතරයකගේම මතය වී ඇත්තේ ඒ සඳහා රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් ඉවත්විය යුතු බවයි. එම මතයට එක්සත් ජාතික පක්ෂය සමඟ එකතු විය යුතු බවට මීට පෙර සිටම අදහස් දක්වමින් සිටි කබීර් හසීම් පවා එකඟත්වය ප්‍රකාශ කර තිබේ. එහිදී තීරණය වී තිබෙන්නේද සමගි ජන බලවේගයේ මූලිකත්වයෙන් දැනට පිහිටුවා ඇති සන්ධානයට එක්සත් ජාතික පක්ෂය එක්විය යුතු බව හා ඔවුන්ගේ ලැයිස්තුවල එජාපයේ අපේක්ෂකයන් කිහිප දෙනෙකුට තරග කිරීම සඳහා අවස්ථාව ලබාදීමටය.
මහ මැතිවරණයට එජාපය 'අලියා' ලකුණ යටතේ...
එහෙත් පාර්ලිමේන්තු මැතිවරණය සඳහා එක්ව තරග කිරීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රකාශ කළේ එම පක්ෂයේ 'අලියා' ලකුණ යටතේ තරග කිරීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇති බව හා ඒ යටතේ තරග කිරීමට සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා ආරම්භ කරන ලෙස උපදෙස් දුන් බවයි.
එම සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන් එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය කැඳවා පක්ෂ නායකත්වයෙන් ඉවත්වීමේ තීරණය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරන ඇතැයි බලාපොරොත්තු වුවද සැප්තැම්බර් 29 වන විටත් එවැනි තීරණයක් ගෙන තිබුණේ නැත.
ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුව විසුරුවා හැර පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවමින් නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයට අනුව නාම යෝජනා බාර ගැනීම ඔක්තෝබර් 04 වැනිදා ආරම්භ වන අතර එය ඔක්තෝබර් 11 වැනිදා දහවල් 12න් අවසන් වේ.
ඒ අනුව ලබන සතිය වන විට රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් ඉවත් නොවුවහොත් සමගි ජන බලවේගය සමඟ එක්ව පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමක් සිදුවීමට ඉඩක් නැත.
(අනිද්දා ජාතික පුවත්පත - ඉඳුවර බණ්ඩාර)