ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරගනිමින් එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය සන්ධානගතවීම පිළිබඳ සාකච්ඡා මේ වනවිට මුළුමනින්ම බිඳවැටි ඇත.
ඒ, ඊට අදාළව සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කරනු ලැබූ මුලික කොන්දේසිය හේතුවෙනි. රනිල් වික්‍රමසිංහ වහාම එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්විය යුතු බව එම කොන්දේසියයි.
මහ මැතිවරණය වෙනුවෙන් එක්ව තරග කිරීම එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර සාකච්ඡා පසුගියදා ආරම්භ විය. දෙපාර්ශවයේ නායකයින්ගේ එකඟතාවය මත පැවති එම සාකච්ජා එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන ගේ සහ සජිත් ප්‍රේමදාස ගේ දේශපාලන උපදේශක ලක්ෂ්මන් ෆොන්සේකා ගේ සහභාගිත්වයෙන් සිදුවිය.
ඒ අනුව ඔවුන් දෙදෙනා අතර සාකච්ඡාවට අටක් පමණ මේ වනවිට පවත්වා ඇති නමුත්, සමගි ජන බලවේගයේ මුලික කොන්දේසිය හේතුවෙන් සාකච්ඡා ඉදිරියට ගෙන යාම අසීරු තත්ත්වයට පත්ව ඇතැයි එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
පසුගිය සිකුරාදා රුවන් විජේවර්ධනගේ නිවසේ පැවති සාකච්ජාවේදී සමගි ජන බලවේගයේ ලාංඡනය වන 'ටෙලිෆෝනය' යටතේ මැතිවරණයට තරග කිරීමටත්, මැතිවරණ සමයේදී එජාපය මෙහෙයවීම සඳහා නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධනට එජාප වැඩබල නායකත්වය ලබාදීමටත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා එකඟතාවය පළකර තිබු බවත් එජාප අභ්‍යන්තර ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි. මෙම සාකච්ජාවට සජබ නායක සජිත් ප්‍රේමදාස සහභාගිවන බව දැනුම් දී තිබුනද ඔහු වෙනුවට සහභාගී වී ඇත්තේ සජබ මහ ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර සහ ලක්ෂ්මන් ෆොන්සේකා යන දෙදෙනාය.
කෙසේ වෙතත්, සමගි ජන බලවේගය සමග සාකච්ජා කරන අතරවාරයේදීම එජාප නායකයා පසුගිය වසර දෙකේ ඔහු සමග කටයුතු කල දේශපාලන පක්ෂ සමග ද මහා මැතිවරණයට අදාලව එකඟතාවයන්ට පැමිණි ඇති බැවින් රනිල් වික්‍රමසිංහ කෙරෙහි කිසිඳු ලෙසකින් විශ්වාසය තැබිය නොහැකි බවත්, රනිල් වික්‍රමසිංහ එජාප නායකත්වයෙන් ඉවත්වී රුවන් විජේවර්ධන එජාප නායකත්වයට පත්කරන තෙක් මින් ඉදිරියට එජාපය සමග සාකච්ජා අත්හිටුවීමටත් සජබ නායක සජිත් ප්‍රේමදාස තීන්දුකර ඇතැයි වාර්තාවේ.
කෙසේවුවද එක්සත් ජාතික පක්ෂ නියෝජිතයන්ගේ මතය වී ඇත්තේ, ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට ලැබුණු ඡන්දවලින් බහුතරය පෞද්ගලිකවම ඔහුට ලැබුණු ඡන්ද ලෙස සැලකෙන බැවින් ඔහු නොමැති දේශපාලන සන්ධානයකට කිසි ලෙසකින් හෝ එකඟවීමට නොහැකි බවයි.
පවතින තත්ත්වය හමුවේ දෙපාර්ශ්වය සන්ධානගතවීම සම්බන්ධයෙන් සිදුකෙරෙන සාකච්ඡා තවදුරටත් පවත්වාගෙන යාමට නොහැකි පසුබිමක් නිර්මාණය වී ඇති බව එජාප නියෝජිතයින් ද පවසති.
මේ අනුව, මහ මැතිවරණයට ඉදිරිපත්වන්නේ 'සිලින්ඩරය ' ලකුණින්ද 'අලියා' ලකුණින් ද යන්න අද දිනයේ දී තීන්දු කරන බව එජාපය ප්‍රකාශ කරයි.
මෙවන් පසුබිමක රනිල් වික්‍රමසිංහ තවදුරටත් පක්ෂ නායකත්වයේ කටයුතු කළ යුතු බවට යෝජනාවක් පෙරේදා (28) රැස්වූ එක්සත් ජාතික පක්ෂයේ නෙළුව ආසන බල මණ්ඩලයේදී සම්මත කර ගැනුණි.
කෙසේවෙතත්, දෙපාර්ශ්වය අතර සාකච්ඡා සඳහා තවදුරටත් ඉඩකඩ විවෘතව පවතින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය ප්‍රකාශ කළේය.
මේ අතර, ගම්පහ පැවති සමගි ජන බලවේගයේ පාක්ෂික හමුවකට එක්වෙමින් දෙපාර්ශ්වය සන්ධානගතවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පැවසුවේ රනිල් වික්‍රමසිංහ ට ගෞරවනීය ලෙස විශ්‍රාම යන ලෙසට කිහිපවතාවක්ම ඉල්ලා තිබෙන බවය.
මේ අතර, දෙමළ ප්රගතිශීලි සන්ධානයේ දේශපාලන මණ්ඩලය අද (29) රැස්වූ අතර, ඔවුන් එහිදී තීරණය කර ඇත්තේ සමගි ජන සන්ධානයෙන් ඉදිරි මහ මැතිවරණයට තරග කිරීමටය.
මහ මැතිවරණයේදී උතුරු - නැගෙනහිරට අමතරව කොළඹ ඇතුළු දෙමළ ජනතාව ජීවත්වන අනෙකුත් ප්‍රදේශවලත් තරගවැදීම සම්බන්ධයෙන් ඉලංගෙයි තමිල් අරසු කච්චි ප්රමුඛ දෙමළ ජාතික සන්ධානය සලකා බලමින් සිටින බව එහි මාධ්‍ය ප්‍රකාශක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන් පවසයි.